PART 02

ඌරුගුවේ ජනාධිපති සහ ඔහුගේ නිලනිවස හෙවත් පොළොව
U1

ශ‍්‍රී ලංකා ජනාධිපතිගේ ආඪ්‍යය: ‘මමයි ජනාධිපති‘ හෙවත් මමයි අහස
U2

පසුගිය 28 දා මා පළකල ලිපියකින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ යුක්රේන ජනාධිපති වික්ටර් යානුකොවිච් එකම අත්තේ වැසූ එකම වර්ගයේ කුරුල්ලන් ලෙස නැතිනම් සමාන අදහස් දැරූ ඒකාධිපති දෙබෑයෝ ලෙස හදුන්වා දුනි. අද මම සංසන්දනය කරනුයේ ශී‍්‍ර ලංකවේ ජනාධිපති මහින්ද සහ ඌරුගුවේ ජනාධිපති සොසේ මුෂීකා අකා පෙනීය(Jose Mujica Aka Peni) ය.

2013 දෙසැ. 13 දින ‘‘ඌරුගුවේ ජනාධිපති සොසේ මුසිකා ලෝකයේ ඉතාමත් නිහතමානී සහ අල්පේච්ඡ නායකයාද?’’ යන ශිර්ෂයෙන් ගාඩියන් සගරාවේ පැනයක් නගමින් ඊලගට එහි මෙසේ සටහන් කරමින් ප‍්‍රශ්නයක් ද අසා තිබිණ. සටහන නම්- ”ඌරුගුවේ ජනාධිපති ගොවිපළක ජිවත්වෙමින් ඔහුගේ ජනාධිපති චේතනයෙන් 90%ක ප‍්‍රමාණයක් සමාජ ශුභ සාධනයටන් නිර්ධනයින්ටත් ප‍්‍රදානය කරන්නෙකි.‘‘ නගා තිබු ප‍්‍රශ්නය නම්- ”ඔබේ රටේ ජනාධිපති සමග ඔබ මොහුව සංසන්දනය කරන්නේ කෙසේද?”, යන්නයි. ගාඩියන් සගරාවේ ලේඛකයා මෝදු කළ ප‍්‍රශ්නය අද අපට බිලියන ගණනක් වටිනා ප‍්‍රශ්නයක් වන හෙයින් ඌරුගුවේ ජනාධිපති සොසේ මුසිකා නැමැති ඒ උත්තරීතර අල්පේච්ජ මිනිසා සහ මහාරජාණෝ යන විරුදාවලියෙන් පුදනු ලැබු ජනතාවගේ බදු මුදලින් සුඛෝපභෝගි මහේශාක්‍ය දිවියක් ගෙවන ශි‍්‍ර ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සංසන්දනය කිරීම එළෙඔන මැතිවරණය අභියස ඉතා කාලෝචිතය. මෙම ලිපියෙහි අරමුණ මේ අනුව මහින්ද සහ මුෂිකා ’අහසට පොළොව’ යන්න පෙන්වාදීමයි. මහින්ද ගැන අප අනන්ත දේවල් දන්නා හෙයින් මගේ වැඩි අවධානය මුෂිකා වෙත යොමුවේ.

ඌරුගුවේ ජනතාව ආදරේට මොහුව හදුන්වනුයේ ”පෙපේ” නමිනි. මමත් මොහුව ඔබට හදුන්වාදෙනුයේ ‘පෙපේ’ නමිනි. පෙපේ යන ස්පාඤ්ඤ-ප‍්‍රංශ වචනයේ තේරුම ‘සීයා’ යන්නයි. ඒ ඔහු වයස 78ක් වන නිසා නොව පෙපේ වැඩිහිටි ඥාතියෙකුු ලෙස රටේ ජනතාව සලකන හෙයිනි. ජනතාව වෙනුවෙන් මොහු කරනලද අරගල නිසාවෙන් සහ ඌරුගුවේ මිලිටරි ඒකාධිපතිවාදයට එරෙහිව ඔහු තුසාමාරෝස් නැමැති ජාතික ව්‍යාපාරය මෙහෙයවූ නිසාවෙන් සහ එහි ප‍්‍රතිථලයක් ලෙස පෙපේ වසර 15 ක් හිරබත් කෑමද නිසාවෙනි. පසුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයකින් 2009 වසරේදී ජයගෙන ජනාධිපති වුවද ඔහු තූළ ශරීරගතව තිබූ සමාජවාදී සහ වාමාංශික ආකල්ප ඔහු අත් නොහැරියේය. ජනාධිපතිවුවද තම තනතුරින් බැබැළීමට හෝ තනතුරින් අයුතු ප‍්‍රයෝජන ගැනීමට ඔහු කිසිදා උත්සාහ නොකළේය. ජනපීඩක පාලනයක් හෝ ඔහු ජනතාවගේ මුදල් වංචනික ලෙස අපයොජනයේ යෙදෙවූවෙකු නොවීීය. පෙපේ සිතාගැනීමටවත් නොහැකි ආකාරයේ මිනිස් හදවතක් ඇති ජනාධිපතිවරයෙකුවිය. ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන් යන යන තැන කුඩාදරුවන් වඩාගැනීමේ ප්‍රෝඩාකාරී හැසිරීම කිසිදා නොකළ අයෙකි. තමන් පසුගිය වසර කිහිපය තුළ වඩාගත් දරුවන් ගණන මහින්ද වුවද නොදනී. සමහරවිට 30ක් හො 40ක් වඩාගන්නට ඇත. ඒ දරුවන් කාගේ කව්ද? පියා සහ මව කව්ද? ගම කොහේද? මේ කිසිවක් දැනගැනීමට වුවද මහින්දට වුවමනාවක් තිබිය නොහැක. ඔහුගේ මූලික අරමුණ වුයේ තමන් දරුවන්ට ආදරේ බව ජනතාවට පෙන්වීම පමණි. ඒ එක දරුවෙකුටවත් ලැම්බෝගිනි, අශ්වයින් හො චොපර් ලබාදීම කෙසේවෙතත් වඩාගන්නාවිට දීම සදහා සෙල්ලම් කාරයක් හෝ බැලූම් බෝලයක් හෝ කිරිටොපියක්වත් මහින්ද නොගෙනයාම විශේෂයකි. අවම වශයෙන් ඒ දරුවන්ට පොරොන්දුවූ කිරි වීදුරුවවත් නොදුන්නද පුදුම දාරක පේ‍්‍රමයකින් මහින්ද ඔවුන් වඩාගනී. සිඹගනී. නහය මිරිකයි.

පේපේගේ අවංකකම ඉස්මතුවන ස්ථානයන් අතර ළමයිනට ඇති (දේශපාලන නොව) අවංක ආදරය කැපීපෙනෙන එක් කරුණක් දෙස පමණක් බලමු. පෙපේගේ් ගොවි ඉඩමේ කොනක ජනතාවගේ බදු මුදලින් නොව ඔහුගේ පෞද්ගලික මුදලින් සහ වපසරියෙන් කුඩා දරුවන් 20 ක් පමණ ඔහු නඩත්තු කරන අතර ඔහු තම ධූරකාලය අවසන් වන 2015 වසරින් පසු තම පෞද්ගලික වියදමින් මව්-පියන් නොමැති දරුවන් 40 කට ආසන්න ප‍්‍රමාණයක් නඩත්තුකිරීමටත් ඔවුනට කෘෂිකර්මය විෂය ඉගැන්වීමටත් පිඹූරුපත් සකස්කර අවසානය. දිළිදු රටවලට සහ අසරණ ජනතාවට මෙවන් ජනාධිපතිවරු ලැබෙනුයේ ඔවුන්ගේ වාසනාවකටය. ඒකට අපට යැයි පාඨක ඔබටද සිතුනොත් මම පුදුම නොවනුයේ මටද එසේ සිතෙන බැවිනි.

