[Image Vikalpa : හිටපු අගවිනිසුරැ ශිරාණි බණ්ඩාරනායකට විරැද්ධව පාර්ලිමෙන්තු දෝෂාභියෝගය දිනයේදී මැති ඇමතිවරැ කිරිබත් කමින් ප්‍රජාතන්ත්‍රවාදය නිළ වශයෙන් වළ දැමු එක් දවසක්/ 2013 ජනවාරි 12, අගවිනිසුරැ නිළ නිවන අසළ]

නොවැම්බර් 10: තවත් එක් කළු සඳුදාවකි යනුවෙන් ලිපියක් වෙබ් අඩවිවල පළ වී තිබිණි. එයින් අදහස් දැක්වී තිබෙනුයේ අද එනම් නොවැම්බර් 10 කලු සදුදාවකි යන්නය. ඒ අන් කිසිවක් නිසා නොව ජනාධිපතිවරයා විසින් තමන්ට පුලුවන් දැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරැණු විමසීමත්, ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබදව තමන්ගේ විනිශ්චය අද දින ලබා දීමට තිබෙන බවට වාර්තා වන නිසාත්ය. නිලන්ත ඉලංගමුව ලියු එම සටහනේ මාතෘකාව නිවැරදිය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස කුමක්දැයි දේශපාලනයේ අකුරක් හෝ දන්නා අයෙක් මේ වන විට තීරණය කර හමාරය. තීරණය කුමක්දැයි ලෝකයටම මේවන විටත් ඉවක් තිබේ.

ඒ සැබැවින්ම අද පමණක් ‘කළු‘ වන නිසා නොව රාජපක්ෂ පාලනයේ මාර්ග සිතියමේ බහුතරයක් තැන් ‘කළු‘ නිසාය. එබැවින් අද ද හෙට ද කළුය. (නමුත් එය වෙනස් කිරීමේ බලය ඇත්තේ මෙරටේ ජනයාටය.)

ප්‍රජාන්ත්‍රවාදයේ කළු දවස

2013 ජනවාරි 12වනදා පාර්ලිමේන්තුවේ ඡන්දයක් විමසා ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක අගවිනිසුරැධූරයෙන් නෙරපා තමන්ගේ හෙංචයියෙක් එම ධූරයට පත් කර ගත්තේ ය.

එදවස ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයටද, නීතියේ ආධිපතයට ද කළු දවසක් වූයේ ය.

දැන් හෙංචයියා මූලිකත්වය දරණ පද්ධිතියෙන් තමන්ට ‘පුලුවන්‘ දැයි අසයි. ඒ කළු දවසේ උපන් අයගෙන් තමන්ට පුලුවන් දැයි අසයි. පිළිතුර දැනටමත් ලියා ඇති බව නොදන්නේ කවුරැන්ද?

ප්‍රශ්ණය සහ…

නමුත් ප්‍රශ්ණය වන්නේ එතැන පමණක් නොවේ. මෙහි මනෝමූලිත තත්ත්වයක්ද තිබේ. එනම් මොවුන්ට බලයට ඇති ආත්මීය බඩජාලිකමයි. එය ගලවා ගැනීමට එය වෙනස් කර ගැනිමට මොවුන්ට නොහැකිය.

එය එසේ වන්නේ මේ පට්ටම ගැලවුනහොත් පසුගිය වසර ගණනාවක තමන්ගේ පාලන කාලය තුළ සිදුවුනු හොරකම්, මැරකම් සහ දූෂණ යම් පමණකට හෝ හෙලිදරවු වන නිසා බලය අතහැරීමට මෙවන් පාලකයන් බිය වෙති.

නමුත් ඒ බිය කවදා හෝ තමන්ට මුහුණට මුණ ගැසෙන බව ලෝකයේ මෙවැනි ගණයේ ඇතැම් පාලකයන්ට පසුගිය වසර කිහිපය තුළ සිදුවූ දේවල් වලින් මනාව ඔප්පු වී තිබේ.

එබැවින් මහා ධනස්කන්ධයක් වියදම් කර ‘මහින්දට පුලුවන්‘ යැයි පෝස්ටර් ගසා සහ විපාක්ෂික අදහස්වලට විරැද්ධව මඩ පෝස්ටර් ගසා කෙතරම් චණ්ඩිකම් කළත් වැඩක් වන්නේ නැත.

නිදහසින් පසු කිසිදු පාලකයෙක් නොකල ලෙස, ලාංකා සමාජයේ සියලු වටිනාකම් ‘කළු‘ කළ පාපයට ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වනවා ඇත.
එයින් ගැලවීමට මැතිවරණයට දින තීන්දු කරන අරලිය මැදුරේ වැඩවාසය කරන සාත්තරකාරකාරයාගේ කට්ටකුමච්චල් දුමටවත්, ඔවුන් ඉරහද සේ විශ්වාස කරන කේන්දරයටවත් නොහැකිය.

වසන්ත බණ්ඩාර