Ampara, සිංහල, Democracy, Human Rights, Life quips

පොලිසිය අම්පාරේ තවත් බිල්ලක් ගනී

පසුගිය 23 වනදා රාත්‍රී 8 ට පමණ අම්පාර මධ්‍යම කඳවුර, වීරගොඩ ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක් අසලදී පොලිස් බටයෙක් හා ග්‍රාමරක්ෂක භටයන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 22 දෙහැවිරිදි එක්දරු පියෙක් වන දිනේෂ් සම්පත් වැලිකළ නැමැත්තා මියගොස් තවත් එක් අයෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූ තැනැත්තා මේ වන විට අම්පාර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
වාර්ථාවන අන්දමට සිද්ධිය මෙසේයි, අම්පාර වීරගොඩ ප්‍රදේශයේ තරුණයින් කණ්ඩායමක් විසින් සංවිධානය කරන දිවා රාත්‍රී ක්‍රිකට් තරඟයක් සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය රැගෙන ඒම සඳහා එම තරුණයින් කණ්ඩායමට අයත් පිරිසක් කල්මුණේ ප්‍රදේශයට ගොස්ඇත. නැවත එන ගමනේදී ඔවුන් වීරගොඩ ප්‍රදේශය ආසන්නයේ හතේකොළනිය නම් ස්ථානයේ කඩයක් අසල ත්‍රිරෝද රථය නවතා ඇත්තේ යමක් මිළදී ගැනිම සඳහායි. එහිදී ත්‍රීරෝද රියේ පැති කණ්නාඩියක් බිඳීම පිළිබඳව එතැන සිටි තවත් පිරිසක් සමග ත්‍රීරෝද රියෙන් පැමිණි පිරිස බහින් බස් වීමක් ඇතිවී තිබේ. පසුව ත්‍රීරෝද රියෙන් පැමිණි පිරිස එම ස්ථානයෙන් පිටවී ඇත. එම අවස්ථාවේ එතැනින් පා මුර සංචාරයේ යෙදෙන පොලිස් කොස්තාපල්වරයෙක් හා ග්‍රාමාරක්ෂක භටයන් දෙදෙනක් ගමන් කර ඇත. පසුව මෙම පොලිස් නිළධාරිය හා ග්‍රාමාරක්ෂක භටයන් දෙදෙනා ඉවත්ව ගිය ත්‍රීරෝද රථය පසුපස පන්නමින් වෙඩි තබා ඇත. අදාල ත්‍රිරෝද රථය වීරගොඩ පොලිස් මාර්ග බාධකයට සිද්ධිය දැනුම් දීමට නවතා ඇති අවස්ථාවේද දිගින් දිගටම වෙඩි ප්‍රහාර එල්ලවී ඇත.
මේ පිළිබඳව තොරතුැ ලබාගැනිම සඳහා අප සෙන්ට්‍රල් කෑම්ප් ප්‍රදේශයභාර සහකාර පොලිස් අධිකරිවරයාගේ කාර්යාලය ඇමතු අවස්ථාවේ දුරකථනයට පිළිතුරු ලබාදුන් කාන්තා පොලිස් නිළධාරිණිය පවසා සිටියේ ඇයට මේ පළිබඳව කිසිවක් ප්‍රකාශ කිරීමට අවසර නැතිබවයි. පසුව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඇමතූ අතර ඔහු ප්‍රකාශ කර සිටියේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවත්වීම සඳහා මඩකළපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.ඒ.මාර්ක මහතාව පත්කර ඇති බවත් මෙවන විට ඔහු යටතේ කලවංචිකුඩි පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මානවඩු මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණය සිදුකරන බවත්ය.
පසුගිය මාසයේද ඉඟිනියාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙකුගේ මළ සිරුර ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී හමුවූ අතර ප්‍රදේශවාසීන් පොලිසියට විරෝධය පා ප්‍රබල උද්ඝෝෂණයක් ද සිදුකරන ලදි. දිනෙන් දින ඉහළ යන පොලිස් පොලිසිය විසින් සිදුකරන ඝාතන පිළිබඳව පොලිසියේ ඉහළ නිළධාරීන් මෙන්ම දේශපාලන අධිකාරියද නිහඬව සිටීම අභාග්‍ය සම්පන්න තත්ත්වයක් බව ප්‍රදේශවාසින් පවසයි. එසේම ප්‍රදේශවාසීන් පවසන්නේ යුද තත්ත්වය අවසන් නිසා පොලිසිය සතුව ඇති ආයුධ නැවත ලබාගැනීමට මේ හොඳම කාලය බවයි.