Image Credit: sankagvidanagama

ආරක්ෂක අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ධූරය හොබවන ගෝඨාබය රාජපක්ෂ පැය දෙකකට ආසන්න කාලයක් පුරා එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින් තම වත්මන් දේශපාලන අවබෝධය විස්තර කරනු ලැබුවේය. ඒ පසුගිය සඳුදාය ( දෙසැම්බර් 15). ඔහු මහත් වෙහෙස මහන්සිය දරා තම සහෝදරයා සිදුකරමින් තිබෙන පරිපාලනය අතිශය සාර්ථක එකක් බව ඒත්තු ගැන්වීමට උත්සහ කරනු ලැබීය.

ඔහුට දේශපාලන ඥානයක් නැත. නමුත් ඔහුට ආරක්ෂක කටයුතු ගැන යම් අවබෝධයක් තිබූ බව සැබෑය. ඉන් සේවයක් කළබවද සැබෑය. නමුත් ඔහු එම කළ යහපත් දෙයද, ඔහු විසින්ම අප්‍රසන්න ලෙස අපවිත්‍ර කොට ඇත.

තම මූලික අදහස, නැති කොටියෙක් මවා පෑම සහ තමන් විසින් හුරතල් කරනු ලබන සැබෑ කොටින් ගැන තමන්ගේ මටසිලිටු බව පෙන්වීම අදාළ කතාබහ පුරාම දැක ගත හැකි වූ කණගාටුදායක කාරණයක් විය. මේ වන විට දැකගත හැකි වඩාත් වැදගත්ම කාරණය වූ කලී කුමන හෝ රාජපක්ෂ කෙනෙකු කතා කිරීම ඇරඹීම වූ කලී, මෙහේන්ද්‍ර රාජපක්ෂට ලැබීමට නියමිත ඡන්ද ප්‍රමාණය තවත් කිහිපයකින් අඩුවීමය.

ගෝඨාබය විඩාවට පත්වී සිටින සැටියකි. පෙරදාට වඩා ඔහුගේ හඬ දුර්වල වී ඇත. ඔහුගේ තර්ක බොහෝමයකම ගැබ් වී ඇත්තේ ඔහුගේ නොදැනුවත්කමට වඩා ඔහු මුහුණ දී සිටින ව්‍යාකූල භාවයයි. නිවැරදිව කිවහොත් ඔහු තුෂ්නීම්භූත වී සිටින සැටියෙකි.

හැරයාමට සැරසෙන පුද්ගලයෙකු තම අවසන් භූමිකාව රඟපෑමට වෙරදරණ ස්වභාවය එහිදී දැක ගත හැකිවිය. පැරණි සින්දුව යළි යළිත් ඔහු ගයන්නේය. සැබවින්ම එකම දේ යළි යළිත් කීමෙන් ඔහුගේ මුඛය වේදනාවෙන් පිරී ඇති සැටියෙකි.

ඔහු මූලික වශයෙන් කතා කරනු ලැබුවේ වසර පහකට පෙර සිදු වූ අනුන්ගේ මහන්සියෙන් තමන්ට ඉල්ලමක් පෑදුණු ගෝඨාගේ යුද්ධය ගැනය. කුහක වියයුතු නැත. ඒ සඳහා ඔහුගේ යම්කිසි “අවංක” කැපකිරීමක් තිබුණු බවද අමතක කළ යුතු නොවේ. නමුත් ඒ සියල්ල සිදුකරනු ලැබුවේ සාමුහික වගකීමක ප්‍රතිඵලයක් ලෙසය. ඒ සඳහා සිංහල පමණක් නොව දෙමළ මෙන්ම මුස්ලිම් ජනතාව විශාල දායකත්වයක් ලබා දුන්හ. දිවි පිදූහ. එසේම ඊට විදෙස් ඔත්තු සේවාවලද විශාල දායකත්වයක් හිමි වූහ.

රාජපක්ෂලා 2009 මැයි මාසයෙන් පසු කරනු ලැබුවේ එය තමන්ගේ පෞද්ගලික ජයග්‍රහණයක් බව පෙන්වා තම අරමුණු ඉටු කර ගැනීම සහ තම පෞද්ගලික තණ්හාව යුධ ජයග්‍රහණයෙන් වසා ගැනීමට උත්සහ කිරීමය. චමිපික රණවක තම අත්දැකීම් කියමින්, කොටි සංවිධානය මෙරට ආර්ථිකයට කළ හානියටත් වඩා වැඩි හානියක් රාජපක්ෂ පවුල විසින් සිදු කොට ඇති බව සඳහන් කොට ඇත. ගෝඨාබය වැසීමට දරණ නමුත් කළ නොහැකි සත්‍ය එයයි.

ඔහුට අනුව, මෙරටින් පිටවන විට හමුදාවේ සේවය කරමින් ඔහු මහත් වීරියෙන් තනාගත් නිවසද වික්කේය. එසේම වසර 10කට ආසන්න කාලයක් ඇමෙරිකාවේ වැදගත් රැකියාවක නිරත වෙමින් ඉපයූ මුදලින් තනාගත් නිවසද, මෙරටට පැමිණීමට පෙර වික්කේය. මේ ඔහු ප්‍රථමවරට තමන් ගැන ඉදිරිපත් කරණ කාරණයකි.

