Image Credit: independent.co.uk

වරක් බුරුමයේ ( මියන්මාරයේ) හමුදා ආණ්ඩුව තම දේශපාලන ප්‍රතිවාදීන් මට්ටු කිරීම සඳහා යාග හෝම පවත්වන බව ප්‍රසිද්ධ විය. කලක් තිස්සේ හොර රහසේ කළ එම කටයුතු හෙළිදරව්වීම මඟින් බොහෝ රසවත් දෑ කරළියට ආවේය. ආණ්ඩුවට තිබු ප්‍රභලතම අභියෝගය වූයේ අවුන් සාන් සූ කීගේ දේශපාලනයය. මොණරා, ඇය නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ ලීගයේ සංඛේතය විය. මිලිටරි ආණ්ඩුවේ ජෝතිර්වේදියාට අනුව අදාළ සංඛේතයට එරෙහිව හූනියම් කිරීමෙන් අදාළ පක්ෂයේ බලය හීන කළ හැකිය. ඒ අනුව අදාළ මිලිටරි ආණ්ඩුවේ නායකයින්ට යකදුරා කියා සිටියේ ඉටි වලින් තැනු මොණරෙකු අව්වේ තබා එම ඉටි රුව ඉර එළියට දිය වෙන තුරු යාග හෝම පවත්වන ලෙසයි. යාගය පවත්වන දිනය උදා විය. ආණ්ඩුව ඉටි මොණරාද සමඟ අදාළ යාගයට සූදානම් විය. නමුත් දිනය පුරාම වර්ෂාව පතිත විය.යාගය මුළුමනින්ම අසාර්ථක විය.

ඉන් පසු අදාළ යකදුරා කියා සිටියේ මඩවලින් මොණරෙකු නිර්මාණය කරණ ලෙසත් එම මඩවලින් තැනු මොණරා ස්වභාවික වර්ෂාවට දියවන තෙක් පූජා පවත්වන ලෙසත්ය. දිනය උදා විය. පෙර දින කිහිපය පුරාම ඇදහැළුණු වර්ෂාව ක්‍ෂණිකව නතර විය. මිලිටරි ආණ්ඩුවේ තම දෙවන හූනියම් උත්සාහයද මුළුමනින්ම අසාර්ථක විය. මෙම සිදු වීම රටේ සෑම තැනකම ක්‍ෂණයෙන් පැතිර ගිය අතර එය මිලිටරි ආණ්ඩුවට එරෙහිව තිබු මතවාදය තවත් ශක්තිමත් කළා පමණක් නොව මිලිටරි ආණ්ඩුව හාස්‍යයට ලක්විය.

ඊයේ ( දෙසැම්බර් 08) දිනයේදී රාජපක්‍ෂ හූනියම් කරනු ලැබූ තෛලයක් තම අතෙහි තවරාගෙන ගිය බවත් එහි අරමුණ මෛත්‍රීපාල සිරිසේනගේ අතෙහි තැවරීම බවත් වාර්තා විය. නමුත් මෛත්‍රීපාල තම අත රාජපක්ෂට දීම හිතාමාතම ප්‍රතික්ෂේප කරනු ලැබීය. එය ආණ්ඩුවේ නාලිකාවල පවා විකාශය කෙරුණු දසුන් වලින් ඉතා පැහැදිලව නිරීක්ෂණය කළ හැකි විය.

මෛත්‍රීපාල, රාජපක්ෂට අතට අත දීම ප්‍රතික්ෂේප කළද ඔහු පෙරළා නිමල් සිරිපාලට දීමෙන් එය වඩාත් පැහැදිලිව දක්නට ලැබේ. රාජපක්ෂ වෙලී විටින මෝහය සහ එමඟින් ඔහු ව්‍යාකූල අයෙකු බවට පත්කොට ඇති ආකාරය දැකීමට තරම් මෙරට ජනතාව වාසනාවන්ත වීම සැබවින්ම වැදගත්ය. කලක් තිස්සේ සඟවාගෙන සිටි ගති මතුපිටට පැමිණ අප්‍රසන්න ලෙස සෙල්ලම් කරන විට රටේ ජනතාවට තීරණ ගැනීම සඳහා පහසු මාවතක් සකස්කර දෙනු ලබයි. එසේම එමඟින් කියෙවන අභියෝගයේ ප්‍රමාණයද වඩාත් වැදගත්ය. යකුන් එළවීම පහසු නැත.

හූනියම්වලට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇතිබව අපි සියල්ලෝම දනිති. විශේෂයෙන් සාතන් පිදීම හෙවත් යකුන් පිදීම නමින් ප්‍රකට වූ මෙය සෑම ජන කොටසකම අංගයක් බවට පත් විය. අපට නිවැරදිව ග්‍රහණය කළ නොහැකි නොදන්නා දෙයක් තිබෙන තාක් දුරට ඊට අපගේ සිතුම් පැතුම් පවා පාලනය කිරීමට හැකියාව ඇතැයි විශ්වාස කිරීම සහ ඒ අනුව තම වත්පිළිවෙත් හැඩගසා ගැනීම, විශ්වාසය මූලික න්‍යාය කරගනිමින් තැනුණු බොහෝ ඇදහිලි වල පදනම වේ. මෙය කදිම වෙළඳ භාණ්ඩයක්ද වේ. බෞද්ධ ධර්මය ඉතා තර්කානුකූලව විස්තර කරනු ලැබුවේ සහ මෝහයෙන් මෙන්ම අවිද්‍යාවෙන් මුදාගැනීම සඳහා අවශ්‍ය ප්‍රඥාවට ඇති මාර්ගය කියාදෙනු ලැබුවේ එම පැළපදියම් වූ විෂට එරෙහිවය.

