Image-Lakbima News Paper
Image-Lakbima News Paper

ඔහු ඔබ පුදන්නට ආවේය. මේ පළමුවර නොවේ. ඔහුගේ හද සසලවන සෑම අවස්ථාවකදීම ඔහු මෙහි එන්නේය. තමන් බේරා දෙන්න යැයි යදින්නේය. කුමන හෝ කරුමෙකට ඔහු මෙහි ආ ගිය විට තිබු බාධක දූලී වලට පත් වී පහව යන්නේලු. බලය රැක ගැනීම වෙනුවෙන් වූ ශක්තිය හීන වීම වෙනුවට එය වැඩි වන්නේලු. බෙලහීනකම වෙනුවට රතිය ආදේශ වන්නේලු.

ඔහු මෙහි යළි යළිත් ඒමට හේතුව අමුතුවෙන් විස්තර කළ නොහේ. ඔබ පිදීම සහ ඔහු රැකීම අතර ඇත්තේ කිට්ටු සම්බන්ධයක් බව ඔබ වහන්සේ ජීවමානව වැඩ සිටින්නේ යැයි කියන මෙම භූමිය පාලනය කරන අයවලුන් ඔහුට සැල කොට ඇත. ඔබ වහන්සේ එය හොඳ හැටි දන්නේය. ඔව්..ඔබ වහන්සේ එය හොඳ හැටි දන්නේය. එපමණක් නොව ඔබේ දෙපා මුලට පැමිණ මේ යදින්නේ ඔහු කළ පව් පිං වලට හරවා දෙන ලෙසය.

වෙම්කටේශ්වර වූ කලී ඔබ වහන්සේගේ එක්තරා අවතාරයක් බව මෙම භූමියේදී ඔබ පුදන්නන් විස්වාශ කරති. සංස්කෘත බසින් සැදී ඇති මෙම පදයෙහි අර්ථය වූ කලී පව් නසන දෙවියන් යන්නය. ඔබ පුදන්නට එන සියලුම අයගේ පව් නැසීම වූ කලී අදහාගත නොහැකි වික්‍රමයකි.

මේ බව දන්නේ නම් දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු පැවැත් වූ මැතිවරණය පැරදීමට පෙර, වින්සන් චර්චිල් මෙහි එන්නේය. එසේම ඉතාලියේ මුසොලිනී ඊට පෙර මෙහි එන්නේය. ඊටත් ප්‍රථම ඇඩොල්ෆ් හිට්ලර් ඔබ අභිමුවට පැමිණ ඔහුගේ පව් විනාශ කරගෙන ජර්මනියේ සදාකාලික නායකයා වන්නේය. එපමණක්ද? නැත. ඉන්දිනුසියාවේ සුහර්තෝ, පිලිපීනයේ මාකෝස්, උගන්ඩාවේ ඉඩි අමීන්, ඉරාකයේ සදාම් හුසේන්, ටියුනිෂීයාවේ බෙන් අලි, ලිබියාවේ ගඩාෆි ආදී තම බලය රැක ගැනීම වෙනුවෙන් ජනතාව තළා පෙලා දැමූ සියලුම අයවලුන් මෙහි විත් ඔවුහුගේ පව් සෝදා ගන්නේය. මෙම ලැයිස්තුව තවත් දීර්ඝ වේ. මේ බව දන්නේ නම්, මේ වන විට යුධ අපරාධකාරයෙකුව ලෙස පිළිගෙන යුරෝපයට ඇතුළුවීමට හෝ ඉඩ නොදෙන ඇමෙරිකානු ඉතිහාසයේ එක් අපකීර්තිමත් සහ දුර්ගන්ධ නායකයෙකු වන ජෝර්ජ් ඩබ්. බුෂ්ද මෙහි එන්නේය. තමන්ට නොහැකි තැන තමන්ගේ බිරිඳ සටනට දැමූ සිම්බාබ්වේ මුගාබේ මෙන්ම හදිසි මැතිවරණයට යෑමට බලාපොරොත්තුවන ඊශ්‍රායලයේ නෙතන්යාහුද ඔබ ගැන දන්නේ නම් මෙහි වහාම එනු ඇත.

