Image Credit: dailynews.lk

රාජපක්ෂ-තීන්දුව පැමිණ ඇත. කිසිවෙකු ක‍්‍රිස් නෝනිස්ට පහර දී නැත. ඔහු කටගොන්නක් බීගෙන, වාඩි වී සිටි ඇඳි නැති පුටුවෙන් බිම වැටී ඇත. සිදුවුණේ එය බවට, එතැන සිටි ආරාධිත අමුත්තන් 28 දෙනෙකු ලිඛිතව සහතික කොට තිබේ.

වෛද්‍යවරයෙකු, රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වන ක‍්‍රිස් නෝනිස්ට, බාගෙ විට දැන්වත්, මොහොමඞ් ඉර්ෂාඞ්ට කෙසේ හැෙඟන්ට ඇත් දැ යි තරමක්වත් දැනෙනවා ඇති.

මොහොමඞ් ඉර්ෂාඞ් යනු, මර්වින් සිල්වා විසින් ගසක බඳින ලද සමෘද්ධි නිලධාරියා ය. ඒ සැහැසි ක‍්‍රියාව සිදුවුණේ බොහෝ දෙනා බලා සිටියදී ප‍්‍රසිද්ධියේ ය. එතැන පොලිස් නිලධාරීහු ද උන්හ. ඇමතිවරයාගේ ඒ නින්දිත ක‍්‍රියාව සටහන්ව ඇති වීඩියෝ පටය තවමත් ‘යූ ටියුබ්’ ජාලයේ තිබේ. එහෙත් රාජපක්ෂ පත්කළ කමිටුවක් මගින් සොයාගත්තේ මර්වින් සිල්වා ඇමතිවරයා නිර්දෝෂී බවත්, අදාල සමෘද්ධි නිලධාරියා තමා විසින්ම ගහේ බැඳගෙන ඇති බවත් ය.

දැන්, රාජපක්ෂගේ තවත් පරීක්ෂණ කමිටුවකට අනුව, ‘හම්ටි ඩම්ටි’ සේ, ක‍්‍රිස් නෝනිස් ද, ‘මාර වැටිල්ලක්’ වැටී තිබේ. රජුගේ මිනිසා නිර්දෝෂී ය: රජුගේ සියලූ අශ්වයෝ ඒ බව දිව්රා කියති.

දොස්තර නෝනිස් අනාරාධිතව සාදයට පැමිණ ඇතැ යි රඹුක්වැල්ල ඇමතිවරයා කලින් කියා තිබුණි. දැන් ආණ්ඩුවේ නිල වාර්තාවක්, ඔහු නොසෑහෙන සේ බීමත්ව සිට ඇති බවට චෝදනා කරයි. ඉන් ව්‍යංගයෙන් කියැවෙන්නේ, කටගොන්නක් බීගෙන සිටි ක‍්‍රිස් නෝනිස්, කිසිවෙකු තමාට පහර දුන් කතාවක් ගොතා ඇති බවයි. ඒ අනුව, එක්කෝ දොස්තර නෝනිස් බොරුකාරයෙකු විය යුතුය. නැත්නම් අවලාද නගන්නෙකු විය යුතුය. එසේත් නැත්නම්, විකල්ලෙන් සිටිනවා විය යුතුය.

දැන්, තමාගේ කීර්ති නාමය පලූදු කිරීම සහ මානසිකව තමාව ගැහැටට පත්කිරීම ගැන සජින් වාස් ගුණවර්ධනට මේ වාර්තාව මත පදනම්ව දොස්තර නෝනිස්ගෙන් වන්දි ඉල්ලා නඩු පැවරිය හැකිය. එවැනි නඩුවකදී ලංකාවේ වර්තමාන අධිකරණය දොස්තර නෝනිස් වැරදිකරුවෙකු නොකරතියි කාට නම් කිව හැකි ද?

‘සිලෝන් ටුඬේ’ පුවත්පත වාර්තා කරන පරිදි, ලන්ඩනයේ පිහිටි ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ගණනාවක්ම අත්සන් කළ ලියවිල්ලක් ද මේ වාර්තාවට අමුණා තිබේ. මේ තත්වය තුළ, තවත් මොන තරම් නම් අපරාධ දැන් නෝනිස්ගේ ගිණුමට බැර කර ඇත් දැ යි අපම සිතා ගත යුතුව තිබේ.

තිස්සනායගම් සහ සරත් ෆොන්සේකාගේ සිට මොහොමඞ් ඉර්ෂාඞ් සහ දොස්තර නෝනිස් දක්වා, රාජපක්ෂ යුක්ති ධර්මය ගමන් කරන මාවත පැහැදිළි ය. වැරදිකරුවන් නිදහස්ව යනු ඇත. නිවැරදිකරුවන් දඬුවමට ලක්වෙනු ඇත. ඒ දුරාචාරය සඳහා අවශ්‍ය ඕනෑ තරම් සාක්කිකරුවන් හෝ නඩුකාරයන්ගෙන් අඩුවක් ද නොවෙනු ඇත.

