පුරාතණ ග්‍රීක ආගම්වලට අනුව සීයුස් යනු දෙවිවරු සහ පිරිමින්ගේ පියාය. සීයුස්ගේ උපදෙස් මත ග්‍රීක ප්‍රවාදවල සඳහන් දෙවියෙකු වන හෙපීස්ටුස් සහා ප්‍රඥාවට අධිපතිනි යැයි සැලකෙන දෙවඟනක වන ඇතිනා විසින් ලෝකයේ පළමු මනුෂ්‍ය ස්ත්‍රීය නිර්මාණය කළේ යැයි විශවාස කෙරේ. එසේ නිර්මාණය කරනු ලැබූ පළමු මනුෂ්‍ය ස්ත්‍රීය පැන්ඩොරා නම් වූවාය. පැන්ඩොරා වස්තු බීජය ගනිමින් ඇති මිත්‍යා කථාව දේවයුක්තිවාදයක් වන අතර එමඟින් ලෝකයේ නපුරු සහ දුෂ්ඨ දෑ ඇත්තේ මන්දැයි යන ගැටලුවට ප්‍රතිචාර දැක්වීමට උත්සහ දරා ඇත.

පැන්ඩොරා සම්බන්ධයෙන් ග්‍රීක ප්‍රවාදවල එන ටයිටන්වරුන් දෙදෙනෙකු වන ප්‍රෝමෙතියුස් සහ එමිමෙතියුස් ( ඔවුන් දෙදෙනා සහෝදරයින් ලෙසද හැඳින්වේ.) අතර වන සංවාදයක් ඇමෙරිකාවේ ජීවත් වූ ප්‍රකට සාහිත්‍යධරයකු වන හෙන්රි ලෝන්ග්ෆෙලොව් වඩාත් අලංකාර ලෙස කාව්‍යට පෙරලා ඇත. ඔහු, “පැන්ඩොරාගේ වෙස්මුහුණ” නමින් පලකළ ප්‍රකට කාව්‍ය සංග්‍රහයේ මෙය සවිස්තර කොට ඇත.

පැන්ඩොරා යනු තමන්ට දෙවිවරුන්ගේ ආශීර්වාදය නිසා ලැබූ ත්‍යාගයක් ලෙස විස්වාශ කරන එමිමෙතියුස් වඩාත් සන්තෝෂ වන්නේය. නමුත් එහි ඇති සැබෑ විනාශය ගැන අවබෝධ කරගන්නා ප්‍රෝමෙතියුස් තම සහෝදරයාට අවවාද කරන්නේය. ප්‍රෝමෙතියුස් එහිදී එමිමෙතියුස්ට ප්‍රතිචාර දක්වමින්, “දෙවිවරුන්ට කෙනෙක් විනාශ කිරීමට ඕනෑ වූ විට පළමුව ඔහුට පිස්සු වට්ටන්නේය,” යැයි කිව්වේය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාද ප්‍රෝමෙතියුස් විස්තර කරන අයෙකුගේ තත්වයට පත් වී ඇති සැටියෙකි. ජනාධිපති රාජපක්ෂ කියන කතා වලින් එය ඉතා පැහැදිළිව නීරීක්ෂණය කළ හැකි අතර අවාසනාවට ඔහුට ඔහු මුහුණදී සිටින කණගාටුදායක තත්වය තේරුම්කරදීම සඳහා, ප්‍රෝමෙතියුස් කෙනෙකු අහලකවත් නැත. හොරුන් ලංකර ගැනීමේ පාපය මෙන්ම වන්දිය මෙයයි.

ඔහු මෑතකදී සඳහන් කළ පරිදි ඔහු වටා සිටින සියලුම දෙනා ඔහු රඳවාගෙන ඇත්තේ ප්‍රාණ ඇපයටය. ඔහු සතු අනෙකාගේ ලිපිගොනුවේ ( ෆයිල්) ප්‍රමාණය අනුව ඔහුගේ හෝ ඇයගේ “වහල්සේවය” දීර්ඝ වේ. ඔවුහු, රටට හෙණ වැදුණත් රාජපක්ෂ සමඟ සිටිමින් තවත් යමක් හොරකම් කොට හෝ හොරකම් කළ දෑ රැක ගැනීම හැරෙන්නට මෙම උදාවී ඇති අමිල අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් රටේ සැබෑ විමුක්තිය තහවුරු කර ගැනීමට හීනෙන්වත් සිතෙන්නේ නැති සැටියෙකි. වංචාවේ ස්වභාවය එයයි.

රාජපක්ෂ, පත් වී ඇති තත්වය හමුවේ කළ හැකි ඕනෑම විනාශයක් කොට තම බලය රැකගැනීම සඳහා හෙතම පෙළඹී සිටීම සහ ඊට අවශ්‍ය උපායන් සෙවීම පුදුමයක් නොවේ. හදි හූනියම් සහ අනෙකාගේ ග්‍රහ අපල ගැන පත්තර වල පිටු ගණන් පුරවමින් රාජපක්ෂ මේ අරඅදිමින් සිටින්නේ රට තවදුරටත් අපකීර්තියේ සංකේතයක් බවට පත් කිරීමටය. මුඩු ගොඩබිමක් කිරීමටය.

මෙම තත්වය වඩාත් හොඳින් තේරුම් ගත යුතුව ඇත. අනෙකාගේ ග්‍රහයා නීච වී ඇති බවත් ඔහුට හෝ ඇයට රාජ යෝගයක් නැති බවත් සඳහන් කරමින්, ග්‍රෝත්‍ර යුගයේ කතාන්තර ගෙතීම හැරෙන්නේට රාජපක්ෂ වරිගයට සහ ඊට උල්පන්දම් දෙන අයවලුන්ට වෙන විකල්පයක් නැත. ඔවුහු සියල්ලගේම පස්ස රත්වී ඇති සැටියෙකි.

මෙහිදී ඉතා පැහැදිලි කරුණ වනාහී රාජපක්ෂ ඇතුළු ඔහුගේ වරිගය මෙම රටේ නීතිය සහ සදාචාරය කාබාසිනියා කරමින්, රටේ කරගෙන යන ගෝත්‍ර-කල්ලිවාදී දේශපාලනය හමුවේ අපේ මාතෘභූමියේ වෙසෙන මිලියන දෙකකට ආසන්න ජනගහනයේ පමණක් නොව ඇසට පෙනෙන මෙන්ම නොපෙනන සියලු සතුන්ගේ පවා ග්‍රහයන් නීච වී ඇත. මෙම මුලාව තේරුම් ගෙන, තව දුරටත් මිත්‍යාදුෂ්ඨිකයින්ගේ ගොඩබිමක් බවට අපි පත්වන්නේද යන්න, අපි විසින්ම තේරුම් ගත යුතුව ඇත.

රාජපක්ෂ විසින් මෙම ගොඩ නගා ඇති සමාජ ක්‍රමය ගොඩා නගා ඇත්තේ ඔහුට සහ ඔහුගේ අතවැසි පිරිසට රිසි ලෙස අපේ මාතෘභූමිය කෙළසීම සඳහාය. මෙය තවදුරටත් පැවතීම වූ කලී රට තවදුරටත් අගෞරවයට පාත්‍රවීමකි. මෙය අසමත් පාලනයකි. මින් ගොඩ ආ යුතු අතර ඒ සඳහා වූ මාර්ගය ඉතා පටු සහ තීරණාත්මක එකකි. එහි බාධක එමට තිබේ. පළමු බාධකය වූ කලී මිත්‍යා දුෂ්ඨිකයින් තම පැවැත්ම සඳහා රටේ පැළපදියම් කොට ඇති මිත්‍යාවයි. දෙවැන්න රාජපක්ෂ කියන බොරු වල ඇති ගැඹුර තේරුම් ගැනීමයි. එය ඔහුට සවන්දීමෙන් සහ ඔහුගේ මුහුණ දෙස බලා සිටීමෙන් කළ හැකි ඉතා සරල කටයුත්තකි.