ඌරුගුවේ ජනාධිපති සිතාගැනීමටවත් නොහැකි ගණයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වර්ථමාන ලෝකයේ සිටින පළමු ’අල්පේච්ජ’ම ජනාධිපතිය. ඔහු පිළිබදව ඔබ පහත කියවන සත්‍ය කරුණු මත ‘ඔහු නම් ඇදහිය යුතු සැබෑ මිනිසෙක්ය’ යන්න ඔබ දස දහස් වාරයක් මුමුණනු ඇති බවට මගේ සැකයක් නැත.(මේ දිනවල විකාශනය වන ‘මිනිසා සුුවදයි’ යන මහින්දගේ ප‍්‍රචාරණ දැන්වීම ඇත්තටම ගැලපෙනුයේ පෙපේ ලා වැන්නන්ටය. ජනාධිපති මහින්දද ඇතුලු ඔහුගේ අශීලාචාර, අසංවර සිල්වලා, වංශලා, ජුලම්පිටියේ අමෙරෙලා, ගුවන්විදුලි සංස්ථාවේ හඞ්ඩලා, නිශාන්ත මුතූහෙට්ටිලා, වාස්ලා ජීවවිද්‍යාත්මකව නම් මිනිසුන් බව සැබෑ නමුත් ඔවුන් ඇත්තටම සුවද මිනිසුන්ද? සහතිකින්ම නැත. (එම දැන්විමයි මහින්ද ඇතුලු ගෝලබාලයින්ගේ දුගද චර්යාවයි කෙසේවත් ගැලපෙන්නේ නැත). මොවුන් සහ මහින්දගේ රජයේ බොහොමයක් පෙපේ තරම් මනුස්සකමින් සුවද නැති නිසා ඔවුන් පෙපේ සමග සංසන්දනය කිරීීම පෙපේට කරනු ලබන අවමානයක් නිසා අප එය මගහරිමු.

පෙපේ මුසිකා මොන්ටිවිඩියෝහි එක් නිදන කාමරයක් පමණක් ඇති කුඩා ගොවිපළ්-නිවසක ජිවත්වෙමින් රට පාලනය කරයි. (මහින්ද මෙම චර්යාවේ ප‍්‍රතිවිරුද්ධයයි. ඔහුගේ නිල නිවස වන අරලියගහ මන්දිරයේ සියලූ සැපපහසුකම් සහිතව සහ දහස් ගණනක කර්යමණ්ඩලයකගේ සේවයද ඇතිව සහ 3000 කට ආසන්න ආරක්ෂක බළඇනියක්ද ඇතිව කොළඔ අරලියගහ මන්දිරයේ සිට රටේ පාලනය ගෙනයයි. අගනුවර සියලු සැප සම්පත් සහිත මාළිගාවකත් දිවයිනේ තවත් මන්දීර 5 කත් මහජනයාගේ දහඩිය මතින් සුරසැප විදින පාලකයින්ට සහ මැති ඇමතිවරුන්ට ඌරුගුවේ ජනාධිපතිගේ සරල, නිර්ව්‍යාජ, මානයෙන් හිස උදුම්මවා නොගත්, අල්පේච්ජ ජීීවන රටාව පාඩමක් වුවද මොවුන් ඉතා සීමිත කිහිපදෙනෙකු හැරුණුවිට මුෂිකා හෙවත් පෙපේ නොදනී. (දැනගත්තත් මොවුන් වෙනස්නොවන තරමටම ජනතාවගේ රීරිිමාංශවලට රහවැටී ඇත).

