[වික්ටර් යානුකොවිච්(යානු,යුක්රේන්). මහිින්ද රාජපක්ෂ (ශ‍්‍රී ලංකා)]

[Part 01]

අද ලෝකය තුළ ප‍්‍රපංචයන් දෙකක් කැපී පෙනේ. 1. සිවිල් හෝ හමුදා ඒකාධිපති පාලනයන්ට ඓරෙහි දේශපාලන පිබිදීම් 2. ගෝලීය ආර්ථික අර්බුදයන්. ආර්ථික අර්බුදය මොහොතකට පසෙකලා දේශපාලන අර්බුදය දෙස බැලූවොත් කැපී පෙනෙන කරුණ වනුයේ සිවිල් නායකයින් මෙන්ම හමුදාපතිවරුන් ද මහජන ඡන්දය නැමැති කැරට් අලය පෙරටුකොටගෙන මැතිවරණ පවත්වා, වංචාවෙන් ජයගෙන, ජනතාව මුළාකොට වසර කිහිපයකින් ප‍්‍රජාතන්ත-වෙස්මුහුණු ‍සහ සලූපිළි ගළවා ඒකාධිපති නිළ ඇදුමට වැද ඉදිරි කාලයම ඡන්දය දුන් ජනතාව මානසිකව සහ ශාරීරිකව පෙළෙමින් හිතුවක්කාර ලෙස තම ඒකාධිපති අභිමතාර්ථයන් සපුරා ගැනීමට කටයුතු කිරීමයි. 18 සහ 19 සියවස්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ඒකාධිපතිවාදය බොහෝවිට නිර්වචනය වුයේ ඓකිනෙකට පරස්පර පාලනතන්ත‍්‍ර දෙකක් ලෙසය. අද වුවද පොතේ නිර්වචනයන් දිවෙනුයේ මෙසේමය. ඓහෙත් භාවිතයෙන් දක්නට ලැබෙන්නේ දෙකෙහි ඥාතිත්වය, අනොන්‍ය සහ-සම්බන්ධය සහ සහ-ජීවනයයි.

ඒකාධිපතියෙකු වීමේ ඒකායන මාර්ගය මහජන ඡන්දය බව කපටි පාලකයෝ දනිති. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආභරණයෙන් සැරසී අප ඉදිරියට සිනාසෙමින් එන මොවුන් ඒකාධිපතීත්වයට නැගිය හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැමැති ඉණිමගට අහිංසක ලෙස ගොඩවෙති. සටකපට සහ මෘග පීළිවෙත් හරහා දිනති. සාමය අවශ්‍යතැනේදී සාමයෙන් ද ප‍්‍රචණ්ඩත්වය අවශ්‍යතැනේදී ප‍්‍රචණ්ඩත්වයෙන් ද, කෙටියෙන් කිවහොත්, කෙක්කෙන් හෝ කොක්කෙන් ‘ගෙඩිය’ කඩාගනිති. තම අභිලාෂය ඉටු කරගනිති.

අද ලෝකය පුරා ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නොව ”ප‍්‍රජාතන්ත‍්‍රවාදී-ඒකාධිපතිවාදයකි”.(democratic-dictatorship) මෙම යෙදුම පරස්පරයක් (contradiction) හෝ විරෝධෝක්තියක්(oxymoron) ලෙස පෙනිය හැකිය. ඉතිහාසය තුළ ඓසේ වූමුත් අද එය ඓසේ නොවේ. භාවිතය පරස්පරය දියකර ඇත. මුසෝලීනි, හිට්ලර්, කවුන්ඩා, ගූමා, කිම් ඉල් සුං, මුගාබේ, ඉඩි අමින්, මෙන්ජෙස්ටු සහ පොල්පොට් ආදී නායකයින් බෙහොමයක්ම එක්කෝ කුමන්ත‍්‍රණ හරහා නැතිනම් මහජන ඡන්දයෙන් පත්ව පසුව ඒකාධීපතීන් වූවන්ය. එකම වසරේ (2010) බලයට පත්වූ යුුක්රේනයේ වික්ටර් යානුුකොවිච් (යානු) සහ ශ‍්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ (දෙවෙනි පදවිප‍්‍රාප්තිය) මින් වෙනස්වු සුවිශේෂයන් නොවේ. පළමුව යානු දෙවනුව මහින්ද.

