Image Credit: srilankaguardian.org

මහින්ද රාජපක්ෂ පාලනය, දූෂණයේ තෝතැන්න බව මෙතෙක් කල් විවිධ පාර්ශ්ව විසින් පෙන්වා දුන් කරුණකි. නිදහස් ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රය තුළ දූෂණය විවිධ මට්ටම්වලින් ඔඩුදුවමින් තිබුණි. එහෙත්, පසුගිය වසර දහයක පමණ කාලයේ පටන් අල්ලස සහ දූෂණය රජ කළ කාලයක් නිදහස් ලංකාවේ මීට පෙර තිබුණේ නැත. මේ තත්වය, විවිධ ආකාරයේ නිදහසට කරුණු කියාපාමින් පාලකයෝ ප‍්‍රතික්ෂේප කළහ. මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති හරහා කෙලකෝටි ගණනින් ජාතික සම්පත් නාස්ති කිරීමට අමතරව, තවත් ප‍්‍රකෝටි ගණනින් දේශපාලඥයන්ගේ සාක්කුවලට යන බවත් අද රටට සහ ජනතාවට නොරහසකි.

දැන් ප‍්‍රථම වතාවට රටේ ජනාධිපතිවරයාම තමන් ¥ෂිතයෙකු බව ඔහුගේ කටින්ම රටට හෙළි කොට තිබේ.

පසුගිය දා රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා හෙළි කළ ඒ රහස මෙසේය. දැන් දින කිහිපයකට පෙර ආණ්ඩුවෙන් වෙන් වී විපක්ෂයට ගිය සහ අනාගතයේ එළැඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට විරුද්ධ සටනට නියමිත පිරිස්වල ‘ෆයිල්’ තමන්ගේ අතේ ඇතැ යි ජනාධිපතිවරයා කීය. ඔහු එයින් කුමක් අදහස් කළත් අප එය තේරුම්ගන්නේ කෙසේද?

මෛත‍්‍රීපාල සිරිසේන සහ රාජිත සේනාරත්න ඇතුළු පිරිස අතීතයේ කරන ලදැයි කියන ඇතැම් අක‍්‍රමිකතා සහ දූෂණ පිළිබඳ ලිපිගොනු තමන් සන්තකයේ ඇතැ යි ප‍්‍රථම වතාවට ජනාධිපතිවරයා විසින් රටට කීම, සාමාන්‍ය තත්වයක් යටතේ නම්, කෙනෙකු අගේ කළ යුතුය. එහෙත් එම හෙලිදරව්ව තුළින් අනිත් පැත්තට මතුවන ප‍්‍රශ්න ගණනාවක් තිබේ.

සොරකම් කිරීම පමණක් නොව, සොරබඩු ළඟ තබා ගැනීමත් වරදකි. අපරාධයක් සිදුවීම පමණක් නොව, අපරාධයක් සිදුවන අවස්ථාවකදී ඒ පිළිබඳ අදාළ බලධාරීන්ට දැනුම් නොදී සිටීමත් වරදකි. මේවා සාමාන්‍ය සමාජයේ ඕනෑම කෙනෙකු දන්නා ලෞකික දේවල් ය. එසේ තිබියදී ආණ්ඩුවේ ඇමතිවරුන් සහ මන්ත‍්‍රීවරුන් යම් අක‍්‍රමිකතාවක හෝ දූෂණයක යෙදී ඇති බව තමන් එක දිගටම දැන සිටියේ යැයි කීමත්, ඊට අවශ්‍ය සාක්ෂි ඇතුළු වෙනත් කරුණු සහිත ‘ෆයිල්’ හෙවත් ලිපිගොනු තමන්ගේ අතේ ඇතැ යි රටේ නායකයාම දැන් කීමත් බරපතල විහිළුවකි.

එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක, ජේ. ආර්. ජයවර්ධන හෝ චන්ද්‍රිකා කුමාරණතුංග වැනි වෙනත් අපේ රාජ්‍ය නායකයන් මෙන් මහින්ද රාජපක්ෂ දේශපාලනික බුද්ධියෙන් මුහුකුරා ගිය රාජ්‍ය නායකයෙකු නොවන බව පසුගිය කාලය තුළ නොයෙක් කතාබහ තුළින් අපට දැක ගැනීමට ලැබී තිබේ. මේ නිසා ඔහු තමාගේ කතාබහ තුළින් බොහෝ විට තමාවම නිරුවත් කොට පෙන්වයි. ඒ සමගම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රමිතීන්ට නාම මාත‍්‍රයෙන්වත් ගරු කිරීමක් ගැන මෙලෝ තැකීමක්ද මහින්ද රාජපක්ෂ තුළින් ප‍්‍රකට නොවන බවත් අපට අසන්නට දකින්නට ලැබේ.

මේ කියන ‘ෆයිල්’ ඔහුගේ අතට පත්වුණේ, මෛත‍්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස ආණ්ඩුවෙන් ඉවත්ව ගිය දවසට පසුව දා යැයි සිතිය නොහැක. එබැවින් මේ කියන දූෂණ තොරතුරු සෑහෙන කාලයක් තිස්සේ ඔහු අතේ තිබී ඇති බවට සාධාරණ අනුමානයකට අපට පැමිණිය හැකිය.

එසේ නම්, ඒ අක‍්‍රමිකතා හෝ දූෂණ ගැන මෙතෙක් කල් රාජ්‍ය නායකයා වශයෙන් ඔහු කිසි ක‍්‍රියාමාර්ගයක් නොගත්තේ ඇයි යන ප‍්‍රශ්නය මෙහිදී මතු වෙයි. දූෂණය ඉවසා සිටිය යුතු දෙයක් වශයෙන් ඔහු සළකන නිසාද? නැත්නම්, දූෂණය තමන් අනුමත කරන දෙයක් වන නිසාද? එසේත් නැත්නම්, දූෂණය පිළිබඳ පියවර ගැනීම හෝ ඒ ගැන කතා කිරීම හෝ කළ යුත්තේ අදාළ පුද්ගලයා තමන්ට ඇති පක්ෂපාතීත්වය අතහැරිය දවසේ සිට යැයි ජනාධිපතිවරයා විශ්වාස කරන නිසාද?

මේ කුමන තත්වයක් යටතේ හෝ දූෂණ වංචාවක් සඟවාගෙන සිටීම රාජ්‍ය නායකයෙකුට තරම් නොවේ. එසේ කෙළේ දූෂණය තමනුත් අනුමත කරන නිසා නම්, මහ පරිමාණ ආර්ථික ව්‍යාපෘති හරහා ඔහු ඇතුළු ඔහුගේ පවුලේ සහ ආණ්ඩුවේ නායකයන් මෙපමණ කලක් මහජන සම්පත් හොරකම් කෙළේ යැයි කියන චෝදනාව ඔප්පු වෙයි. නැතහොත්, දූෂණය ගැන අහක බලාගෙන සිටි නිසා එසේ විණැයි කියන්නේ නම්, වගකීම් විරහිත එවැනි නායකයෙකු රටක් පාලනය කිරීමට කොහෙත්ම සුදුස්සෙකු නොවන බවක් ඔප්පු වෙයි. එසේත් නැතහොත්, එවැනි ‘ෆයිල්’ ඇවිස්සිය යුත්තේ, අදාළ දූෂිත පුද්ගලයන් තමන් කෙරෙහි වන පක්ෂපාතිත්වය අතහැරිය පසු පමණක් නම්, එවැන්නෙකු රාජ්‍ය නායකයෙකු වශයෙන් පමණක් නොව, සාමාන්‍ය මනුෂ්‍යයෙකු වශයෙන් ද ගර්හා කටයුතු වන්නේය.

මෙවැනි දේවල් හඳුන්වන්නේ ‘බ්ලැක්මේල්’ කිරීම් වශයෙනි. එනම්, යම් පුද්ගලයෙකුගේ අවමානයට හෝ හානියට හේතු විය හැකි යම් කාරණයක් පිළිබඳව තමන් සතු දැනුමක් හෝ වෙනත් සාක්ෂියක් එම පුද්ගලයාට එරෙහිව පාවිච්චි කිරීමේ තර්ජනය පාවිච්චි කරමින් එම පුද්ගලයාව තමන්ගේ අභිමතයකට බලහත්කාරයෙන් යට කර ගැනීමයි. උදාහරණයක් වශයෙන්, යම් තරුණියක් සමග පේ‍්‍රම සම්බන්ධයකින් පසු වන තරුණයෙක්, එම පේ‍්‍රමය අතරතුරේ තමන් සතු කරගත් යම් දැනුමක්(ඡායාරූපයක්, පෙම් හසුනක්) ඇයට විරුද්ධව පාවිච්චි කරන බවට තර්ජනය කිරීමක් ගත හැකිය. එය, අකෘතඥ කමකි. අශිෂ්ට කමකි. බොළඳ පෙම්වතුන් අතර මෙවැනි දේවල් බොහෝ විට සිද්ධ වුවත්, රාජ්‍ය පාලකයන්ට එසේ හැසිරීමේ නිදහසක් සමාජ සම්මතයෙන් පමණක් නොව, නීතියෙන් ද ලැබෙන්නේ නැත.