තමන් අනෙකාගෙන් පළිනොගන්නා බව කියා පැය කිහිපයක් යෑමට ප්‍රථම ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෙන්ම ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති වශයෙන් කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් පත්වීම් දහසකට අධික සංඛ්‍යාවක් අවලංගු කරනු ලැබීය.

රටේ නායකයා අමුලික බොරුකාරයෙක් සහ දුෂ්ඨයෙක් බවත්, හැපින්නක මෙන් පන්නා පන්නා දෂ්ඨ කරන්නකු බවත් සිදුකරමින් සිටින සෑම කටයුත්තකින්ම පෙනේ. මෙවැනි නායකයෙක් මෙන්ම වරිගයක් අපේ මාතෘ භූමියට කිසිසේත්ම අවශ්‍ය නොවේ. සැබවින්ම ඔහු සැබෑ නායකයෙකු නම් කළ යුතුව තිබුණේ එම පත්වීම් සියල්ලම එලෙසම ක්‍රියාත්මක වීමට ඉඩදීම සහ එමඟින් ලකුණු දා ගැනීමය. නමුත් රාජපක්ෂ ජනාධිපතිවරයාට එවැනි තීරණයක් ගැනීමට තරම් සන්සුන්බවක් සහ ප්‍රඥාවක් නැත. ඔහු දැන් පාලනය වන්නේ වෛරයෙන් සහ තරහයෙනි.

මින් ගැලවෙන්නේ කෙසේද? මෙය අතිශය සංකීරණ මෙන්ම බැරෑරුම් කර්තවයක් ලෙස මතුපිටින් පෙනුණද එය මනා අවබෝධයෙන් සහ පරෙස්සමින් කළහැකි කාරණයක් වේ. ඒ සඳහා අවශ්‍ය වැදගත්ම සහ අත්‍යවශ්‍යම වටපිටාව සකස් වී තිබේ. රාජපක්ෂ පැරදුණු පසුද ඔහු ආරක්‍ෂා කරගන්නා බව, විපක්ෂනායකවරයා ඉදිරිපත් කළ අදහස අතිශය වැදගත් වේ. සැබවින්ම සිදුවිය යුත්තේ එයයි.

නමුත් ජනාධිපති රාජපක්ෂගේ දේශපාලනය මීට සම්පූර්ණයෙන්ම වෙනස් වූ දිය රකුස් පාලනයකි. ඔහු අනෙකාට පහරදීම සහ ශාප කිරීම හැර වෙනත් කාලෝචිත දේශාපාලන වටිනාකමක් ඇති කතාවක් පවා කිමට අසමත්ය.

අනෙක් අතින්, මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන ආණ්ඩුවේ පුවත්පත් ඇතුළු සියලුම මාධ්‍යට පහර ගැසීමේ වුවමනාවක් තිබුණද, ඒ සඳහා සොයාගත හැකි කාරණයක් නැත. ඔහුට පහරදීම සඳහා අලුතෙන් කරුණු සොයාගත යුතුව ඇත. මෙය හාස්‍ය ජනක වන්නා සේම ඛේදනීයය.

මෙහි ඇති හාස්‍යජනක තත්වය වූ කලී, රාජපක්‍ෂගේ වරිගය සහ ඔහු වටා සිටින අයවලුන්, විපක්ෂිකයාගේ ශක්තිය හීන කිරීම සඳහා සිදුකරන සෑම විවේචනයක්ම රාජපක්ෂ හමුවේද වලංගු වීමය. ඔහුට කොටි සංවිධානය ගැන කීමට නොහැකිය. මන්ද කොටි සංවිධානය සමඟ අදහාගත නොහැකි මට්ටමේ ගනුදෙනු ඔහුට ඇත. කේ. පී. සමඟ මදුසමය ගතකරමින් ජයකුමාරි හිරේ දමා ඇය කොටිදෙනක් යැයි කීම මඟින්, කතාවේ හාස්‍යයේ ඇති ගැඹුර අවබෝධකර ගත හැකිය.