පෙපේ ඌරුගුවේ ජනතාවගේ ව්‍යාජ නොව ’සැබෑ බාරකාරයා’ සහ ඌරුගුවේ දරුවන්ගේ ‘නිරහංකාර තාත්තා’ ලෙස සමස්ථ ලෝකයටම ආදර්ශී ප‍්‍රතිරූපයක් සපයන පාලකයෙකි. අපට පෙපේ වැනි ජනාධිපතිවරයෙක් කිසිදා නොලැබූනේ අප කළ කුමන වරදකටද? කුමන පාපයක් අප කළ නිසාද? මුසිකා වැන්නෙක් 1978 සිට ශී‍්‍ර ලංකාවේ ජනාධිපති වූයේ නම් හෝ ඒ ජන-ආකර්ශණීය ආදර්ශයේ හෙවනැල්ලක්වත් අපට වැටුනේ නම් ලංකාවට එක ජනාධිපතිවරණයක් පමණක් සෑහෙනු ඇත. පෙපේ ඌරුගුවේ ඉපදීම අපේ අභාග්‍යයකි. පෙපේ ඌරුගුවේ ඉපදීම ඌරුගුවේ ජනතාවගේ වාසනාවකි. ඌරුගුවේ ජනතාව ගැන මා තුළ අබමල් රේණුවක දේවේෂයක් නැත. ඓහෙත් පෙපේ ගැන ඇත. හේතුව මෙවන් මිනිසුන් ලෝකයේ කොතැනක හෝ සිටීමය. අනෙක මට වුවද පෙපේ වීමට බැරිකමය. කෙසේවෙතත් වෙනත් රටක මිනිසෙක් වුවද මම ඔහු පිළිබදව ආඩම්බර වෙමි.

ඔහු ඒකාධිපතිවාදය පිටු දැකීම සදහාත් තම සටන් ව්‍යාපාරය බුද්ධියෙන් සන්නද්ධ කරගැනීම සදහාත් නොනවතින පිපාසයකින් පොත පත කියවූවෙකි. ප්ලේටෝ, භෞතිකවාදී ග‍්‍රීක දාර්ශනික සෙනෙකා, සහ චේ ගවේරා, කාල් මාක්ස් සහ පිදෙල් කැස්ත්‍රෝ ඔහු උනන්දුවෙන් කියවිය. අදත් කියවයි. විවිධ මාධ්‍යයන් ඔහුගෙන් අසන ලද කරුණු කාරණා පිළිබදව ඔහු දුන් පිළිතුරු ප‍්‍රසිද්ධ කියමන් හෙවත් උද්ධෘතයන් කිහිපයකින් ඔහු සිටින සථාවරයත් එම කරුණු ගැනම අපේ ජනාධිපති මහින්ද සිටින ස්ථානයත් පැහැදිලිවේ.(මහින්ද කිසිම දර්ශනයක් නොකියවූවෙකු බව ඔහුගේ කථාවෙන් සහ චර්යාවෙන් පෙනේ). මෙම ප‍්‍රකාශනවල යටින් දිවෙන ගැඔුරු දර්ශනය ඔහු පිළිබදව ආදරයක් ඔබ තුළ ජනිත කරන බවත් මෙවන් දර්ශනයක් නොමැතිව හුදු දේශපාලන අවස්ථාවාදයක් අරමුණු කරගත් පුහු චින්තනයකට රාෂ්ඨ පාලනය ලඝු කර තිබීම ගැන ඔබ තුළ කෝපයක් මතුවන බවත් මට විශ්වාසය.

1. පෙපේ ජනාධිපතිධුරය පිළිබදව දැරුවේ මෙවන් අදහසකි. ”දේශපාලනඥයින් ඉණිමගෙහි ඉහළට නැගීම ආරම්භකරනවිටම ඔවුන් රජවරුන් ලෙස හැසිරෙති. එය කෙසේ කරන්නේදැයි මම නොදනිමි. එහෙත් මා දන්නා තරමින් ජනරජයන් ලෝකයට බිහිවුනේ කවර හෝ එකෙකු රටේ අනෙකුන්ට වඩා නොවෙනස්යැයි පෙන්වීමට මිස වෙනස්ය යන්න තහවුරු කිරීමට නොවේ.” (ශ‍්‍රී ලංකාවද ජනරජයකයි කියැවේ. එහෙත් එකෙකුගේ සහ ඔහුුගේ න්‍යෂ්ටික පවුල හසුරුවන). ”නිලධුරයකට මාළිගාවක්, රතු පලසක් සහ ‘ ඓහෙයි උතුමාණෙනි’ යැයි නිතරම පැවසීමට හෙන්චයියන් පිරිසක් අවශ්‍යයැයි සිතිමේ පුහු ආටෝප මනෝභාවය(pompous mentality) වනාහී වැඩවසම් නෂ්ඨාවශේෂයකි”. (සහතික ඇත්තයි පෙපේ).

2. ලෝකයේ දරිද්‍රම ජනාධිපති ලෙස ඔහුව හැදින්වු විට ඒ පිළිබදව ඔහු කළ ප‍්‍රකාශය මොනතරම් විදග්ධද? ”මම දරිද්‍රම ජනාධිපති නොවේ. දිළින්දා යනු ජීවත්වීමට සුවිසාල ප‍්‍රමාණයක් සොයන්නාය. මට නිදාගැනීමට මෙට්ටයක් ලැබුනුවිට මම අතිශයින් සතුටුවූ අවදියක්ද තිබුනා”. ඔහු නිහතමානීව පවසා ඇත.

3. පෙපේ තම ජනාධිපති මාසික වැටුපින් 100 ට 90 ක් නැවත ජනතාවට බෙදන අසාමාන්‍ය ඝණයේ ජනනායකයෙකි. ඔහු රටෙහි සැබෑ පියෙකි. රටට ආභරණයකි. ඔහුගේ පහත ප‍්‍රකාශයෙහි බර ඔබද උසුලන්න. නැතිිනම් එහි සුවද ඔබද විදින්න. ”ජනාධිපතිවුනා කියල මම මගේ ජීවන රටාව වෙනස්කරන්නෙකු නොවේ. අනෙක් අය (ඌරුගුවේ දුප්පත් ජනතාව) ජීවත්වීමට බැරි තත්වයක සිටින්නේ නම් සහ මට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා මම (ගොවිපළින්) උපයනවා නම් මට ජීවත්වීමට අවශ්‍ය ටික තබාගෙන ඉතිරිය දුප්පත් ජනතාවට ආපසු දිය යුතුය. එය මගේ කැපකිරීමක් නොව මගේ යුතුකමයි”.

4. ජනාධිපතිවරයෙකු යනු කවරෙක්ද? යන්නට ඔහු දෙන පිළිතුර ව්‍යාජ දේශපේ‍්‍රමයට වඩා ඉහත ජනතා-පේ‍්‍රමීත්වයට දෙවෙනි නොවේ. පෙපේට රාජ්‍යපාලනය සහ ජනාධිපතිධූරයේ භූමිකාව පිළිබදව ඍජු සහ නොසැලෙන අදහසක් ඇති අතර එය පිණිබිදුවක් මෙන් පිරිසිදුය. අව්‍යාජය. මෙම වයොවෘද්ධ ජනාධිපති සතුව ඇති දැනුමක් සන්නද්ධ අත්දැකීම ඔහුගේ නිහතමානීභාවය හකුලුවා පෙන්වන කැඩපතකි.
රාජ්‍යපාලනයක ඉහළම නිළධාරියා ජනාධිපතිවරයා වන අතර ජනතාව ඔහුව පත්කරනුයේ එක්තරා කාර්යයක් ඉටුකරගැනීමටය. ඔහු රජෙකු නොවේ. එසේම ඔහු සියල්ල දන්නේයැයි තමන්ම සිතන ගෝත‍්‍රික කට්ටඩියෙකුද නොවේ. ජනාධිපති යනු සිවිල් සේවකයෙකි. ජනාධිපතිවරයෙකු ජීවත්විය යුත්තේ ඔහුව හෝ ඇයව පත්කරනු ලැබූ, ඔහු හෝ ඇය නියෝජනය කරන සහ ඔහු හෝ ඇය සේවය කිරීමට බලාපොරොත්තුවන ජනතාවින් බහුතරය ජීවත්වන ආකාරයටය”.(අපේ ජනාධිපති මහින්ද ජීවත්වන සුපිරි සහ සුඛෝපභෝගී ජීවන රටාව බොකාසා, මුගාබේ, පෝල් ඩෙබී, මාකෝස්, ආදීන්ට සමාන නොවුවද සමීපය. (ජනතාවගේ බදු මුදලින් මහින්ද දිනකට වැයකරන මුදල රුපිල් මිලිියන ගණනකැයි කියවේ.)

ජනාධිපති මහින්ද මෙන් පෙපේ් තමාගේ ඉහත ප‍්‍රකාශ හුදු වචනවලට පමණක් සීමා නොකොට එම වචන වලට ගරුත්වයක් සහ ප‍්‍රායෝගික අර්ථයක් දුනි.”මම කියන දෙය කරන කරන දෙය කියන ජනාධිපතිවරයෙකැයි” මහින්ද නිතරම කියතුදු මහින්ද ‘කියු දේ නොකළ, කෙරූදේ නොකී,’ ජනාධිපතිවරයෙකු බවට සාධක කප්පරක් පෙන්විය හැකිය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බව පසුගිය වසර 10 තුළ දහස් වාරයක් වාචකව පොරොන්දු වූ අතර එය ලිඛිතව ද පොරොන්දු විය. අද වනතෙක් සිදුවු දෙයක් නැත. ඔහු මෙවරද එසේම පොරොන්දු වෙයි. එමනිසා ඔහු කියන දේ කරන මිනිසෙකු නොවේ.

එහෙත් පෙපේ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘යථාවාදී තථාකාරී’ ජනපතියෙකි. තම වැටුප ජනතාවට බෙදාදුන් ජාතක සාහිත්‍යයේ සුප‍්‍රසිද්ධ වෙස්සන්තර චරිතයේ ඌරුගුවේයානු පුනරුප්පත්තියදෝ යැයි සැක සිතෙන තරමට සමීප චර්යාවක් ප‍්‍රදර්ශනය කරමින් සිටී. මහින්ද ද වෙස්සන්තර චරිතය කිහිපවාරයක් සහ පසුගිය දිනවලද රගපෑ බව සත්‍යයක්මුත් මහින්ද සහ පෙපේ අතර කැපීපෙනෙන වෙනසක් ඇත. එනම් පෙපේ තමන්ගේ ජනාධිපති වැටුපින් සහ ගොවිපළේ අදායමින් දුප්පතුන් ජීවත් කළ අතර සහ අදත් එසේම කරන අතර, ජනාධිපති මහින්ද දුප්පත් ජනතාවගේ බදු මුදලින් වෙස්සන්තරවීමය. අනේපිඩු වීමය.

මෙයට අමතරව මහින්ද 2014 අය වැය ඉදිරිපත් කිරීමෙන් පසු තවත් රුපියල් කෝටි 35600 ක් පර්ලිමේන්තු සම්ප‍්‍රදායයන් තුට්ටුවකට නොසලකමින් සම්මත කරගති.(ඒ මැතිවරණ ප‍්‍රචාරණය සදහායැයි කෙනෙකුට සැකකිරීමට හැකි සාධක කටවුට් සහ සැරසිලි හරහා සතරදිග්භාගයෙන්ම දක්නට ලැබෙන බැවිනි). පෙපේට ඇත්තේ ඉහත ඡායාරූපයෙන් දැක්වෙන ‘කාර් කටුවය‘. වටිනාකම රුපියල් එක්ලක්ෂ පනස්දාහකි. මැදපෙරදිග සුල්තාන් වරයෙකු එය ඇ.ඩො. මිලිියනයකට ඉල්ලූවද ඔහු එය නොවිකුනුවේ ‘අනේ මට තියෙන්නෙ ඔච්චරයි’, යැයි කියමිනි. මහින්දට එකක් නොව වාහන සංචිතයක් ඇත.(නියෝගයකින් වහාම ගෙන්වාගතහැකි වාහන දහස් ගණනක් ඇත. ආරක්ෂකයින් සමහරවිට දස දහසක් වුවද කැදවිය හැකි බල ක‍්‍රය ශක්තියක් මහින්දට ඇති අතර ඔහු එම ප‍්‍රතිපාදන අනුකම්පා විරහිතව අපයොජනයේ යොදයි. පෙපේගේ ආරක්ෂකයා ‘එමානුවෙල්‘ නැමැති හොද පැටිගිරියක්වත්(pedigree) නැති කකුල් තුනක් පමණක් ඇති සුනඛයෙකි. පෙපේගේ මෙම අල්පේච්ච ජීවන රටාවට සහ දුප්පත් ඌරුගුවේ ජනතාව ගැන සිතීමට සහ ඔවුන්ව සූරා නොකෑමට මුෂිකා හෙවත් පෙපේ නම් ජනාධිපති සීයාට ඔහු ලැබූ විප්ලවකාරී දේශපාලන පන්නරය හේතුවු බව හැරෙන්නට වෙනත් හේතුවක් මට සිතිය නොහැකිය.

ඉතිරිවී ඇති ඉදිරි වසර තුළ ඌරුගුවේ දුප්පත් ජනතාවට සේවය කිරීමට පෙපේට හැකිවේවා යන්න මගේ පැතුමයි. ශ‍්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය වනුයේ මෙවන් මිනිසෙක් මිස කාබාසීනියා කරන බහිරවයෙකු නොවේ. පෙපේ ශ‍්‍රී ලංකාවේ ජන්දයක් ඉල්ලූවහොත් මගේ ජන්දය මෙම අවංක නිහතමානී, අල්පේච්ඡ, ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙපේට දෙමි. ඓහෙත් අපේ අවාසනාවට අපට කිසිදා පෙපේ කෙනෙක් නොලැබෙන බව මම දනිමි. ඓහෙත් වාසනාවකට පෙපේගේ අනුරුවක් මෙවර ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරණ තරගයට ඉදිරිපත්ව ඇතිබව දැකීම අපට සැනසිල්ලකි. මහේච්ච, පව්ල්වාදී මහින්දට ඓරෙහිව ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිධූරයට තරග වදින මෛත‍්‍රීපාල සිරිසේන ද ගොවියෙකි. පෙපේ මෙන්ම ගොවියෙකි. අල්පේච්චයෙකි. නිරහංන්කාර විනීත පියෙකි. සිරිසේන නැමැති පෙපේව විධායක ජනාධිපති නොව අපේ රටේ නායකයා කර ගැනීම සදහා අපට ජනවාරි 8 ලැබෙන මහගු අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජනය ගැනිමට පෙළගැසෙමු. හේතුව මහින්දට කිසිදා පෙපේ විය නොහැකි මුත් මෛත‍්‍රීට මහින්දට වඩා පෙපේ විය හැකිය. ඡන්දය මෛත‍්‍රී දිනන බවට අල්ප මාත‍්‍රයක සැකයක් මේ වනවිට ශ‍්‍රි ලාංකික කාටත් නැත. නමුත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනවාරි 8 වෙනි දින ජනාධිපතිවී ඔහු පෙපේ නොවුනහොත් හෝ ඔහු පෙපේගේ ‘යථාවාදී තථාකාරී’ පිළිවෙතින් මෑත් වුවහොත් ඔහුගේ දේශපාලන අනාගතයට ‘තිත’ තියන්නේද අපිමය. ඓහෙත් මෛත‍්‍රීපාල සිරිසේන ගොවි පවුලකින් පැවත එන නිසා ඔහුට පෙපේ වීමට අලූතෙන් ඉගෙනගැනීමක් අනවශ්‍යය.

Prof Desmond Mallikarachchiඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි | Prof;Desmond Mallikarachchi
හිටපු මහාචාර්ය
පේරාදෙනිය විශ්වවිද්‍යාලය