නමුත් අවාසනාවට ඔවුන්ට ඔබ වහන්සේ දෙපතුලට ඒමට තරම් ඥානයක් ලබාදීමට ඔබ වහන්සේ කටයුතු කර නැති සේක. ඒ වෙනුවට, ඔබේ අසල්වැසි දූපතේ වෙසෙන ඔහුට ඔබ එම ඥානය ලබා දුන්නේ කෙසේද? කදිමය, මෙය නම් අශ්චර්යක් මැයි.

ඔබ පිදීමට එන අයගේ පව් විනාශ කිරීම ඔබට කළ නොහැකි යැයි විශ්වාස කළ නොහේ. මන්ද ඔබ අවතාර හතක් ඇති දෙවි කෙනෙකි. බොහොමයක් හින්දු බැතිමතුන්, ගෞතම බුදුන් වහන්සේද ඔබේ අවතාරයක් ලෙස විස්තර කරනු දැකීමෙන් තත්වය වඩාත් බරපතළ බව අවබෝධ කරගැනීම අපහසු නොවේ.

කළ යුතු වුවද, තිරුමාල ස්තාල පුරාණයේ ඔබ ගැන සඳහන් වන පුරාවෘත්තය විස්තර කිරීමට කාලයක් නැත. එය ඔබ පිදීමට එන බොහෝ අය දනිති. මෙහිදී වැදගත් වන්නේ ඔබ පිදීමට වරින් වර පැමිණෙන මෙම පව්කාරයා ගැන කතා කිරීමය. ඔහු ගැන ලිවීමට, ඉතුරු වී ඇති අවකාශය හෝ ප්‍රයෝජනයට ගනිමින් සටහන් කිරීමය. එය මිලියන 22කට ආසන්නව දිවයිනේ වෙසෙන අහිංසක ජනතාව සහ ඔවුන්ගේ ආත්ම වෙනුවෙන් වටින්නේය. ඔවුහු සියල්ලම පිං කිරීමට කැමතිය. එසේම, මේ ලෝකේ සතුටින් ජීවත් වීමට කැමතිය. අනෙකාගෙන් අතවරයට ලක් නොවීමට කමැතිය. නිදහස, නිදහස ලෙස භුක්ති විඳීමට කැමතිය.

නමුත් මේ කිසිවකට, ඔබ පිදීමට පව් පුරවාගෙන එන මෙම පව්කාරයා අනෙකාට ඉඩ තබා නැත. ඔබ ඔහුගේ පව් විනාශ කොට ශුද්ධ චරිතයක් කරන වාරයක් පාසා ඔහුට අනෙකාව තළා පෙලා දැමීම සඳහා ඇති ඉඩ තවත් පුළුල් කෙරේ. පසුගිය වසර කිහිපය මුළුල්ලේම සිදු වූයේ මෙයයි.

ඔබ පිදීමට එන මොහුගේ හැසිරීම කදිමය. ඔබ පිදීමට ඒමට පෙර සහ පසු පෙරළා සිය රට දී ඔහු බොරු කියන්නේය. බොරු කරන්නේය. ඒ සඳහා සංස්කෘතියෙන් උරුම වූ පුරුද්දක් මොහුට කදිමට පිහිටා තිබේ. ඊටම ගැලපෙන සම්ප්‍රදායික ඇඳුමක් ඔහුට තිබේ. අනෙකාගේ මතය මෙන්ම මූලික අයිතිය කොල්ල කෑම සඳහා කළ හැකි උපරිම කෛරාටකම් කිරීමට හෙතම එම කෞශල්‍ය භාවිතයෙන් සමත්ය.

මේ අතර ඔබ වහන්සේ යදින ජනතාවෝ බොහෝ වෙති. යුක්තිය වෙනුවට අයුක්තියට ගරුත්වයක් දක්වන ලංකාවේ කොන්දක් නැති, පව්කාරයාගේ අතකොළුවක් බවට පත් වී ඇති, යුක්ති ධර්මය පසිඳලන ක්‍රියාවලීය හමුවේ, විපතට පත් වූවන්ට සහන වෙනුවට ඔවුන්ගේ ඔළුගෙඩි වලට මුට්ටිය දැමූ අයට එරෙහිව, ජනතාවෝ ඔබ යදිති. ඔවුහුට අත මිට නැති නිසා මෙන්ම රටට ලැබෙන ණය මුදල් ලැජ්ජා නැතිව කොල්ල කෑමට තරම් අප්‍රසන්න ගතියක් නොමැති නිසා ඔබගේ අවතාර වැඳීමට ඔබ දෙපතුලට ඒමට ඔවුන්ට නොහැකිය. නමුත් ඔවුහු සෑම මොහොතකම සුසුම් හෙළති. වැටී ඇති අඝාදයෙන් ගොඩ ඒමට ඇති මාර්ගය ගැන කල්පනා කරති.