මෙහි ඇති ඛේදනීය තත්වය වන්නේ තවදුරටත් මෙවැනි බොරු මඟින් රටේ ජනතාවගේ කාලය, මුදල් සේම ඔවුන්ගේ ඔළුගෙඩි නරක් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු ඔහුට හිතවත් මාධ්‍ය යොමු වීමයි. අඩුතරමින් තම ජීවිතය ගැන හෝ හැඟීමක් තිබේනම් මෙවැනි බොරුවලින් මාතෘභූමිය රැවටිය හැකිද?

චීනයේ විසු අග්‍රගණය කතුවරයෙකු වන ලු සුන්, තම වෛද්‍ය අධ්‍යාපනය අතහැර දමා, ලිවීමට පටන් ගත්තේය. එකල චීනය වූ කලී වර්තමානයට සාපේක්ෂව දූෂණයේ සහ භීතියේ ගොඩබිමක් විය. ඔහු එහිදී සටහන් කළ කාරණයක් වූයේ, තම රටේ මිනිසුන්ගේ මතුපිට ලෙඩ සුව කිරීමට වඩා මානිසික රෝග සුවපත් කිරීම වැදගත් බවයි. එවිට මෙම රෝගී සමාජය, ක්‍රමිකව නිරෝගීවන බවත්, පාලකයාගේ රැවටිලිවලට හසු නොවන බවත් හෙතම සඳහන් කළේය. ලු සුන් නූතන චීන සාහිත්‍යයේ පියා ලෙස සැලකෙන්නේ, ඔහු විසින් සිදු කළ ජීවමාන දායාදය මඟිනි.

ශ්‍රී ලංකාව පැමිණ සිටින්නේද එවැනි තීරණාත්මක කඩ ඉමකටය. මෛත්‍රීපාල යනු එක් පුදගලයෙක් පමණි. සත්‍ය දැක දැක ඊට එරෙහිවීමට නොහැකිව හිතින් වද විඳිමින් කෙසේ හෝ අවසන් මොහොතේදී තම ආත්මගරුත්වය සලකා රාජපක්ෂගෙන් ඉවත් වූ අයෙකි.

ඔහුට රටේ ඇති වී ඇති විකෘතිය, තනිව නිවැරදි කළ නොහැකිය. මන්ද එය එපමණකට සංකීරණ එකකි. හොඳම උදාහරණය ඔහු ලබාදුන් පත්වීම් වලට පත්වූ ඉරණමය. එබැවින් මෙම විකෘතිය නැති කිරීම සඳහා සෑම අයෙකුගේම සහය අවශ්‍ය වේ.

තමන්ගේ පිස්සුව ස්ව-කැමැත්තෙන් හෝ තමන් තේරුම් ගෙන ප්‍රතිකාර ලබාගන්නේනම්, ජනාධිපති රාජපක්ෂද, අනිවාර්යෙන්ම සහය දෙනු ඇත්තේ මෛත්‍රීටය. නමුත් රාජපක්ෂ අත්වී ඇති ඉරණම, දෙවියන්ගේ මෙහෙයුමක්ද? දෙවියන් කෙසේ එය සැලසුම් කර තිබෙන්නේද යන්න? හෙතුඵලවාදය සහ මැදුම් පිළිවෙත සැබෑ නිදහසේ මාවත යැයි පිළිගන්නා බෞද්ධයෙකු වන මට කිව නොහැකිය.

අවසන් විග්‍රහයේදී, රාජපක්ෂගේ, පැන්ඩොරා යනු වෙන කවුරුත් නොව, 18 වන ව්‍යවස්ථා සංශෝධනය සහ විධායක බලතලයි. එය දෙවිවරුනුත් අවබෝධ කරගෙන ඇති සැටියෙකි.

නිලන්ත ඉලංගමුව