යානුගේ යුක්රේනය 2010-2014

ආර්ථික උද්දමනය, විරැකියාව, ඌන සංවර්ධනය, සෞඛ්‍ය සහ අධ්‍යාපන සහන කප්පාදු සහ නිදහස වළලා දැමීම ආදියට යුක්රේනය ද නොඅඩුව මුහුණ දුන් සෙලේ්වික් රාජ්‍යයකි. යුක්රේනයෙහි 04 වැනි ජනාධිපති ධූරයට 2010 වසරේදී මහජන ඡන්දයෙන් පත්වනුයේ සොරකමකට සහ පුද්ගල පහරදීම් කිහිපයක් නිසා දඩුවම් විද පසුව දේශපාලනයට පිවිස ඉන් ඉහළට පැමිණි යානු ය. බලයට පැමිණ වසරක් ඇතුළත යානු ඒකාධිපති භූමිකාවට ඇතුල්වූනි. යානු ට ඓරහිව සමාජ බලවේගයන් දියත්වීම නිසා වසර හතරක් ඇවෑමෙන් බලයෙන් ඉවත් කෙරිණ. ඔහුගේ යුක්රේන් පාලන සමය අත්තනෝමතික සහ ඒකාධිපති වීම මෙයට හේතුව විය. යානුගේ ඒකාධිපති වියරුව නැවතුනේ රුසියාවේ සරණාගතයෙකු වීමෙනි.

යානුගේ පක්‍ෂය වූයේ The Party of Regions ය. පක්‍ෂයේ බලය ”තුක්සාස්” වලින් රදවා ගෙන තිබිණ. ”තුක්සාස්”යන වචනය රුසියානු වුවද රුසියාව තුළ එය භාවිත නොවේ. එය ක‍්‍රියාත්මක වනුයේ යුක්රේනීය දේශපාලනය තුළ පමණි. ”තුක්සාස් ”යනු Carcass යන ඉංග‍්‍රීසි වචනයට සමාන වචනයකි. සිංහල තේරුම ”සත්ව මළකුණු”(the dead animals) යන්නය. එවිට ‘තුක්සාස්’ යනු වෙනත් පක්‍ෂ වලින් පැන ආ හෝ තම බලය තහවුරු කරගැනීම පිණිස යානු විසින් විවිධ වරදාන ප‍්‍රදානයෙන් උපක‍්‍රමශීලීව ඩැහැගත් මන්ත‍්‍රීවරුන් හැදින්වූ පදයකි. යානුගේ පක්‍ෂය මේ අනුව බලවත්වූයේ වෙනත් පක්‍ෂයන්හි ”සත්ව මළකුණු වලිනි.”(ජනාධිපති මහින්ද 2/3 ක බලයක් ඒකරාශි කරගත්තේද ‘තුක්සාස්‘ වලිනි. එහෙත් යානු ට පෙරය. එ.ජා.ප මහලේකම් තිස්ස අත්තනායක මහින්දගේ රජයේ නූතනම ‘තුක්සාස්ය’, එනම් නූතනම මළකුණය. අද ශ‍්‍රී ලාංකික දේශපාලනය ‘තුක්සාස්z එනම් ‘මළකුණු දේශපාලනයකට’ වැටීම මොනතරම් ඛේදවාචකයක්ද?. කෙසේවුවද දෙදෙනාගේ විධික‍්‍රමය සමානය. දෙදෙනා උපායශීලී දෙබෑයෝ වනුයේ මෙහෙයිනි.)

රැස්කරගත් මේ සියළු බලයක්ම යානු භාවිත කළේ දූෂණය පෝෂණයට, ඒකාධිපතිවාදයට පාර කපා ගැනීමට සහ මහජන බදු මුදල් වලින් අති සුපිරි ජීවිතයක් භුක්ති විදීමටය.

සුපිරි පහසුකම් සහිත ඔහුගේ පෞද්ගලික නිවාසය නඩත්තුවූයේ මිලියන ගණන් මහජන මුදලිනි. තමන්ගේ සුඛවිහරණයට (ආහාරපාන, ඉදුම් හිටුම්, නිවාඩු නිකේතන සංචාර, අනවශ්‍ය සංග‍්‍රහ ආදී) යුක්රේන මහජන මුදල් යානු විසින් අනුකම්පා විරහිතව අතදිග හැර වියදම් කරනුයේ යුුුක්රේන ජනතාවින් සෑහෙන ප‍්‍රමාණයක් සතර අපා දුක් විදිද්දී සහ යුක්රේනියානුවන් පරම්පරා ගණනාවක් විදේශීය ණය බැදුම්කරවල හිරකර තබමින් සහ ඒවාට උකස්කරමිනි. (මහින්ද තම දන්සැල් ව්‍යාපෘතියෙන් කරනුයේ තම පුද්ගලික දේශපාලන අරමුණ ඉටු කරගැනීමට මහජන බදු මුදල් යානු මෙන් සිතුසේ ආයෝජනය කිරීමකි. මොහු රටේ භාරකාරයා ද, රට අරක්ෂාකිරීමට කැපවූ පළමු පුරවැසියා ද නැතිනම් රට විනාශකරන බහිරවයා ද යන්න ජනතාව ප‍්‍රශ්න කරනුයේ මෙහෙයිනි).

යානුට එරෙහිව ‘යුක්රේන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධානයෙන්’යූලියා ටයිමෙසෙන්කෝවා තරග වැදිණි. යානු සමග තරග වැදීමේ ‘පාපයට’ බොරු චෝදනා රැසකට වැරදිකාරිය කර යානු විසින් යූලියාව වසර හතකට හිරේ දමයි. (මහින්දට ඓරෙහිව තරග කිරීමේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී-වරදට’ සරත් ෆොන්සේකාට ද යූලියාට අත්වූ ඉරණම අත්වූ බව අප දනිමු. ලෝකයේ කොහේ වුව ද ඒකාධිපතිවාදීන්ගේ දේශපාලන ජීව විද්‍යාව සජාතීයය යන්න මෙහි ගම්‍යයයි.) යූුලියා වැරැද්දක් කර නොතිබූ නිසා වසර දෙක හමාරකට පසු ඇයව නිදහස් කිරීමට යානුට සිදුවිය. (සතර දිග්භාගයෙන් තෙරපුමක් මහින්දට ඒම නිසා සරත් ෆොන්සේකාව නිදහස් කිරීමට මහින්දටද සිදුවිය.)

ඒකාධිපතීන්ට පොදු ලක්ෂණයක් යානු විසින් පෙන්වාදෙනු ලැබීය. එනම් පළිගැනීමය.(මහින්දගේ පලිගැනීමේ මනෝභාවය සමස්ථ ලංකාවම දනිති).

යුූලියාගෙන් පලිගැනීමට යානු පෙළඹීම ඔහුට එරෙහි උද්ඝෝෂණවල ආරම්භය විය. උද්ඝෝෂකයින් 82 ක් දින 4ක් තුළ ඝාතනය කිරීමට අණ දීම සහ මුල්වීම සහ ඒවා ඝාතන බව දැන සිටිය ද ඒ පිළිබදව කිසිවක් නොකිරීම සහ රටේ ජනාධිපති හැටියට එම මරණ පිළිබදව ජනතාවට පිළිගතහැකි වාර්ථාවක් නොදීම ඔහුට එරෙහිව රැල්ලක් මතු වීමට හේතුවුහ. (ශ‍්‍රී ලංකාවේ ද තත්වය මෙසේම නොවූයේද? වැළිකඩ රැදවියන් 40ක් පමණ එක රාත‍්‍රියකදී අමානුෂික ලෙස ඝාතනය වුවද එදා සිට අද වන තෙක් එය එසේ සිදුවූයේ ඇයිද යන්න අප නොදනි. මරණයට පත්වූවන්ගේ ඥාතීන්ද නොදනී. මෙයද ඒකාධිපති රාජ්‍යයක ලක්ෂණයකි. යානු වැළිකඩ ඝාතන ගැන නොදනී. මහින්ද යුක්රේන්වල ඝාතන ගැන නොදනී. එහෙත් දෙදෙනාම මිනිස් ඝාතන සිදුවූූ බව දනිති. දෙදෙනාම මුනිවත රැකි බවද අප දනිමු.(ප‍්‍ර‍්‍රජාතන්ත‍්‍ර පාලනයක මේවා කෙසේ නම් සිදුවිය හැකිද?).

යානුගේ ඒකාධිපති චර්යාව හේතුවෙන් ඔහුට තම ඒකාධිපති පාලනය ගෙනයෑමට නොහැකි තත්වයක් උදාවිය. මේ නිසා ඔහුගේම පාර්ලිමේන්තුව කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය සහිතව 2012 වසරේදී ඔහුට එරෙහිව ගොස් ඔහුව බලයෙන් පහකරන ලදි. (යුක්රේනියානු පාර්ලිමේන්තුවට මල්මිටක්). යානු ඉවත් කිරීමෙන් මාස 6කට පමණ පසු යානු සහ ඔහුගේ පාලන සමය පිළිබදවත් යුක්රේන්හි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධානයේ ජාත්‍යන්තර ලේකම්වරියවූ ඇලීසා රූබන් 2012 වසරේදී වාර්තාවක් ඉදිරිපත් කළාය. ඇය ඉන් පෙන්වා දෙනුයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් බලයට පත්වන්නන් ව්‍යවස්ථා විරෝධීව ක‍්‍රියාකරමින් වියරු ඒකාධිපතීත්වයක් කරායන බවත් මෙවන් ඒකාධිපතීන් මහජන බලය ඉදිරියේ බලයෙන් පහව විනාශවී යන බවත්ය. ඇගේ නිගමනය යුක්රේන් ගැන වුවද බොහෝ රටවල ඒකාධිපතීන්ගේ ඉරණම මෙය වූ බව අප දනිමු. මහින්ද ද වසර හතරකට පසු අද වැටී ඇත්තේ එම ඉරණම අත්දැකීමටය.

යානුගේ සිව්වසරක පාලන සමයේ යුක්රේනයේ තත්ත්වය සහ ඔහුගේ දේශපාලන හැසිරීම පිළිබදව ඇලීසා රූබන්ගේ වාර්තාවින් අවධාරණයවූ අදහස් පොදුවේ ඒකාධිපතීත්වයේ රූපයත් විශේෂයෙන් මහින්දගේ ඒකාධිපති භූමිකාවත් මොනවට කියාපාන්නේද? මෙය ”එකම වර්ගයේ කුරුල්ලන් එක අත්තේ ලගිති” යන්නෙහි හොදම දේශපාලන ශාක්ෂියයි. අප රූබන්ගේ වාර්තාවේ සාරාංශයට හැරෙමු. මෙය ශ‍්‍රී ලංකාව ගැන නොවුනද ඔබ මේ කියවනුයේ ශ‍්‍රී ලංකාව පිළිබදවය.

තත්වය ඉතා කණගාටුදායකය: දූෂණය ඉහවහා ගොස්ය: යුක්රේන්වල ජනතාවගේ එකම ප‍්‍රශ්නය අන්කවරෙකුවත් නොව ඒකාධිපති යානු සහ ඔහුගේ දූෂිත ඇමති මණ්ඩලය සහ නිලධාරී සගයන්ය: පාරදෘශ්‍යභාවය පිළිබද ජාත්‍යන්තර සුචියට අනුව ගෝලීය දූෂණ ලැයිස්තුවේ යුක්රේනය සිිටිනුයේ 144 ස්ථානයේය:(මහින්දගේ ශ‍්‍රී ලංකාව දූෂණ සූචියේ 85 ය. මෙයිනුත් හරි අඩක් මැති ඇමතිවරු සහ රජයේ ඉහළ නිලධාරීන් විය යුතුය.) මානව නිදහස ඉතා සීඝ‍්‍රයෙන් උල්ලංඝනය වෙමින් යයි: ස්වාධීන අධිකරණයක් නොමැත: රටේ විනිශ්චයකාරවරුන් ඇතුථ සියළු වැදගත් තනතුරු වලට නිළධාරීන් පත්කරනුයේ ඔහු විසිනි: රාජ්‍ය පාලනය යානුකොවිච්, පුතුන් දෙදෙනා සහ ඔහුගේ සහෝදරයින් සහ සමීපතම පවුල මත පමණක් රදවා ගෙන ඇත: සුදුසුකම් රහිතවු සහ අවමවූ ඔහුගේ හිතවතුන් රජයේ ඉහල තනතුරු වලට පත්කර ඇත: රට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හැරෙන ප‍්‍රවණතාවය සැබෑවට අඩපණ කිරීමට කටයුතු කරනාතුර ප්‍රෝඩාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මැතිරීම සහ රගපෑම: රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැගෙන ඒමට සහ රට දූෂණයෙන් සහ ඒකාධිපති උවදුරින් මුදවාගැනීමට පෙළ ගැසුනු ”යුක්රේන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධානය” නැමැති පක්‍ෂයට මැතිවරණයට ඉදිරිපත්වීම වලකාලීම: ව්‍යවස්ථාව වෙනස් කිරීම සදහා නීතිමය ප‍්‍රතිපාදන සකස් කිරීම සහ ව්‍යවස්ථාව රිසිසේ විවරණය කිරීම: ඒ සදහා තමා පත්කරන ලද අධිකරණයෙන්ම නීති ආවරණය ලබාගැනීම: රාජ්‍ය බලය අධම සහ අයුතු ලෙස අවභාවිත කිරීම: යානු සහ පාර්ලිමේන්තුව අතර සම්බන්ධයක් නොපැවැත්වීම: යානු විසින් මහජන බදු මුදල් ඉවක්බවක් නොමැතිව තම ඡන්ද ව්‍යාපාරයට භාවිත කිරීම: විරුද්ධ පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට ජීවිත තර්ජන සහ හිරිහැර කිරීමට කණ්ඩායම් යෙදවීම: මැතිවරණ නීති-රීති තුට්ටුවකට මායි්ම් නොකරමින් අල්ලස්, පගා සහ තෑගි භෝග කෑම බීම මැතිවරණයට පෙරත් මැතිවරණ දිනයේත් රිසිසේ බෙදාහැරීම: තම ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට රටේ සම්පත් කිසිම හිරිකිතයකින් තොරව ගසා කෑමට ඉඩහැර මුනිවත රැකීම: ඡන්ද කොට්ඨාශවල ප‍්‍රතිපල ඉහළ අධිකාරීන්ට රපෝර්තු කරන අවස්ථාවේ බොහෝවිට සත්‍ය ප‍්‍රතීඵලය නොව විකෘති ප‍්‍රතිපලයක් දීමට අවශ්‍ය තාක්ෂණික යාන්ත‍්‍රණයක් සකස්කර ක‍්‍රියාවේ යෙදවීම:(ශ‍්‍රී ලංකාවේ මහින්ද රෙජිමය තුළ මෙයම සිදුවූ බවට කටකතා තිබූ අතර එය හැදින්වූයේ ‘කම්පියුටර් ජිල්මාට්’ ලෙසය. ජනවාරි 08 වෙනි දින ද මෙවැන්නක් කිරිමට අර අදින බවක් ද කියවේ). වෙබ්-කේන්ද්‍රිත සගරාවක් වන Glavred 2010 යුක්රේන් මැතිවරණ ඉතිහාසය තුළ පැවැත්වූ ඉතාමත් නීරස, දූෂිත, අප‍්‍රසන්නම මැතිවරණය යානුකොවිච්-මැතිවරණය යැයි දක්වා ඇත. එසේම ‘යුක්රේනයේ හොරා’ යන නාමයෙන්ද ඔහුව හැදින්වීය.

ඇලීසාගේ වාර්තාවෙන් පසු යුක්රේන අගමැති ‘‘ආසෙනි යෙට්සුනික්” විසින් 2012දී පාර්ලිමේන්තුවේදී කරනු ලැබූ හෙළිදරව්ව යානුගේ යුක්රේන් ජනතා විරෝධී චෞර මනස විවෘත කොට පෙන්වීය. යානුව එළවන විට ”රාජ්‍ය භාණ්ඩාගාරයේ ඔහු ඉතුරු කොට තිබුනේ ඇමෙරිකානු ඩොලර්” මිලියන 430ක් පමණි. එහෙත් ඔහුගේ පෞද්ගලික වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 4 කි. යානු ගේ පුතුන්ගේ සහ සහෝදරයින්ගේ කීයදැයි නොදනිමු.(මහින්දගේ, පුතුන්ගේ සහ සහ සහෝදර සමාගමේ කොපමන දැයි ද අප නොදනිමු). යානුගේ සමයේ ඩොලර් බිලියන 37ක් වාර්තා රහිතව අන්ත‍්‍රස්දානවී ඇත. ඔහුගේ අවුරුදු 3ක පාලන කාලය තුළ තවත් ඩොලර් බිලියන 70ක් රටින් බැහැරව ගොස් ඇති මුත් ඒවායින් සමහරෙක නීත්‍යානුකූල භාවයට ශාක්ෂි නොමැත.(යුක්රේන අගමැති (පෙබරවාරි 2014) පාර්ලිමේන්තුවේදී).

ඇලීසා රූබන්ගේ වාර්තාව ශ‍්‍රී ලංකාව ගැන හෝ මහින් ද ගැන නොවේ. එය යුක්රේනය සහ යානුකොවිච් පිළිබදවය. මෙම වාර්තාවෙන් යුක්රේනය සහ යානුකොවිච් යන වචන ඉවතට ගෙන ඒ වෙනුවට ශ‍්‍රී ලංකාව සහ මහින්ද යෙදුවොත් මෙම වාර්තාව ශ‍්‍රී ලංකාව ගැනදෝයැයි සිතෙන තරමට සිද්ධින් අතින් සමාන නොවේද? යානු සහ මහින්ද දෙබෑයෝ වනුයේ මෙසේය.

මහින්දගේ ශ‍්‍රී ලංකාව 2010-2014

මහින්ද ශ‍්‍රී ලංකාවේ ජනාධිපති පදවියට පළමුවරට පත්වූයේ 2005 වසරේය. එ් ඔහුද යානු මෙන් මහජන ඡන්දයකට මුහුණදීමෙන් අනතුරුවය. මහින්ද නියමිත වසර හය නොඉද ව්‍යවස්ථාවේ අඩංගු ප‍්‍රතිපාදනයක් ඉදිරියට ගෙන 4වෙනි වසර අවසානයේදී (අත්‍යාවශ්‍යම නොවී තිබියදී) දෙවැනි ධූරකාලයක් සදහා ජනතාවගේ කැමත්ත පැතුවේ රජයේ හමුදා විසින් 30ස් අවුරුදු යූද්ධය නිමාකොට ප‍්‍රභාකරන්ව ඝාතනය කිරීමේ සිද්ධියෙන් අතිරේක දේශපාලන වාසියක් ලබාගැනීමේ අවස්ථාවාදී අරමුණිනි. යුද්ධය නිම වීමේ පසුබිම ඔහුගේ ජයග‍්‍රහණය සහතික කරන බව ඔහු සහ ඔහුගේ උපදේශක මණ්ඩලය දැන සිටියෝය. වසර දෙකක කාලයක්ද ඉතිරිව තිබියදී කෝටි ගණන් මහජන මුදල් වියදම් කොට මහින්ද මෙම පියවරට එළෙඔනුයේ ඒකාධිපතීත්වයට යාමට හොදම මාවත ප‍්‍රභාගේ මරණය හරහා ඉදිකර ගත හැකියැයි සිතූ හෙයිනි. මැතිවරණ ප‍්‍රචාරක සමයේත් ඊට පසු සෑම කුඩා මැතිවරණයකදීත් ප‍්‍රභාකරන්ගේ මිනිය රජයේ රූපවාහිණී නාළිකාවල සුලභ දර්ශනයක් වෙමින් දේශපාලන වශයෙන් විකුනුණි. ජනතාව ද ස්වාභාවිකව සහ නිවැරදිව කළගුණ සැලකීමේ මනෝවිද්‍යාවක ගිළී සිටි හෙයින් සියල්ල සිතූ පරිදිම සිදුව මහින්ද 2010 දී දෙවෙනි ධූරකාලයකට ද පත්වෙනු ලබයි. මහින්දගේ ඒකාධිපති ගමන් මගේ සංයුක්ත භූ සිතියම ඇදෙනුයේ මෙම කාල ලක්ෂයේ සිටය. 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ කලළ බීජයද මේ තුළ නොතිබුනායැයි සිතිය නොහැකිය. තෙවෙනි ධූරකාලයක ‘තණ්හාව’ දෙවෙනි ධූරකාලයේ ජයග‍්‍රහණයෙන් ලද දිරියකි, උත්තේජනයකි. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොව ඒකාධිපති ව්‍යාධියකි.

යානුගේ මැතිවරණය පමණක් නොව එදා සිටම මැතිවරණ සියල්ලම පාහේ දූෂණ බද්ධ බවට ඉතිහාසය සාක්ෂි සපයයි. ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය වුවද දූෂණවලින් තොර නොවූ බව සත්‍යයකි. එහෙත් ජනාධිපති මහින්ද තරම් (2010 දීත්) ඉතා පහත් ආකාරයට මෙම කාර්යයේ නිරතවූ වෙනත් පාලකයෙකු නිදහසින් පසු ශ‍්‍රී ලාංකික දේශපාලනය තුළ නොසිටියේය.

මහින්දගේ වයඹ සහ ඌව මැතිවරණයන් දුෂණයෙන් ඉහවහා ගිය ඒවා වූ අතර 2015 ජනවාරි 8 වෙනි දින පැවැත්වීමට නියමිත මැතිවරණය ‘යානු‘ ගව් ගාණකින් අභිබවා යමින් ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන අන්ත දූෂිත මැතිවරණය බවට ඉතිහාස ගතවන ආකාරයට කටයුතු සිදුවෙමින් පවතී. මෙය මෙසේ සිදුවනුයේ රජයේ ගෝලබාලයින් නිසාමත් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයා තමන්යැයි කියාගන්නා ජනාධිපති මහින්දගේ ’ ඊනියා ’ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාකලාපය නිසාය. සිටින ජනාධිපති මෙන්ම අපේක්ෂකයා ද තමන්ම නිසාම කිසිම භයක් හෝ ලැජ්ජාවක් නොමැතිව සහ හිරිකිතයකින් තොරව මහජනයාගේ බදු මුදලින් දිනකට පන් හය දාහකට දන්සැල් දිගහරී: මීට අමතරව ස්කූටර්, ෆෝන්, බයිසිකල් බෙදයි. හිටිඅඩියේ ගෑස්, පෙට්රල්, ඞීසල්, භූමිතෙල් අඩුවෙයි. අල්ලස්, පගා, වරදාන පොරොන්දු, ශිෂ්‍යත්ව සහ සහතික පමණක් නොව වසර 5 කට පසු බැංකුවල සින්නවූ උතුරේ ද්‍රවිඩ ජනයාගේ රත‍්‍රං බඩු ස්වල්පයක් පමණක් නැවත ලබාගැනීමට කොළඔට කැදවා තුණ්ඩු පමණක් බෙදයි. ශ‍්‍රී ලාංකික දේශපාලන ඉතිහාසය තුළ මෙතරම් ජරාජීර්ණ දේශපාලනයක් ගැන ජේෂ්ඨ පුරවැසියෙකු වශයෙන් මට අත්දැකීමක් නැත. ඓහෙත් මහින්දගේ පිළිවෙත ගැන ඉහවහා ගිය ලැජ්ජාවක් නම් ඇත. මෙවන් දෑ රාජ්‍ය ත‍්‍රස්තවාදයේ රූපයක් වනුයේ විරුද්ධපක්ෂයට එවැන්නක් කිරීමට ආර්ථිික ක‍්‍රය ශක්තියක් හෝ දේශපාලන බලයක් හෝ නොමැති තත්වය දැනදැනම කරන නිසාත් ආරාධිතයනගේ මොළ බලහාත්කාරයෙන් ‘ශුද්ධ‘ කරන නිසාත්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සැබෑ ලෙස ගරු කරන්නෙකුට කෙසේ නම් මෙසේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැලළිිය හැකිද? යානූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යුක්රේනයේ වළ දමනවිට මහින්ද එය ශ‍්‍රී ලංකාවේ වළදමයි. අසාද් එය සිිරියාවේ කරන විට ඔබාමා ඇමරිකාවේත් ඇමරිකාවෙන් පිටත් එය කරයි. ඒකාධිපතිවාදීන් ලෙස සාමාන්‍යයෙන් හදුන්වනුයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළ දමන්නෝය. ”එකම වර්ගයේ කුරුල්ලන් එක අත්තේ වසති” යන පිරුළෙහි දේශපාලන අර්ථය මෙයයි. දේශයෙන්, වර්ණයෙන්, ප‍්‍රමාණයෙන් වෙනස් වුවද ගෝලීය දේශපාලන අවකාශයේ සැරිසරණ ඒකාධිපති කුරුල්ලන් එක අත්තේ වහමින් තම වසුරු අහිංසක ප‍්‍රජාවගේ හිස මත පතිත කරති. යුක්රේනයේ සිදුවූයේ එයයි. අද ලංකාවේ කෙරෙන්නේද එයයි. භාවාත්මක සහ අවස්ථාවාදී සිල්ලර දේශපාලනයේ යෙදෙන්නවුනට නොතේරෙන්නේ ද ඒකාධිපතීන්ගේ් වසුරු කන්දරාවක් තමන්ගේ හිස මත තමන් දරා සිටින බවය.

යානු කළාමෙන් මැතිවරණ නිතිරීති අමු මෙුවේ උල්ලංඝනය කරමින් සහ නූතන(දේශපාලන) වෙස්සන්තර කෙනෙකු වෙමින් මහජන මුදල් කෝටි ගණනින් තම මැතිවරණ ව්‍යාපාරයට දිනපතා යොදවමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙළසනුයේ වෙනත් තැනකදී නොව 2015 ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ ව්‍යාපාරයේ සංකේතමය තිඹිරිගෙය වන තම නිල-නිවාසය වූ අරලියගහ මන්දීරයේදීමය. කෙලෙසෙනුයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ‘මුරදේවතාවා‘ විසින්මය. රට උගසට තබා ගොඩනගන ලද විකෘති ආර්ථික සංවර්ධනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාග්මාලාවක දවටා ඉදිරිපත් කරනවාට අතිරේකව වෙනත් සියලූ භෞතික අල්ලසක්ම මෙහිදී පිදේ. දිනකට තෝරාගත් 5000 ක ජන සේනාවකට ආහාර දාන, විවිධ ප‍්‍රසාද සහ ප‍්‍රදාන පිිරිනැමේ. පසුගිය සති දෙකට ලක්ෂයකට පමණ ආසන්න ප‍්‍රමාණයක් ජනාධිපතිගේ වෑහෙන ”කරුණාවෙන්” නෑවිණ. මෙය මැතිවරණයට ඉදිරිපත් වෙන කිසිම අපේක්ෂකයෙකුට නොලැබෙන බව දැන දැනම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධීව එම වරප‍්‍රසාදය නාම යෝජනා බාරදීමට පෙර උපරිමයෙන් පාවිච්චි කිරීම කුමන නම් සදාචාරයක් ද? ඇරත් තමාගේ අරමුණ රටේ ජනතාවගේ බදු මුදලින් සපුරා ගැනීම මොනතරම් මානවවිරෝධී ද? මෙවැන්නෙකුට තවත් වසර 8කට(ඉතිරි 2 යි නිල අයිතියෙන් 6) රට බාරදිය හැකිද? වසර 8 අවසානයේ රට කොහේ ද? මහින්ද කොහේ ද? අප කොහේ ද?

මෙවන් යානුකොවිච්ලාගෙන් ශ‍්‍රී ලංකාව බේරාගැනීමට තවමත් හැකියාවක් ඇත. මේ සදහා අවස්ථාවක් ජනවාරි 8 වෙනි දින රටේ ජනතාවට ලැබේ. මෙදිනට අපගේ දෑතින් මේ කුරුල්ලා ගිලිහී ගියහොත් ඌ නැවත පොළොවට පාත්වනුයේ දැවැන්ත, යෝධ, උකුස්සෙකු හෝ රාජාලියෙකු ලෙස ජනතාවට ‘කෙටීමටය’. එහෙයින් ජනවාරි 08 වෙනි දින ඒකාධිපතිවාදයට එරෙහිව ඔබගේ ඡන්දය පාවිච්චි කිරීම ඔබගේ පරම යුතුකම වනුයේ තට්ටුමාරු දේශපාලනයෙන් ඔබ්බට ගොස් පවතින ක‍්‍රමය වෙනස්කොට සමාජවාදී ආර්ථිකයක් කේන්ද්‍රය කරගත් දේශපාලන සුභාවිතයක් ස්ථාපිත කරගැනීම සදහා ඒකාධිපතිවාදය පළවා හැරීම සමාජවාදී න්‍යායපත‍්‍රයේ අංක එක ලෙස අප සලකන බැවිනි.

Prof Desmond Mallikarachchiඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි| Prof;Desmond Mallikarachchi
හිටපු මහාචාර්ය
පේරාදෙනිය විශ්වවිද්‍යාලය