ඉන් නොනැවතුණු ලේකම්වරයා තමන්ගේ වත්කම් තම වෙබ් අඩවියේ දැමීමට තීරණය කළද ලැබුණු උපදෙස්මත ඉන් වැළකී සිටි බව අවධාරණය කළේය. කෙසේ වෙතත් මීට දින කිහිපයකට ප්‍රථම ඔහුගේ බිරිඳට අයත් ඇමෙරිකානු දේපළ පිළිබඳව මාධ්‍ය මඟින් හෙළිදරව් කරනු ලැබීය. ඔහුට ඒ සඳහා, තමන් කේ. පී. නලවන්නේ මන්ද යන්න ඇසූ විට දුන් පිළිතුර හා සමාන ප්‍රතිචාරයක් තිබේද, යන්න දන්නේ ඔහු පමණි. නමුත් මේ සියල්ලම ඛේදවාචකය තුළ හමුවන හාස්‍යජනක තර්කය.

කදිමය; ඔහුට අනුව, කේ. පී. මෙන්ම කරුණා පමණක් නොව පිල්ලයාන් පවා මෙලෙස නිදහසේ සිටින්නේ ඔවුන්ගේ මානසිකත්වය සුවපත් කිරීම සඳහාය. ඔහුට අනුව මොවුන් කොටු කිරීමෙන් යළිත් ඊළාම් සංකල්පය ඔවුන්ගේ සිත් තුළ මතුවිය හැකිය. ඒ නිසා ඔහු, මොවුන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබා දී ඇත.

නමුත් තවමත් බූස්සේ සිටින අයවලුන් ගැන තබා මෑතකදී අත්අඩංගුවට ගනු ලැබූ ජයකුමාරී ගැන හෝ කතා කිරීමෙන් වැලකී සිටියේය. මන්ද ඔවුහු ගැන කතා කිරීමට ඔහුට නොහැකිය. කොටි සංවිධානය සම්බන්ධයෙන් අමූලික බොරු කීම ආරක්ෂක ලේකම් වරයා ලෙස තමන් වෙනුවෙන් පොත් පවා ලියා ගත් හෙතම පත් වී ඇති සැබෑ කණගාටුදායක තත්වය තේරුම් ගැනීම පහසුය.

ඔහුට අනුව කේ. පී. ට මුදල් නැත. එසේම කොටි සංවිධානයෙන් ලබා ගත් රත්තරන් එම ප්‍රදේශවල සිටි ජනතාවට බෙදා දී තිබේ. ඇතැම් ඒවා මෙරට මහා බැංකුවට ලබා දී ඇත.

මෛත්‍රීපාල සම්බන්ධයෙන් තම සහෝදරයා හා සාමනව තරහකින් මෙන්ම ඊරිෂියාවකින් පෙළෙන බව හෙතම තමන්ගේ පිළිතුරු මඟින් ඔප්පු කරනු ලැබීය. තමන්ගේ පවුල ගැන සොයන අයට මෛත්‍රී ගැන සෙවීමට නොහැක්කේ මන්ද යන්න හෙතමගේ අලුත්ම ගැටලුව වේ.

එසේම ඔහුට අනුව රටේ නීතිය සුරක්ෂිත කොට ඇත. වරදකරුන්ට නිසි දඬුවම් ලබා දී ඇත. එසේම විධායක ජනාධිපති ධූරය මෙරට පැවැත්මට අතිශය තීරණාත්මකය. බැලු බැල්මට ඔහු මෙම කාරනා සම්බන්ධයෙන් දරණ අදහස් ගැන විමසීම පවා වැදගත් නොවේ. මන්ද ඔහු මේ හා සම්බන්ධයෙන් දරණ අදහස් වලින් පෙනී යන්නේ හෙතමට මේ සම්බන්ධයෙන් ගැඹුරු අවබෝධයක් නැති බවය. ඔහුට මේ සියල්ල සාදාරනිකරණය කරනු හැර වෙනත් මඟක් ගත නොහැකිය.

කෙනෙකු මවාගෙන සිටින මහා පරිමාණ ප්‍රතිරූපය තමන්ගේ බලය සේදී යන බව අවබෝධවන විට දීරපත් වන්නේය. එවිට තමන්ගේ සැබෑ හැකියාවන් මෙන්ම අවබෝධයේ දිග පළල ඉදිරියට පැමිණෙන්නේය. ජනතාවට එමඟින් ලැබෙන පණිවිඩය වඩාත් වැදගත් සහා තීරණාත්මක එකක් වේ.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මෙවරද වෙනදා මෙන් තමන් දරණ තනතුරෙහි නීතී රීති උල්ලංඝනය කරමින් දේශපාලනයේ යෙදී සිටින්නේය. අමාත්‍යංශ ලේකම්වරයෙකු මේ ආකාරයෙන් හැසිරීම මඟින් පෙන්වන එකම කරණය වූ කලී, රටේ රාජ්‍ය ආයතන වල සිදු වී ඇති බරපතළ පිරිහීම සහ කඩා වැටීමය. මෙය වෙනත් රටක සිදු නොවන අමුතුම ආකාරයේ සෙල්ලමකි.

ඔහුගේ දේශපාලන ලොලිපොප් අනුභව කොට ඉන් වශී වී ඔහුගේ පවුල මෙරට එකම ගැලවුම්කාරයා කරගැනීමට තරම් මෙරට ජනතාව තවදුරටත් අන්ද වේ යැයි විශ්වාස කළ නොහැකිය. මන්ද රාජපක්‍ෂලා මෙරටට කළ යහපතට වඩා කිහිප ගුණාකාරයක හානියක් සිදු කොට ඇති හෙයිනි. එය සාමාන්‍ය ජනතාවට අවබෝධ වී ඇති හෙයිනි.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa