Image Credit: telegraph.co.uk

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් ඔහුගේ ඇමතිගොල්ලන් කිහිපපළකුත් පසුගිය දිනවල තැන තැන කර තිබූ ප්‍රකාශ කීපයක් මුල් කර ගෙන ‘ජනාධිපතිට ජනතාව විහිලුවක්ද‘ ශීර්ෂයෙන් යුතුව රංජිත් හෙන්නායකාරච්චි විසින් ‘විකල්ප‘ වෙබ් අඩවිය ට ලියා තිබූ වටිනා ලිපියක් කියවූයෙමි. මේ කෙටි සටහන ලියන්නේ ඊට කරන තවත් පුංචි එකතු කිරීමක් වශයෙනි.

ලංකාවේ මිස මිහිපිට වෙන කිසිම රටක ආණ්ඩුවේ ඇමති වරයෙකු විසින් නොකියන තාලේ තවත් නොම්මර එකේ ප්‍රකාශයක් ආපදා කළමණාකරන ඇමති මහින්ද අමරවීර විසින් පුවත්පත් සාකච්ඡාවකදී කියූ බව ඊයේ පුවත්පත්වල පළ වී තිබුණි. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව අතින් දූෂණ, අකටයුතුකම් සිදු වී ඇති බව කෙළින්ම පිළිගන්නා මේ ඇමතිතුමා ජනතාවට කියා ඇත්තේ, මේ ආණ්ඩුවේ අය මේ වන විට හොද හැටි බඩ කට පුරා කා, පරම්පරාවටත් සරි කරන ගෙන ඇති නිසා, ජනතාවට ගත හැකි වඩා ඥානවන්ත තීරණය මේ රජයම නැවත බලයට පත් කර ගැනීම බවයි. මන්ද යත්, යූ එන් පී රජයක් බලයට පැමිණයොත් ඔවුන් සම්පත් සූරා කෑම, අලුතෙන්ම පටන් ගන්නා නිසා ජනතාවට දැරීමට සිදුවන බර වැඩිය. මහින්ද රාජපක්ෂගේ රජයේ අය දැන් ඕනෑවටත් වඩා හම්බ කරගෙන ඇති නිසා තවත් ජනතා මුදල් කොල්ල කෑමක් අලුතෙන් සිදු නොවනු ඇත. ඒ නිසා මේ ආණ්ඩුවම තෝරා ගැනීම ජනතාවට වඩා හොදය!!! මේ කතාව කටේ අජූවක් නැතිව කිසිදු බයක් සැකක් නැතිව මයික් කටකින් ජනතාවට කියන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකි. රාජපක්ෂ පාලනය අපේ රට ගෙනැවිත් තබා ඇත්තේ මෙතැනය. ‘ඔව් පාලකයෝ දූෂණ කරනවා. වංචා කරනවා, ගසා කනවා, රටේ මහජනතාවගේ සම්පත් කොල්ල කනවා, පුළුවන් තරං හම්බ කරගන්නවා….ඉතිං මොකද? ඒක හරි සාමාන්‍ය දෙයක්…වැඩේ තියෙන්නෙ අපි දැන් ඒක කරගෙන ඉවරයි….ඒ නිසා ඉස්සරහට ආයි ඒවා කරන්න උවමනාවක් නෑ“ ඇමති තුමා කියන්නේ මෙයයි. ජනතා ද්‍රෝහී රාජපක්ෂ ආණ්ඩුව නිමක් නැතිව අපරාධ කරනවා මතු නොව, ඒවා කරන බව දැන් එළිපිට ගෙඩි පිටින් කියයි. ඒ ආණ්ඩුවේ චණ්ඩි කමයි. එසේ කියමින් තවත් වාරෙකට තමන්වම තියාගන්නැයි කියයි. ජනාධිපතිටත් ඔහුගේ ආණ්ඩුවටත් ශ්‍රී ලාංකික ජනතාව යනු මහා විහිළුවකි. පනු රැළකි.

සති කීපයකට පෙර ජනාධිපතිවරයා නෝවේ රටේ එරික් සෝල්හයිම්ට දෙස් දෙවොල් තබමින්, ඔහු කොටින්ට මුදල් දුන්න බවට චෝදනා කරමින් ඔහුට ද්‍රෝහියා යයි පලු ගසමින් සිටියේය. නොර්වේ රටේ එරික් සෝල්හයිම් ගැන මේ තරම් කරදර වෙන ජනාධිපතිට, තමන්ගේ තුරුල්ලේ සිටින එල් ටී ටී ඊයේ ජාත්‍යන්තර මුදල් ගනුදෙනු භාරව සිටියායැයි කියන කේ පී ගැනවත් ප්‍රභාකරන්ගේ දෙවෙනියා වශයෙන් සිටියැයි කියන කරුණා අම්මාන් ගැනවත් අබමල් රේණුවක පරහක් නැත. ජනතාව කියන මෝඩ රැළට ඕවා මතක් වෙන්නේ නැති යැයි ඔහු සිතනවා විය යුතුයි. පපුවට දෑතින් ගසාගනිමින්, මූණට උමතු ආවේශයක් ආරෝපණය කරගෙන සෝල්හයිම්, ඩයස්පෝරා, ජාත්‍යන්තර කුමන්ත්‍රණ, විදුලි පුටුව, එන්ජීඕ, ඩොලර් ආදි පිලුණු වචන රොත්තක් නැවත නැවත කියමින් පරල වී බෙරිහන් දුන් විට මෝඩ ශ්‍රි ලාංකික ජනතාව තමාගේ ඇක්ටිං පාරෙන් නියමෙටම ඇන්දෙන බවත් ඊළග ඡන්දය දිනන එක මහ කජ්ජක් නොවන බවත් රාජපක්ෂ ජනාධිපති විශ්වාස කරනවා විය යුතුයි.

පසුගිය කාලය පුරාම අපේ රටේ නායකයන් ජනතාවට කියූ අරුම පුදුම ඇස් උඩ ඉන්දවෙන කතාන්දර ගොඩ එකට පෙළ ගැස්වුවොත්, ඔවුන්ට ජනතාව අමු ජෝක් එකක් වී ඇති අයුරු පෙනේ. දුමින්ද සිල්වාගේ මහා අමතක වීමේ ජාතකය, තමා විසින්ම තමාගේම කය ගස් බැද ගත් පිස්සාගේ වස්තුව, වෙරි මරගාතේ ඇදි නැති පුටුවෙන් ඇද වැටී අහක සිටි කාටවත් බැණ අඩගාන තානාපති නිලධාරියෙකුගේ කතාව, මේ මුතු ඇටයේ ආශ්චර්යය ගැන ඇවිලුණු ඊර්ෂ්‍යාවෙන් අධිරාජ්‍යවාදී කදවුර විසින් නිමක් නැතිව අටවන අති සංකීර්ණ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ආදී රසවත්, ඉන්ද්‍රජාලික අධි යථාර්ථවාදී කතන්දර රාජපක්ෂ ආණ්ඩුව නැවත නැවත ජනතාවට කියමින් සිටියි.

ශ්‍රී ලංකාවේ තරම්, තමන්ව ඡන්දය දී බලයට පත් කළ ජනතාවට ගර්හා කරන, ඔවුන් හිතූ හිතූ හැටියට ඕනෑම ගොනෙකුට අන්දවා රවට්ටා ගත හැකි, මන්ද බුද්ධිකයන් රැළක් යයි සිතා කටයුතු කරන පාලකයන් මේ ලොව වෙන කිසිම රටක නැති බව සහතිකය. එක අතකට අපේ රටේ ජනතාව පසුගිය කාලය පුරා ඇස් පනා පිට පෙනි පෙනීම හිනාවෙවී මරු යකාගේ කටට පැන ඇති අතර රටේ බරපතල දේශපාලන තීන්දු ගැනීමට තිබූ අවස්ථා පොඩි පොඩි ආතල් ගත හැකි සොමි ගේම් එකක් කරගෙන හැසිරී ඇති බව ඇත්තය. මනාප තොග පිටින් අරගෙන රටේ පාර්ලිමේන්තුවේත්, පළාත් සභාවලත් වාඩි වී සිටින අය දෙස බැලූ විට එය පැහැදිලිය. වගකීම් සහගත පුරවැසි සමාජයක් සිටියා නම් සරත් පොන්සේකා හිරේ දැමීම, අග්‍රවිනිශ්චකාරවරිය පන්නා දැමීම, 17වෙනි සංශෝධනය කණපිට පෙරළා තනි පාලකයෙකුගේ සිතැගි ඉටු කරන 18වෙනි සංශෝධනය ගෙන ඒම, මේ සා නින්දිත ආකාරයට කෝටි ප්‍රෙකෝටි ගණනින් ජනතාවගේ සම්පත් කොල්ල කෑම, අධිකරණය ජනාධිපති අත නැටවෙන රූකඩයක් තරටම බාල්දු වීම වැනි දේ රටේ සිදු වන්නේ නැත. මොනවා කරත් මළා සේ බලා ඉන්නා ජනතාවක් ඇති රටක පාලකයින්ගේ දුර්දාන්තභාවයට සීමාවක් නැත. එහෙයින් අද පාලකයන් රටේ ජනතාව ගැන ඇති කරගෙන ඇති අසීමාන්තික අවතක්සේරුවට ජනතාවම වගකිය යුතුය. මේ අවමන් සහගත තතත්වයෙන් ගැලවීම සදහා දැන් අපට කළ හැක්කේ රටක පුරවැසියන් හැටියට අප විසින්ම කෙළෙසා ගත් ගෞරවය බිදෙන් බිද ගොඩනගා ගැනීමට වෙර දැරීමයි. ඒ සදහා හොදම සහ තීරණාත්මකම අවස්ථාව දැන් එළඹ තිබේ. අපව තවත් මෝඩයාට ඇන්දවිය නොහැකි බවත්, ඒ පරණ ගොනා විකුණා දමා ඇති බවත් මහින්ද රාජපක්ෂටත්, ඔහුගේ දූෂිත රොත්තටත් පෙන්වා දීමට මේ අවස්ථාවයි. එසේම ඉදිරියට බලයට එන පාලකයන්ටත්, අනෙතුක් දේශපාලකයන්ටත් ශ්‍රී ලාංකික ජනතා ව යනු මෝඩ රැළක් නොව බරපතල ලෙස සැලකිල්ලට ගත යුතු මහා බල ප්‍රවාහයක්ය යන්න මතක් කර අනතුරු ඇගවීමටත් මේ හොදම අවස්ථාවයි.

නදී