ජෙයකුමාරී බාලේන්ද්‍රන් තවමත් හිරේ ය. ඒ, ත‍්‍රස්තවාදය ගැන (නඩු පවරා නැති) චෝදනාවට ය. ඇයව දඟගෙයි රඳවාගෙන සිටින බලධාරියෝම, අනිත් අතට, කේ. පී. ට එරෙහිව කිසි සාක්ෂියක් සොයා ගැනීමට නැතැ යි කියති. එසේ වන්නේ, කේ. පී. නැමැත්තාව ඉන්දියානු රජයෙනුත්, ජාත්‍යන්තර පොලීසියෙනුත් සොයමින් සිටියදී ය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි මුදල් කටයුතු පිළිබඳ ප‍්‍රමුඛයා සහ ප‍්‍රධාන අවිආයුධ සැපයුම්කරුවා ඔහු වූ වග නොදන්නා කෙනෙකු නැත. එසේම, වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ අනුප‍්‍රාප්තිකයා වුණේ ද ඔහු ය. එසේ තිබියදීත්, ඔහු සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර තිබූ මෙලෝ සම්බන්ධයක් සොයා ගැනීමට රාජපක්ෂලාගේ පරීක්ෂකයන්ට පුලූවන් කමක් නැත. ඔහු අහිංසක ය. නිදහස් ය. එහෙත් අර වැඩිහිටි කාන්තාව, ජෙයකුමාරී බාලේන්ද්‍රන්, එසේ නොවේ. ඈ කළ එකම ‘අපරාධය’, තමාගේ පුතාට අත්වූ ඉරණම කුමක්දැ යි දැන ගැනීමට වෙහෙසීමයි.

මෙහෙව් රාජපක්ෂ-යුක්තියක්, තුන්වැනි වාරයකුත් ඔහුට ලැබුණොත් කෙසේ විය හැකි දැ යි සිතාගන්න.

පසුගිය අවුරුදු කිහිපයක කාලය දොස්තර නෝනිස් ගත කෙළේ, රාජපක්ෂලාගේ බල අපහරණය සහ දණ්ඩමුක්තිය (නිදහසේ අපරාධ කිරීමට ඇති අයිතිය*, ජාත්‍යන්තර තලයේ දී ආරක්ෂා කරමිනි. දැන් එම බල අපහරණය සහ දණ්ඩමුක්තියට ඔහුම ගොදුරු වී ඇත. වාර්තා වන අන්දමට, ඔහු සිටින්නේ ආපසු ලංකාවට ඒමටත් බැරි තරමේ මර බියකිනි.

රාජපක්ෂගේ තුන්වැනි වාරයක් තුළ එම ස්වයං-විප‍්‍රවාසයේ ඉරණම තවත් බොහෝ දෙනාට අත්වනු ඇත.

ද්‍රෝහීන්ට මරණීය දණ්ඩනය පැමිණවිය යුතු බවක් ගෝඨාභය රාජපක්ෂ කියා තිබේ. රාජපක්ෂ-ශ‍්‍රී ලංකාවේ ද්‍රෝහියෙකු වන්නේ, පවතින දත්ත හෝ නීති මත නොව, පාලකයන්ගේ ඕනෑ එපාකම් සහ අභිලාෂයන් මත ය. රාජපක්ෂ තුන්වැනි වරටත් බලයට පත්වුවහොත්, ක‍්‍රිස් නෝනිස් මාදිලියේ පරීක්ෂණ හරහා රාජපක්ෂ-විරෝධීන්ව ද්‍රෝහීන් වශයෙන් තීන්දු වීම සාමාන්‍ය භාවිතය බවට පත්වෙනු ඇත. ජනතාවගෙන් බහුතරයක් ද එය සාමාන්‍ය සිද්ධියක් සේ භාර ගැනීමට ඉඩ ඇත.

‘‘(හිට්ලර්ගේ) ජාතික සමාජවාදයේ ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය කරන පූර්ව-කොන්දේසි වුනේ, සිවිල් ජනතාව නිකං බලාගෙන සිටීම සහ අහක බලාගෙන සිටීම’’ බවට, ෆ‍්‍රිට්ස් ස්ටර්න් ඔහුගේ ‘ලියෝ බෙක්’ දේශන හරහා තර්ක කෙළේය. එය ශ‍්‍රී ලංකාවට ද කියාපු නිගමනයකි. සිවිල් සමාජය හමුදාකරණය වීම සහ රාජපක්ෂ නෑ හිතමිත‍්‍රාදීන් විසින් ආර්ථිකයේ පෞද්ගලික අංශය ග‍්‍රහණය කර ගැනීම වැනි දේවල් තමන්ට බලපාන්නේ නැතැ යි බොහෝ ශ‍්‍රී ලාංකිකයන් සිතනවා විය හැකිය. එහෙත් ක‍්‍රිස් නෝනිස්ගේ පවා ඔලූව බිම ඇනීමෙන් පෙන්නුම් කරන්නේ, තුන්වැනි රාජපක්ෂ පාලනයක් සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම අවදානමක් ගෙන දෙන කාල පර්ච්ෙඡ්දයක් වන බව ය. එම අවදානම, රාජපක්ෂ අන්තේවාසිකයන්ටත් පොදු ය. පුරවැසියෙකුගේ වරදකාරීත්වය හෝ නිර්දෝෂී භාවය පාලකයන්ගේ ඕනෑ එපාකම් මත මැණෙන දේශයක් කැලෑවක් මිස රටක් නොවේ.

විපත්තිදායී සාමාන්‍යත්වය

ඉදිරි ජනාධිපතිවරණය අරමුණු කරගෙන ඉදිරිපත් කරන ලද රාජපක්ෂගේ අයවැය තුළ දෙන ලද බොහෝ කැරට් අල අතර වැටුප් වැඩි වීමක් ද තිබේ. මේ වැටුප් වැඩි වීම එනු ඇතැ යි කියන්නේ, ජීවන වියදම් සහනාධාරය වැඩි කිරීම සහ අනිත් දීමනා සියල්ල මූලික වැටුපට එක් කිරීමෙනි. අය-වැය ඉදිරිපත් කොට හරියටම දවස් දෙකකින් පසු, මේ කියන වැටුප් වර්ධකය ක‍්‍රියාත්මක වන්නේ ලබන වසරේ ජුලි මාසයේ සිට බව ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශය ප‍්‍රකාශ කෙළේය. ඊට හේතුව, එම අමාත්‍යාංශය කියන පරිදි, අළුත් වැටුප් ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන ගණන්හිලව් හදා ගැනීම සඳහා ලූ. කෙසේ වෙතත්, ඒ අතරතුර කාලයේ දී ලැබෙන්නේ රුපියල් 3000 ක දීමනාවක් පමණි.

මේ කියන අළුත් වැටුප් ක‍්‍රමය දැන්ම ක‍්‍රියාත්මක කළ නොහැකි බව, අය-වැය කියවන අවස්ථාවේ ජනාධිපතිවරයාවත්, ඔහුගේ නිලධාරීන්වත් නොදැන සිටියේ යැයි අප විශ්වාස කළ යුතුද? සැබෑව වන්නේ, මෙතරම් උජාරුවෙන් උඩ දමන වැටුප් වර්ධකය, රාජපක්ෂට සුපුරුදු තවත් එක් ඇස්බැන්දුමක් පමණක් වන බව ය. ඊළඟ වසරේ ජුලි මාසය වන විට ජාතික මට්ටමේ සියලූ මැතිවරණ අවසන් වී තිබෙනු ඇත. එවිට, මේ පොරොන්දු වූ වැටුප් වර්ධකය නොදීමටත්, එතෙක් දීමට යන රුපියල් 3000 ජීවන වියදම් දීමනාව ඔවුන්ගේම හොර සංඛ්‍යා ලේඛන මත පදනම්ව කප්පාදු කිරීමටත් අවශ්‍ය තරම් හේතු රාජපක්ෂලා සොයාගනු නිසැකයි. උදාහරණයක් වශයෙන්, ත‍්‍රස්තවාදීන්ගෙන්/මූලධර්මවාදීන්ගෙන්/බෙදුම්වාදීන්ගෙන් ජාතික ආරක්ෂාවට එල්ල වෙතැ යි කියන තර්ජනයක් ඊට සැපයිය හැකි අගනා හේතුවාචකයක් වනු ඇත.

රාජපක්ෂලාගේ දෙවැනි ආණ්ඩු කාලය තුළ බොදුබල සේනා අන්තවාදී රංචු පැටව් ගැසූ සැටි අපි දුටුවෙමු. රාජපක්ෂලාගේ තුන්වැනි වාරයක් තුළ ඒවා තවත් තීව‍්‍ර වනු ඇත. මන්ද යත්, ආර්ථික දුෂ්කරතා වැඩි වත්ම, බලාපොරොත්තු එන්න එන්නම බිඳෙත්ම, ජනතා අවධානය වෙනතකට යොමු කරවන බොරු කොටින්ව රාජපක්ෂලාට තව තවත් අවශ්‍ය කරන බැවිනි.

ආගම, මත්ද්‍රව්‍යයක් වශයෙන්, දෙයාකාරයක කාර්යභාරයක් ඉටු කරයි: ඒ මගින්, එක්කෝ මිනිසුන්ව නිදි ගන්වයි. නැත්නම්, පිස්සු වට්ටයි. පැරණි සාම්ප‍්‍රදායික ආගම් කෙළේ පළමු කාර්යයයි. ඇස්පනා පිට දේශපාලනීකරණය වෙමින් පවතින, බොදුබල සේනාවන්ගේ සිට ‘ඉස්ලාම් රාජ්‍ය සංවිධානය’ දක්වා වන නූතන ආගමික මරුමුසුවෝ, ආගමේ මූලධාර්මික ශුද්ධවන්ත භාවයක නාමයෙන්, තම ‘සැදැහැතියන්ව’ ම්ලේච්ඡුත්වයේ සහ වෛරයේ යන්ත‍්‍ර බවට පත්කරන්නෝය.

දෙමළ ජනයාව ආගමික තීරු ඔස්සේ කෙටවීමට බැලූ බොදු බල සේනාව, දැන් කතෝලික සහ කතෝලික නොවන කිතුණුවන් අතර ගැටුම් ඇති කිරීමට මානබලයි. ගිය සතියේ, කඩවත ඉහළ කරගහමුණ ක‍්‍රිස්තියානි ශුභාරංචි මධ්‍යස්ථාන දෙකකට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කෙළේය. එහිදී ඔහු කළ කතාවේදී, තමාව ඔහු වර්ණනා කර ගත්තේ, බෞද්ධයන්ගේ මෙන්ම කතෝලිකයන්ගේ ද ආරක්ෂකයෙකු වශයෙනි. ‘‘මේ රටේ බෞද්ධයන් සහ කතෝලිකයන් අතර ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ සහජීවනය පලූදු කරන්න, බෞද්ධයන්ව වනචාරීන් කියලා හංවඩු ගහන්න, අපි යටත්විජිතවාදීන්ට ඉඩ දිය යුතු නැහැ… සිංහල-බෞද්ධයන් සහ සිංහල-කතෝලිකයන් අතර භේදභින්න වපුරන නීති විරෝධී ආගමික සංවිධාන 400 ක් විතර අද ක‍්‍රියාත්මක වෙනවා… මෙකේදී නීතිය වැඩ කරන්නේ නැත්නං, නීතියට පිටින් කැලෑවේ නීතිය ක‍්‍රියාත්මක කරන්න අපිට සිද්ධ වෙනවා..’’

ඔහු අදහස් කරන දෙය ඉතා පැහැදිළියි: බොදුබල සේනාව විසින් නීති විරෝධී යැයි සළකනු ලබන (ක‍්‍රිස්තියානි/මුස්ලිම්* ආගමික සංවිධානවලට පහර දෙනු ඇත. බොදුබල සේනාව එසේ කරනු ඇත්තේ, බුද්ධාගමේ සහ කතෝලික ආගමේ නාමයෙනි. මේ විරෝධතාවට එක්වූවන් අතර, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු, මහර ප‍්‍රාදේශීය සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා සහ කතෝලික පල්ලියේ නියෝජිතයෙකු ද සිටීම මගින් කියාපාන්නේ, රාජපක්ෂලාගේ තුන්වැනි වාරයක් තුළ ශ‍්‍රී ලාංකිකයන් එකාට එකා කොපමණ නම් කෙටවිය හැකිද යන්නයි.

ඉතිං, එළැඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහයෝගය දැක්වීමට බොදුබල සේනාව සහ සිංහල රාවය වැනි සිංහල බෞද්ධ සංවිධාන තීරණය කොට තිබීම පුදුමයක් නොවේ. ඔවුන්ට සහ ඔවුන්ගේ සනුහරේ වෙනත් කල්ලිවලට, තුන්වැනි රාජපක්ෂ පාලනයක් තුළ කිරීමට තවත් වැඩ තිබේ. පවතින වාර්ගික සහ ආගමික බෙදීම් තවදුරටත් වර්ධනය කිරීම සහ අළුත් බෙදීම් ඇති කිරීම ඊට අයත් ය. එවිට, රාජපක්ෂ පාලනයට එරෙහිව පොදු ආරම්මණයක පිහිටීමට, ජාතියක් වශයෙන් ශී‍්‍ර ලාංකිකයන් අසමත් වනු නියති.

තිසරණී ගුණසේකර

*2014 ඔක්තෝබර් 30 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Imagining That Third-Term නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි