Image Credit:colombopage

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් 2015 වසර සඳහා ගෙන ආ අයවැය මගින් උඩ සාක්කුවට 2200 ක් දා, පිටුපස්සෙ සාක්කු දෙකෙන්ම රු. 3783 ක් ගත්ත කොලේ වහල ගහපු අයවැයක් බවට වසන්ත සමරසිංහ මහතා චෝදනා කරයි. අද(26) රාජගිරිය ලයන්ස් ක්ලබ් ශාලාවේදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අයවැය සම්බන්ධ පැහැදිලි කිරීම සිදු කළේය. එහිදී ඔහු වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින්,

IMG_0381

”පසුගිය කාලයේ අප වෘත්තීය සමිති ව්‍යාපාරය විදියට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරල තිබුණා. සියළු සේවකයින්ට රු. 10,000 කින් වැටුප් වැඩිකිරීම, ජීවන වියදම් දීමනාව මූලික වැටුපට එකතු කිරීම, නීති සකස් කර පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම, රාජ්‍ය, පෞද්ගලික කොන්ත‍්‍රාත් සේවකයින් ස්ථිර කිරීම. පසුගිය කාලයේම වැඩකරන ජනතාවගේ ඉල්ලීම්වලට මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ප‍්‍රතිචාර දැක්වුයේ ඉතාම නිද්‍රාශීලී පිළිවෙතක ඉඳගෙන. ඒ වගේම තමයි මෙවර අයවැයෙනුත් ආණ්ඩුව වැඩකරන ජනතාවගේ ඉල්ලීම්වලට කන් නොදී හදපු අයවැයක්. නමුත් දැන් ආණ්ඩුව හොරණෑ ගහනව වැඩකරන ජනතාවගේ ඉල්ලීම්වලට ඉටු කරපු අයවැයක් බව කියමින්. විශේෂයෙන් රටේ සමස්ත වැඩකරන ජනතාවගෙන් 80% ක් වෙච්ච පෞද්ගලික අංශයේ සේවකයින් ගැන කිසිවක්ම ලබා නොදීපු අයවැයක් මේක. මහින්ද රාජපක්‍ෂ මහත්තය බලයට ඒමේ සිට මේ දක්වා වූ ජීවන වියදම් වැඩිවීම රු. 50792 ක් දක්වා ඉහළ ගියා. එතකොට මහින්ද මහත්තයට වැඩකරන ජනතාවට ලබාදෙන්න ඕන තවත් රු. 15302 ක ඇරියස් එකක්. මේ ඇරියස් එකෙනුත් අපි ඉල්ලූවේ රු. 10,000 ක් විතරයි. ඒ එක්කම සියළු දීමනා මූලික වැටුපට එකතු කරන්න කියන ඉල්ලීමත් අපි කළා. නමුත් රු. 7800 ක මුදලක් මූලික වැටුපට එකතු කරල නෑ. පෞද්ගලික අංශයේ සේවකයගෙ වැටුප් වැඩිකරල නෑ. අපි ඉල්ලූවෙ නීති හදල පෞද්ගලික අංශයේ සේවකයගෙ වැටුප් වැඩිකරන්න කියල. රු. 9625 ක පෞද්ගලික අංශයේ සේවකයගෙ අවම වැටුප රු. 10,000 දක්වා වැඩිකරන්න කියල යෝජනා කරල තියෙනවා. එහෙම යෝජනා කරා කියල මේ 375 වැඩිවෙන්නෙත් නෑ. මොකද එක්කො පඩිපාලක සභාවලට ගෙනල්ල ඒක වැඩිකළ යුතුයි. නැත්නම් පාර්ලිමේන්තුවේ සම්මත කරල මේ වැඩිකිරීම කළ යුතුයි. එහෙම කරනව කියල යෝජනාවක් මේකෙ නෑ. දීමනාවක් දීල තියෙනවා 2200 ක් පමණ. මේක තමයි ලොකුම දේ මේ අයවැයෙන් කරල තියෙන්නෙ. මෑන් පවර් සේවකයින් ස්ථිර කරන්න කියල මේක යෝජනාවක් නෑ.

ඒ නිසා මේ අයවැය සම්බන්ධයෙන් අපි කිසිසේත් සෑහීමකට පත්වෙන්නේ නෑ. දීමනාවලින් රු. 7800 ක් තවමත් එලියෙ තියෙන්නෙ. රු. 10,000 කින් වැටුප් වැඩිකන්න කියල අපි ඉල්ලීම් කළත් රු. 2200 ක දීමනාවක් විතරයි ලබාදීල තියෙන්නෙ.

2014 වර්ෂයට වඩා 2015 ට නව බදු පනවනවා රුපියල් කෝටි 22700 ක්. ඒවට බදු පනවන විදිය ගැන යෝජනාවක් නෑ. සීනිවලට තිබුණු සත 25 ක සෙස් බද්ද වෙනුවට රු. 5 ක් කරල සීනිවලින් විතරක් රුපියල් කෝටි 4000 ක් විතර බදු එකතු කරනවා. ඒ නිසා ඉදිරියේදී නව බදු එකතු කරනවා හැම භාණ්ඩයකටම. ඒ අනුව කෝටි 22700 හොයද්දි එක්පවුලකට අලූත් බදු බර මාසයකට රු. 3783 ක් බදු පනවනවා. නමුත් දෙන්නෙ 2200 යි. බද්ද 3783 යි. ඒ අනුව තවත් පහලට වැඩකරන ජනතාව වැටෙනවා.

ඒ නිසා මේ කොලේ වහල ගැහැල්ල, උඩ සාක්කුවට 2200 ක් දීල පිටුපස්සෙ සාක්කු දෙකෙන්ම රු. 3783 ක් ගන්න ගෙනාපු අයවැයක් මේක.
ඒ නිසා ඉදිරි සතියෙ රටේ සියළු වෘත්තීය සමිති එකතු කරන්න මේ වන විට කටයුතු කරමින් සිටිනවා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින්. අපේ මූලික ඉල්ලීම් ලබාගැනීම වෙනුවෙන් දැවැන්ත ක‍්‍රියාමාර්ග ගන්න ඒ අනුව අපි කටයුතු කරනවා. ඒ නිසා වැඩකරන ජනතාවගේ ඉල්ලීම් දිනාගන්න සියළු වැඩකරන ජනතාවගෙන් අපි ඉල්ලනවා. ඒ වගේම ඉදිරියේදී වැඩකරන ජනතාවගේ ඉල්ලීම් නොසලකා ජනාධිපතිවරණයකට යනව නම් මේ ආණ්ඩුව පරාජය කරන්න අපි උපරිමයෙන් මැදිහත්වීම කරනවා.”