ඊළඟට, මෙසේ තමන් හැර ගිය පිරිසේ ‘ෆයිල්’ හැරුණු කොට, තවම තමා සමග ඉන්නා තව කී දෙනෙකුගේ ‘ෆයිල්’ තමාගේ අතේ ඇත් දැ යි කරුණාකර ජනාධිපතිවරයාට රටට හෙළි කළ හැකිද? ලංකාවේ තිබෙන ‘අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම’ මේ කාරණය සම්බන්ධයෙන් දැන් ගන්නා ක‍්‍රියාමාර්ග කවරේද? පොලීසිය මේ ගැන පරීක්ෂණයක් පටන් ගන්නේද? නැත, එවැනි කිසිවක් මේ ශ‍්‍රී ලංකාවේ සිදුවන්නේ නැත. ප‍්‍රගීත් එක්නැලිගොඩ පිටරටක සිටින බවට තොරතුරු තමා සතුව ඇතැ යි ජාත්‍යන්තර වේදිකාවකදී කී වර්තමාන අගවිනිසුරු මොහාන් පීරිස්ගෙන් ලංකාවේ කිසි පොලීසියක් විහිලූවටවත් ප‍්‍රශ්න කෙළේ නැත. මේ නිසා, ජනාධිපතිවරයාගෙන් හෝ අධිකරණයෙන් හෝ පොලීසියෙන් සාධාරණයක් ඉෂ්ට වෙතැ යි අපට බලාපොරොත්තු විය නොහැක.

තමාගේ අතේ ඒ කියන ‘ෆයිල්’ ඇතත්, ඒවා එම පුද්ගලයන්ට විරුද්ධව පාවිච්චි කිරීමට තරම් තමන් ‘පහත්’ පුද්ගලයෙකු නොවන බවත්, ඒ සමගම මේ ජනාධිපතිවරයා අඟවයි. ඉන් ඔප්පු වන්නේ, ඔහුගේ ’උසස්’ බවක්ද, නැත්නම්, නීති විරෝධී ක‍්‍රියාවක් ආරක්ෂා කරන නායකයෙකුගේ හෙළුවක්ද? මෙහිදී ඔහු ව්‍යංගයෙන් කීවේ, අවශ්‍ය නම් පළිගත හැකි බවයි. ඊළඟට, මෛත‍්‍රීපාල සිරිසේන සහ රාජිත සේනාරත්නට අමතරව, තවමත් තමන්ගේ ආණ්ඩුවේ සිටින එවැනි ‘ෆයිල්’ ඇති තවත් සිය ගණනක් මැති ඇමතිවරුන්ට ඒ මගින් ඔහු දෙන පණිවිඩය කුමක්ද? ඒ හැම කෙනෙකුවම අවශ්‍ය අවස්ථාවක දංගෙඩියට දැක්කීමේ කෙවිට තමන් අතේ ඇති බව නොවේද?

අනුන්ගෙන් පළිගැනීම තමන්ගේ සිරිත නොවේ යැයි කියන ජනාධිපතිවරයාගේ ඇත්ත කැරැට්ටුව කුමක්ද? හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හිරේ ගියේය. ඒ ඇයි? හිටපු අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක ගෙදර ගියාය. ඒ ඇයි? කන්දක් උසට සාක්ෂි අනිත් පැත්තට තිබියදී, කටේවත් නොගෑවෙන සේ මෙසේ බොරු කීම, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් රටට ඔප්පු කොට ඇති තවත් චරිත ලක්ෂණයකි.

කාටවත් එරෙහිව පළිගැනීම පුරවැසියන් වශයෙන් අප අනුමත කරන්නේ නැත. එහෙත්, ප‍්‍රාථමික පාසලක මුල් ගුරුවරයෙකු ළමයෙකු පාසලට ඇතුළත් කර ගැනීම සඳහා පිඟන් කෝප්ප කට්ටලයක් සන්තෝසමක් වශයෙන් භාර ගැනීමේ ‘වරද’ මත හිරේට ඇදගෙන ගිය රටක නායකයෙකු, තමාගේ කැබිනට් ඇමතිවරුන් දූෂණ ක‍්‍රියාවන්හි යෙදුණු බව දැනගෙන පියවර නොගෙන සිටීම තුළ රටට පෙනෙන්නේ දූෂිත ජනාධිපතිවරයෙකුගේ පැහැදිළි ‘කටවුටයකි’. දැන් රටේ හැම මුල්ලකම ගසා ඇති ජනාධිපතිවරයාගේ යෝධ ‘කටවුට්’ දකින පුරවැසියාට පෙනෙන්නේ එම චිත‍්‍රයයි. ඒ නිසා, ජනාධිපතිවරයා අදවත් අවබෝධ කරගත යුතු එක සත්‍යයක් තිබේ. එනම්, අනුන්ගේ ‘ෆයිල්’ තමන්ගේ ඇතැයි කියන ජනාධිපතිවරයාගේ ‘ෆයිල්’ එක මේ රටේ සමස්ත ජනතාවගේ අතට මේ වන විට පත්ව තිබෙන බවයි.

Gamini Viyangodaගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda