ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය මර්දනය කිරීම සඳහා බළධාරීන් දරනා වෑයම තීව්‍ර වීමේ ප්‍රථිඵලයක් ලෙස ශිෂ්‍ය උද්ඝෝෂකයින් ට තර්ජනය කිරීම හා හිරිහැර කිරීම පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වෙත වාර්තා කිහිපයක් ලැබී ඇත.

ඔක්තෝබර් 21 වන දා පාර්ලිමේන්තුව අසළ උද්ඝෝෂණයේ නිරත වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසකට පොලිසිය කඳුළු ගෑස් උණ්ඩ ප්‍රහාරාත්මකව එල්ල කිරීම නිසා 20 කට තුවාල සිදු වී ඇති අතර 12 රෝහල්ගත කර ඇත. පිරිස විසිරුවා හැරීම සඳහා ජල ප්‍රහාරද යොදා ගෙන ඇත.

ශිෂ්‍ය සංවිධානයක් පවසා සිටින්නේ පොලිසිය සිතා මතාම කඳුළු ගෑස් උණ්ඩ ඍජුවම ශිෂ්‍යන් ‍වෙත එල්ල කිරිම නිසා මෙම තුවාල සිදු වී ඇති බවයි. ඇසින් දුටු සාක්ෂිවලට අනුව උද්ඝෝෂකයින් වෙතට දිශා කිහිපයකින්ම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වී ඇති අතර ශිෂ්‍යන්ට ඉවත්ව යාමට තිබූ මාර්ග ඒ මඟින් අහුරවා ඇත. හුස්ම ගැනීමේ අපහසුතාවට ලක්ව පසු බැස යන ශිෂ්‍යන්ට පිරිස මැදට එල්ල කරන ලද තවත් කඳුළු ගෑස් වටයකට මුහුණ දීමට සිදුව ඇත. වාර්තාවලට අනුව ගස් අතර මුවා වන්නට තැත් කළ ශිෂ්‍යන්ව සිර කරමින් පොලිසිය මාර්ගය දෙපසටද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

උද්ඝෝෂණය සාමකාමීව පැවති බවට වාර්තා හා වීඩියෝ සාක්ෂි මඟින් පෙන්වා ඇති මුත් පොලිසිය පවසන්නේ පාර්ලිමේන්තු සැසි වාරය පැවති අවස්ථාවේදී ශිෂ්‍යන්ට පාර්ලිමේන්තුව වෙත ගමන් කිරීමට ශිෂ්‍යයන්ට අවසර දීම ආරක්ෂාවට තර්ජනයක් එල්ල කල හැකිව තිබූ බවයි.

පෙළපාලිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් සංවිධානය කරන ලද අතර උද්ඝෝෂකයෝ අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන ඉහළ නැංවීම, වැඩ කරන ජනතාවගේ වැටුප් ඉහළ නැංවීම, ගාස්තු අහෝසි කිරිම හා ශිෂ්‍ය මර්දනය නතර කිරිම ඇතුළු ඉල්ලීම් රාශියක් ඉදිරිපත් කළෝය.

විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍ය සංගම් අහෝසි කිරීම හා ශිෂ්‍ය ක්‍රියාකාරීන්ව පංති තහනමට ලක් කිරීම වැනි ප්‍රයන්තයන්ද ඇතුළත්ව ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය අරමුණු කොට ගෙන සිදු වූ සිද්ධීන් ගණනාවකින් මෙය අලුත්ම සිද්ධිය වේ. ඔක්තෝබර් 10 වන දා විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය සංගම් අහෝසි කිරීම හා පංති තහනම්වලට එරෙහිව සාමකාමීව විරුද්ධත්වය දක්වමින් සිටි සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් 12 කට පමණ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු රජයට සම්බන්ධ මැරයන් පිරිසක්, මුහුණු වසාගෙන පැමිණ ප්‍රහාරයක් එල්ල කෙරිණි. වාර්තාවලට අනුව ඔවුන් කඩු, පොලු හා පෙට්‍රල් බෝම්බ වලින් සන්නද්ධව පැමිණ ඇති අතර ඒවා සිසුන් වෙතට එල්ල කර ඇත.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මෙම ප්‍රහාර හෙළා දකිනා අතර මතවාද හෝ දේශපාලනික සම්බන්ධතා නොසලකා හරිමින් සියලූම කණ්ඩායම් හා පුද්ගලයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස් වීමේ නිදහස හා සංගමයේ නිදහස ආරක්ෂා කිරිම සහතික කරනා ලෙසට බළධාරීන්ගෙන් ඉල්ලා සිටී. මෙම සිද්ධි විසම්මුතිය මර්දනය කිරීමේ පුළුල් ප්‍රවණතාවයක කොටසක් වීමේ හැකියාව පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධානයෙන් පසු වේ. බළධාරීන් ශිෂ්‍යයන්ව හා අදහස් ප්‍රකාශ කිරීමට ඔවුන්ට ඇති අයිතිය ආරක්ෂා කළ යුතු අතර ශ්‍රී ලංකාවේ සියලූම උද්ඝෝෂකයින්ට, විවේචකයින්ට හා විසම්මුතිමතධාරීන්ට බියකින් තොරව තම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව පිළි ගත යුතුය.

මතවාද හෝ දේශපාලනික සම්බන්ධතා නොසලකා හරිමින් සියලූම කණ්ඩායම් හා පුද්ගලයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස් වීමේ නිදහස හා සංගමයේ නිදහස ආරක්ෂා කිරිම සහතික කරනා ලෙසට හා මෙම අයිතීන් ක්‍රියාවට නඟන්නන්ට එරෙහිව හිරිහැරකිරීම් හා බිය වැද්දීම් කරන්නන් පිළීබඳ විමර්ශන කරන ලෙසට හා නඩු පවරන ලෙසට හා,

• ශිෂ්‍ය උද්ඝෝෂකයින්ට එරෙහිව සිදු කරා යයි චෝදනා කර තිබෙන පරිදි පොලිසිය විසින් අධික බලය භාවිතා කිරිම පිළිබඳ විමර්ශනය කරන ලෙසටත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ශ්‍රි ලාංකික බළධාරීන්ට බල කර සිටී.

Photos of Inter University Student Federation demonstration in Colombo:
https://www.flickr.com/photos/vikalpasl/sets/72157648521624789/

(ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හෙවත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය නිකුත් කරන ලද නිල නිවේදනයක සිංහල පරිවර්තනයයි)