ඔබ පමණක් නොව තිරුමලේ වැඩසිටින ඔබේ අවතාරයද, ඔහු ඉතිහාසය පුරාම කළ කී දෑ දනිති. වරක් තම මැතිවරණය දිනාගැනීමට ඔහු, අහිංසක මිනිසුන් මරා දැමූ බව ඔබවහන්සේ දනිති.

ඔබ ළඟට විත් තෙවැනි වරත් අපේ මාතෘ භූමිය අනුභව කරන්න ඉඩ දෙන්න යැයි යදින පුද්ගලයා වරක් සුනාමියෙන් කෑවේය. තව වරක් යුද්ධයෙන් කෑවේය. ඉන් පසු සාමයෙන් කෑවේය. ඒ බව ඔබ වහන්සේ හොඳින් දනිති.

කෑමට කෙළවරක් නැති, අනෙකාව ඇපයට තබාගෙන සිදුකරන දේශපාලනය දැක දැකත්; එම පව් කන්දරාවට සමාව දීම හෝ එම පව් කන්දරාව විනාශ කොට ඔහු සුදෙනෙකු කිරීමට ඔබ වහන්සේ පෙනී සිටීම විශ්වාස කළ නොහැකි කාරණයක් පමණක් නොව ඛේදවාචකයකි. මිලියන විසිදෙකකට ආසන්න ජනතාව තළා පෙලා දැමීමට එක් අයෙකුගේ පව් විනාශ කොට ඔහුගේ ආශාව වෙනුවෙන් කැපවීම සම්බන්ධයෙන් ඇත්තේ ගැටලුකාරී තත්වයකි. දෙවියන් හැසිරිය යුත්තේ එසේද? දෙවියන් හැසිරුණේ එලෙසද? මිලියන ගණනක් වූ දෙවිවරුන් ගැන කුතුහලයක් ඇතිවන්නේ මෙහිදීය.

පසුගිය කාලය පුරාම විවිධකාරයෙන් ඔහු තම වත්කම් තරකරගත් බවත් ඔහුගේ ඥාතීන්ට නොසිතූ ආකාරයෙන් තර කර ගැනීමට පූර්ණ නිදහසක් දුන් බවත්, ඔබ දන්නා බව නොරහසකි. ඔහු, ඔබ වෙනුවෙන් වියදම් කරන සෑම ශතයකම ඇත්තේ රටේ සම්පත් අවභාවිතයයි.

ඔහු ගැන යමක් අසා ඇත. ඒ ඔහු අනෙකාට අල්ලස් දීමට මෙන්ම අනෙකා වශී කර ගැනීමට රුචි බවය. විෂ්ණු දෙවියනි; ඔබ ඔහුගේ ඇමට හසු වූයේද? ඔබ ඔහුගේ වශී බෝලය ගිල්ලේද ? නො එසේනම් ඔහු ඔබට අල්ලස් දුන්නේද? ඔහුට එයත් කළ නොහැකි දෙයක් නොවේ. මෙවැනි දෑ වලින් කියන්නේ, දෙවියන්ට තමන්ගේ හෘදයසාක්ෂියට එරෙහිව තීරණ ගැනීමට හැකි බවද?

එය එසේ නොවන බව පෙන්වීමට ඔබ වහන්සේට කදිම අවස්ථාවක් ලැබී ඇති සැටියෙකි.

විෂ්ණු දෙවියනි; ඔබෙන් තෙවැනි වරත් බලය ඉල්ලීමට පැමිණියේ ඒ පව්කාරයාමය.

nilantha-profileනිලන්ත ඉලංගමුව | Nilanth Ilangamuwa