රාජපක්‍ෂ හූනියම් වලට කැමතිය. ඉන් ඔහු අසීමිත සතුටක් ලබන්නේය. පසුගිය වසර කිහිපය පුරාම, රටේ දේශපාලනය තීරණය කරණු ලැබුවේ රාජපක්‍ෂගේ හූනියම් වලින් යැයි ඔහුට ප්‍රභල විශ්වාසයක් තිබේ. රාජපක්ෂ ඊයේ දින නාම යෝජනා භාරදීමෙන් පසු වහාම තම යාග හෝම පැවැත්වීම සඳහා ඉන්දියාවට ගියේද මෙහි ඇති වැදගත්කම නිසාය. එහි ගොස් ඉටිවලින් හෝ මඩින් හංසයෙකු තනා, හංසයාට එරෙහිව යාග හෝම පවත්වන්නේ දැයි දන්නේ නැත. නමුත් මේ වන විට නිරුවතින් හෝ සිටිමින් තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කළ හැකි උපරිමය යකුන් ඉදිරියේදී කරනු ඇත. යකාගේ පදයට නටනු ඇත.

රටේ නායකයා එනම් මෙරට මිලියන 22 කට ආසන්න ජනතාවක් පාලනය කරනු ලබන ප්‍රධානියා හැසිරෙන්නේ මෙලෙසය. දෙවියන්ට වඩා වැඩි ඉඩක් යකුන්ට ලැබී ඇති, පිං වලට වඩා වැඩි ඉඩක් පව් වලට ලැබී ඇති මේ භූමියේ ඇති අවුල කුමක්ද? රටේ නායකයින් මේ ආකාරයෙන් නාඩගම් නටන්නේ කුමන හේතුවකට දැයි යන්න සිතීම පවා අප්‍රසන්නය. මෙවැනි මිත්‍යා-දුෂ්ඨිකයෙක් රටේ නායකයා යැයි වෙනත් අයෙකු ඉදිරියේ ප්‍රකාශකිරීමට හෝ හැකියාවක් මෙන්ම ශක්තියක් තිබේද?

රාජපක්‍ෂ තම යකුන් පිදීම සඳහා තම වැය මුදලෙන් විශාල ප්‍රමාණයක් වියදම් කරන්නේය. රාජපක්ෂ, වශී බෝල පමණක් නොව වශී තෙල් සේම වශී අසූචිත තම බලය රැක ගැනීම වෙනුවෙන් අනුභව කරන සැටියෙකි. එපමණකට ඔහුට බලය රැකගැනීම වැදගත්ය. මන්ද සැඟවීමට සහ තවදුරටත් ව්‍යාකූල කිරීමට ඇති දෑ බොහෝය.

මේ අනුව අප ඉදිරියේ ඇති, සමීකරණය ඉතා පැහැදිලිය. රාජපක්ෂ රටට හූනියම් කරන්නේය. රට ඉන් මිදීමටනම් රාජපක්‍ෂට හූනියම් කළ යුතුව ඇත්තේය. මෙහි එකම ගැලවුම් මාර්ගය වන්නේ එයයි. නමුත් රටට රාජපක්‍ෂමෙන් යකුන් සමඟ නැටීමට තබා සිතීමටවත් කාලයක් නැත. රටේ මිනිසුන්ට අවශ්‍ය වන්නේ යකුන් සමඟ නටන අයවලුන් නොව මිනිසුන් සමඟ වැඩ කිරීමට හැකි මිනිසුන්ගේ ගැටලු අවබෝධවන මනුෂ්‍යයින්ට රටේ අනාගතය භාරදීමය.

රටට සහ එරට ජනතාවට කළ හැකි රාජපක්ෂට එරෙහිව කළ හැකි හොඳම හූනියම වනාහී ඔහු නෙරපීම සඳහා තම මුලික අයිතිය ප්‍රයෝජනයට ගැනීමය. එසේම ඔහු පරාජය කළ පසු, ඔහු ආරකෂා කර ගනිමින් පසුගිය වසර කිහිපය පුරා සිදු වූ අක්‍රමිකතා සියල්ලම නිවැරදිව ලේඛනගත කිරීම සහ රාජපක්ෂලාගේ සැබෑ ඉතිහාසය ලිවීමය. එමඟින් රාජපක්ෂ තම “දේශප්‍රේමයට” මුවා වී කළ සියලුම නාඩගම් වල තරම රටට හෙළිදරව් වනු ඇත. එමඟින් රට මුහුණ දී ඇති සැබෑ ගැටලු හඳුනා ගත හැකිය. රට පත් වී ඇති අඳුරු අඝාදයෙන් මිදීමේ මාර්ගය ලියවී ඇත්තේ ඒ ඔස්සේය.

සතුරා පරාජය කිරීම සහ පරාජිත සතුරා නීතියට අනුකූලව රැක ගැනීම, දේශපාලනයේ සැබෑ විප්ලවයක මූලික අවශ්‍යතාවයක් බව සිහියේ තබා ගත යුතුව ඇත්තේය.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa