Image Credit: telegraph.co.uk/GETTY IMAGES

අපේ සැබෑ ජාතිකත්වය වූ කලී මනුෂ්‍යත්වයයි – එච්. ජී. වේල්ස්

රටේ අතිශය තීරණාත්මක ගැටලුවක් විසඳීම සඳහා රාජපක්ෂ විසින් අධිකරණ පද්ධතිය යළිත් ප්‍රාණ ඇපයට ගෙන ඇත. යථාර්ථයට අනුව එය එසේ වන්නේ ඔහු විසින් රටේ සෑම අංශයකටම අනිසි ලෙස අත පොවා ඒ සියලු ආයතන වලට හිමි ස්වාධීන බලය මැදමුලනට කොන්දේසී රහිතව යටත් වූ බලයක් බවට පත් කිරීමෙන් පසුය.

ඔහු මේ වන විට පැය 48 ටක අඩු කාලයක් ලබා දෙමින් උග්‍ර ලෙස මැදමුලනකරණය කොට ඇති අධිකරණ පද්ධතියෙන් තමන්ගේ තණ්හාවට අවකාශය තිබේදැයිද? හෝ එසේ වෙත්නම් හෝ නොවෙත්නම් ඊට හේතු කවරේද යන්න අසා ඇත. හෙට එනම් සිකුරාදා සවස් යාමය වන විට හෝ සඳුදා සවස්කාලය ගෙවීමට පෙර රටේ යුක්තිය යැයි රාජපක්ෂ සහ ඊට අනුබද්ධ කොටස් විග්‍රහ කරණ “දේශප්‍රේමීත්වය”, මැදමුලනට අවශ්‍ය ආකාරයෙන් හැසිරෙමින් එහි අරමුණු ඉෂ්ඨ කරනු ඇත.

එම “යුක්තිය” එලෙස සිදු වූ පසු හන්දියක් පුරා රතිඤ්ඤ පත්තු කිරීම සඳහා මේ වන විටත් සෑම හන්දියකම වෙසෙන රාජපක්ෂවාදීයෙකු ලක ලැස්ති වී ඇත. රාජපක්ෂගේ ගැටලු රටේ ප්‍රශ්න බවට පත් කොට එම ගැටලු නිරාකරණය කොටගත් පසු රටේ මහජන මුදල් සහ දේපළ අයුතු ලෙස භාවිතා කරමින් තම පෞද්ගලික වින්දනය ලැබීම ලංකාවේ දේශපාලන බලාධිකාරියේ පිළිවෙත වේ. රාජපක්ෂ ජනාධිපතිවරයා මෙය මහත් අවස්ලස්සන සහ දුර්ගන්ද ආකාරයෙන් සිදුකරන පාලකයා වේ.

තමන්ට රට විනාශ කිරීම සඳහා තවත් එක් අවස්ථාවක් ලබා දෙන්නේද යන්න ඇසීමෙන් ඔහු බලාපොරොත්තු වන කාරණා කිහිපයක් තිබිය හැකිය.

පළමුවැන්න නම් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඔහුට එරෙහිව පැන නඟින පුළුල් විරෝධය සඳහා හේතු නිර්මාණය කර ගැනීමය. එනම් කිසිවෙකු හෝ මෙය ඇසීමෙන් අදාළ අධිකරණයේ තීන්දුව හෝ පැහැදිලි කිරීම භාවිතා කිරීමේ නියාලු නමුත් රට තුළ දේශපාලනික වශයෙන් ඡන්දය හූරා කෑම සඳහා අවශ්‍ය තර්කයක් නිර්මාණය කළ හැකිය.

දෙවැන්න මෙමඟින් තවදුරටත් රටේ අධිකරණ පද්ධතියට ඇති බලය හෑල්ලු කළ හැකිය. ඔහු තඩිබාමින් සහ කෙළසමින් සිටින්නේ වෘත්තීමය වශයෙන් සෑම රටකම ඒ ඒ ක්ෂේත්‍ර වලට උරුමකරගත් ගෞරවය සහ පිළිගැනීමයි.

අනෙක් ක්ෂේත්‍ර මෙන්ම, රටේ අධිකරණ සේවයද ඔහුට අවශ්‍ය ආකාරයෙන් තම වෝහරපති කෞශලය භාවිතයෙන් රූකඩයක් කොට අවසන්ය. තවදුරටත් මෙම පද්ධතිය තුළ වරාවැවලා බිහි නොවන්නේය. ඒ වෙනුවට තවත් වසර කිහිපයක් ගිය පසු එනම් මහින්ද රාජපක්ෂගේ බලය චුත වූ පසු සමාජය ඉදිරියටවිත් සමාව ගැනීම සඳහා මෙම පද්ධිතිය තුළ කටයුතු කරණ අයවලුන් රෙදි ඇඳගෙන හෝ නොඇඳගෙන එළි බසිනු ඇත.

රටකට කළ හැකි උපරිම හානිය සිදු කළ පසු එහි විපාකයන්ගෙන් දීර්ඝ කාලීනව වන්දි ගෙවන මහජනයා ඉදිරියට විත් සමාව ගන්නා බව ප්‍රකාශ කිරීමේ අවලස්සන සහ අමිහිරි පුරුද්ද වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම වංචාකාරී සහ දූෂිතය. තම වෘත්තීමය ගරුත්වය සහ රටේ ගරුත්වය රැකගැනීමට කලාතුරකින් බිහිවන එක් නිලධාරියෙකු වෙනුවට පාවාදෙන්නන් නවදෙනෙකු බිහිවීමේ සංස්කෘතික ගත පුරුද්ද කුමක්ද?

රාජපක්ෂ තම ආදර හසුන ලබාදීමෙන් පසු අද දින “පුණ්‍ය කර්ම” වල නිරත වී මෙලොවදී ලැබීමට නියමිත සැප මෙන්ම පරලොවදී ලැබීමට ඇති සැප ගැන ආවැඩූවේය. ඊට පැමිණි එක්තරා බුද්ධිමතෙකු රටේ සරම්කාරයින් බලයට පැමිණි ආකාරය ගැන කියා රාජපක්ෂට යම් කිසි මානසික වින්දනයක් ලබාදී තම සංතෘප්තිය සොයාගත්තේය. මෙවැනි ඔලමොට්ටල බුද්ධිමතුන් යැයි කියාගන්නා අයවලුන් සිටින තාක් දුරට රාජපක්ෂලා බිහිවීමට පෝෂණය දුන් වටපිටාව එලෙසම පවතිනු ඇත.

අත්තනායක එම්. හේරත්ගේ තම අප්‍රාණික වර්ණනාව සැබවින්ම සමාන වන්නේ, අඹුඩය ගැන කතාකිරීමට ගිය ආචාර්යවරයා සිසුන් ඉදිරියේ තම සරම උස්සා අඹුඩය පෙන්වූ සිදු වීමටය. කතාවට අනුව අදාළ ගුරුවරයා සිසුන් ඉදිරියේ තම සරම උස්සා පෙන්නූ පසු සිසුන් අන්ද මන්ද විය. මන්ද සිසුන් දුටුවේ අඹුඩය නොව අදාළ ගුරුවරයාගේ හෙලුවය. අන්ද මන්ද වූ සිසුන් දැක වික්ෂිප්ත වූ ගුරුවරයා තම යටකය අතගා බලන විට තමන්ට එදින අඹුඩය ඇඳගෙන ඒමට අමතක වූ බව සිහි විය.

රටේ බුද්ධිමතුන් නාමයෙන් පෙනී සිටින අහිංසක ජනතාවගේ කාලය සහ මොළ විකන අයවලුන්ගේ සැබෑ ස්වභාවයද එයයි. අත්තනායක එම්. හේරත්ට අනුව රටේ ඕනෑම හොරෙකුට සරමක් ඇඳගත් පමණින් දේශහිතෛෂියෙකු වී රටේ බලය ග්‍රහණය කරගත හැකිය. රටක ඇතිවී ඇති විකෘතිය පසෙකලා තම පෞද්ගලික තණ්හාව වෙනුවෙන් “බුද්ධිමය” කවටකම් කිරීම පාපයක් නොව ශාපයකි.

රාජපක්ෂ තමන්ට තෙවන වරටත් අපේ මාතෘභූමිය කාබාසිනියා කිරීම සඳහා පසුබිම සකස් කරන්නේ මෙවැනි අයවලුන් විසිනි.

මේ වන විට ඉතා පැහැදිලිවන කරුණ වනාහී රාජපක්ෂ නීතිය ඉගෙන ගෙන ඇත්තේ එය ආරක්ෂා කරමින් ලෝකය ඉදිරියේ ගෞරවයක් ඇති ජාතියක් බවට අපේ මාතෘභූමිය පත් කිරීමට නොවේ. එනම් රටේ නීතිය මෙවලමක් ලෙස භාවිතා කරගනිමින් විකෘතියක් නිර්මාණය කොට තම පෞද්ගලික අභිලාෂයන් ඉටුකර ගැනීම සඳහාය. මෙය රටක් එහි අවාසනාවට උරුම කරගන්නා අතිශය ගැඹුරු සහ වේදනාකාරී ප්‍රතිඵලය වේ.

මෙවැනි තත්වයක් යටතේ මැදිවියේ පසුවන තරුණයින් විසින් රටේ මහළු කාන්තාවන් දූෂණය වීම සහ ඇතැම්විට එලෙස දූෂණයට ලක්වූ කාන්තාවන් මරාදැමීම දිනපතා අසන්නට ලැබීම පුදුම විය යුතු කාරණයක් නොවේ. රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ සියලුම ආයතන පද්ධතිය තමන්ගේ සහ තම පවුලේ ග්‍රහණයට නතු කරගනිමින් අපේ මාතෘභූමියට සිදු කරන්නේද ඊට සමාන කර්තවයකි. සංස්කෘතික වශයෙන් සිරවී ඇති ලිංගික අර්බුදයේ ඇති දේශපාලනික සීනු නාදය වන්නේ එයයි. අප්‍රාණික මාතෘභූමියක ගෙල, තම බලය අනිසිලෙස යොදා සිරකරන පාලකයාගේ නොනිමි රතිය මෙයයි. මෙය අපරාධයකි.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa