උගුලෙන් ගැලවෙමු‘ යන තේමාව මුල් කර ගනිමින් ඊයේ(02) හයිඩ් පිටියේදී රැලියක් සංවිධානය කර තිබිණි. පුරවැසි බලය සංවිධානය කර තිබූ එම රැලියට විශාල පිරිසක් එක්ව සිටි අතර එම රැළියේ වේදිකාව අරලිය මැදුර වන්දනා කිරීමට නොගිය, කොන්දක් ඇති කලාකරැවන්, මාධ්‍යවේදීන් මෙන්ම වෘත්තීය සමිති නායකයින්ගෙන් පිරී තිබුණු අතර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුලු දේශපාලන පක්ෂ නායකයින් ද පසුව එම වේදිකාවට එක්විය.

එහිදී දැකගත හැකි විශේෂත්වය වූයේ එම රැළියට පැමිණි බහුතරයක් ජනයා දේශපාලන පක්ෂවල කෑම පැකට් එකකට හෝ රැපියල් සියයට පැමිණි පිරිසක් නොවීමය. බහුතරයක් දෙනා පැමිණ තිබුණේ එම රැළියේ තේමාවටත් අන්තර්ගතයටත් තමන්ගේ ඇති ලැදියාවත් සමගය. එම පිරිස තුළ ෆේස්බුක් වැනි සමාජජාලවල නිරන්තරයෙන් දේශාපාලන, සමාජ සංවාද වලට සම්බන්ධ වන මුහුණු ද ලියුම්කරැට දැකගත හැකිවිය. එසේම විවිද දේශපාලන පක්ෂ විසින් පවත්වන රැලිවලට නිරන්තරයෙන්ම නොයන පිරිසක් එහි සිටි බව දැකීම ද විශේෂය. ඔවුන් සියලු දෙනා ට අමතරව හයිඩ් පිටියෙන් පිටත සිට එම රැලියට සවන් දුන් විශාල පිරිසක් ද සිටි බව දක්නට ලැබිනි. මෙයින් හැගවෙන්නේ මේ වන විට මිනිසුන් මේ අධිපති පාලනයට විරැද්ධව සිය අරගලය පටන් ගෙන ඇති බවය. සිය සක්‍රීය සහභාගීත්වය පෙන්වීමට සූදානම් බවය. ඒ සූදානම් වීම දැක්වෙන තවත් වැඩසටහනක් පසුගිය 25වනදා කොළඹ කොටුවේ පැවැත්විනි. ‘වියරැවට එරෙහිව‘ වීදියේ විරෝධය නම් විරෝධතාවයට ද මෙවැනිම ආකාරයේ නිරන්තරයෙන් අපට මුණ නොගැසෙන විශාල පිරිසක් සමග සංවාදයන්, සාකච්ඡාවන් ආරම්භ කිරීමට හැකියාවක් ඇති බව පෙන්වීය. ලහි ලහියේ දුම්රියට ගොඩවන්නට යන පිරිස් විනාඩි කිහිපයක් හෝ රැදී එහි පැවැති වැඩසටහනට සම්බන්ධ වන අයුරැ දැකිය හැකි විය. එවැනි කුඩා මට්ටමේ හෝ පුරවැසි ක්‍රියාකාරකම් මේ වන විට ලංකාවේ බොහෝ තැන් වලින් ආරම්භ වීමට පටන් ගෙන තිබේ. ඒ සියලු ක්‍රියාකාරකම්වල මූලය වන්නේ, රාජපක්ෂාලා විසින් කුඩුපට්ටම් කර ඇති ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස ආදී සමාජයක තිබියු යුතුම හරපද්ධතීන් නැවත ගොඩනගා ගැනීමය. නැවත සකස් කර ගැනීමය.

මේ සියලු දෙයින් හැගී යන්නේ දැන් ‘පුරවැසියන්ගේ මෙහෙයුම‘ ඇරඹී ඇති බවය. එය සුභ නිමිත්තකි. නමුත් රාජපක්ෂලාට නම් එය අසුභ වනු ඇත. පහුගිය කාලය පුරාම රාජපක්ෂලාට සූබ වූ දේවල් ජනතාවට අසුභ පළ ගෙන ආවේ ය. දැන් එය ආපස්සට කැරකෙමින් තිබේ. එය ලාංකීය සමාජය වඩා යහපත් තැනකට ඔසවා තැබීමට මූලාරම්භයකි. එසේ නැතිව රාජපක්ෂ වෙනුවට වෙනකෙක් පත්කිරීම ම නොවිය යුත්තකි. සැබැවින්ම වෙනස ඇතිවිය යුත්තේ ප්‍රතිසංස්කරණ සමගය. එහිදී මෙවැනි වේදිකාවලට සහභාගීවන පුරවැසියන්ට කිරීමට විශාල වැඩකොටසක් තිබේ. සමාජය ඉල්ලා සිටින මූලික හරපද්ධතීන් දිනා ගන්නා තුරැ ඒ අරගලය කළ යුතුව තිබේ. ලාංකීය ඉතිහාසයේ සමහර අවදිවල මෙන් නොව, එය අත්නොහැර කළ යුතු අරගලයකි.

##
සක්‍රීය පුරවැසියන් සහභාගී වූ ‘උගුලෙන් ගැලවෙමු‘ රැලියේදී මූළික අදහස් දැක්වීම ඉදිරිපත් කල රාවය පුවත්පතේ කර්තෘ, කේ. ඩබ්. ජනරංජන පැවසූ අදහස් වල හඩ පටය පහත දක්වන්නේ රටේ සිදුවන එවැනි සක්‍රීය පුරවැසි ක්‍රියාකාරීත්වයන්ට ශක්තියක් වනු පිණිසය.