Photo courtesy Indian Express

අපේ රටේ මේ විගඩං කාලගෝට්ටිය මැද්දට අහුවෙන්න ඔයාලා දෙන්නට කිසිම උවමනාවක් තිබුණෙ නෑ කියලා අපි හිතනවා. ඔයාලට ඕන වෙලා තිබුනේ පරණ පෑල් නාමල්ව හම්බවෙලා, යමිං ගමං ඇස් කණ්ණාඩි ටිකකුත් බෙදලා දීලා ඔයාල කරගෙන යන පිං අතේ වැඩවලට මෙහෙං තල්ලුවක් ගන්න එක විතරයි නෙ? හැබැයි, යහළුවනි, ඒ වැඩේට බහින්න මේ කාලෙ තෝරගත්තු එකෙන් පේන්නේ ඕගොල්ලන්ගේ දෘෂ්ටියේ පොඩි අඩු පාඩුවක්.

ඔයාලා ඉන්නෙ බොම්බායෙනෙ දෙයියනේ… (ජැකොලින් දැන් අවුරුදු හයක් තිස්සෙම එහෙ නෙ?) ඉතිං “මෙහෙ වෙන්නෙ මොනවද කියලා දැනගෙන හිටියෙ නෑ” කියන එක ආයි කියන්නත් දෙයක්යැ. හැබැයි දැංවත් ඔයාලා දන්නවා ඇතිනෙ, නාමල්ගෙ ඩඩා තමන්ව තවත් සැරයක් ජනාධිපති කරව ගන්න දත කට විකාගෙන ගොඩාක් ගොඩාක් ගොඩාක් මහන්සියෙන් වැඩ කරමින් ඉන්නවයි කියලා.

කොහොමවුණත් නාමල්ගෙ ඩඩා ඔයාලට ගොඩක් ආදරේ ඇති. එහෙම නැත්තං නාමලුයි අනිත් කට්ටියයි, (ඇහැ ඇරගෙන ඉන්න හැම තත්ත්පරේකම ඩඩාව මේ සැරේ ඡන්දෙන් දිනවන්න පණ කඩාගෙන කැම්පේන් කරන්න ඕනෙ වෙලා‍වෙ ඒ සේරම පැත්තකින් තියලා) ඔයාලගෙ පිං වැඩ ටික ප්‍රෙමෝට් කරගන්න වැඩේට සපෝට් එකක් දෙන්න මේ තරං විසාල සල්ලි කන්දරාවක් විසි කරන්නේ නෑ නෙ? ඒ අය කොච්චර ලබැදි මිනිස්සුද…

ඔව්…ඇත්තටම සල්මන් ඔයා කිව්වා වගේ ඔයාට ජීවිතේට හම්බවෙලා තියෙන ‘හිතාගන්නවත් බැරි තරං නිහතමානී’ මනුස්සයා නාමල්ගෙ ඩඩා වෙන්න ඇති. එහෙම කියන්නෙ, ඔයා දන්න අනිත් හැම කෙනෙක්ම ඉන්දියාවේ වීදියක් වීදියක් ගානේ අගලෙන් අගලට තමන්ගෙ පින්තූර කටවුට් ගහගන්න අනුන්ට අයිති සල්ලි මිලියන ගණන් වියදං කරන අය වෙන නිසා වෙන්න ඇතියි කියලා අපේ නොදන්න කමට අපි හිතනවා…

කොහොමහරි ජැකොලින්, “මේ විකට නාඩගම” වෙනුවට වෙන දෙයක් ගැන බලාගත්ත නං හොදයි කියලා අනිවාර්යයයෙන්ම ඔයාට හිතනවා ඇති තමයි. අපේ විකට විගඩං නිසා ඔයා පත්වෙච්ච අපහසුතාව ගැන අපි කණගාටුව පළ කරනවා. ඇත්ත, ඔයා කිව්වා හරියටම හරි. මේක විකට නරි නාඩගමක් තමයි. අපේ මාධ්‍ය යටත් කරගෙන ඒවා ලව්වා පට්ටපල් බොරු ප්‍රචාර කරවනවා, අපේ පොලීසිය අන්ත දූෂිතයි, අපේ සල්ලි අපෙන් මංකොල්ල කනවා, අපේ ජනමාධ්‍යෙව්දීන්ට තර්ජන තාඩන පීඩන එල්ල කරනවා, අපේ කලාකරුවන්ට ගල් මුල් වලින් පහර දෙනවා, අපේ සුළුජාතීන්ට මුඛවාඩම් දාලා කටවල් වහලා, අපේ අධිකරණ පද්ධතිය අමුම අමු විහිළුවක්, අපේ ව්‍යවස්ථාව එකම අවුල් ජාලයක්. මේ මොහොත වෙද්දි ඡන්දය ප්‍රකාශ කරන්න තමන්ට ඇති අයිතිය පාවිච්චි කිරීමේ වරදට විශාල පිරිසක් පහර කෑමට ලක් වෙමින් සිටිනවා…..ඇත්තටම ගැලපෙන ‘සවුන්ඩ් ට්‍රැක්’ එකකුත් එක්ක, මේ වෙන විකාර මරුම මාරු නාඩගම් සීන් එකක් විදියට අපිට වුනත් මැවිලා පේනවා.

ඔව්…මෙහේ තියෙන්නෙ විකට නෙයියාඩගමක් තමයි. ඒක ඔයාට රුස්සන්නෙ නැති එක ගැන කනගාටුයි. ඒත් ජැකොලින්… ඔයාට මේක නාඩගමක්, ඒත් අපිට මහා ඛේදවාචකයක්. ඒක අන්තිම බිංදුව දක්වාම අපේ ලේ උරා බොන දුෂ්ට විසකුරු මාපිලෙක්… ඒ නිසා ඒකෙ නිමාවක් දකින එක අපේ ජීවිත තරම්ම අපිට වැදගත්.

හැමදේම ඔයාලගෙ පැත්තට දාලා හිතුවොත්, අපිට හිතන්න පුළුවන් ඕගොල්ලන්ගෙ පෑල්ගෙ ඩඩා මේ රට කොයි තරං දූෂිත රටක් බවට පත් කරලා තියෙනවද කියන එක ගැන ඔයාලා හාංකවිසියක්වත් දැනගෙන හිටියෙ නෑයි කියලා. ඒත් මං හිතනවා දැංවත් ඔයාලා ඒක දන්නවා කියලා. ඔව් දැං ඔයාලා ඒක දන්නවා ඇති.

ඉතිං ඔයාලගෙ පිං වැඩ ප්‍රමෝට් කරන්න ඊලගට යන රට තෝරගනිද්දි මීට වඩා ටිකක් පරිස්සං වෙන්න බලන්න. ඒකෙන් ඔය දෙන්නට මීට වඩා අඩු අපහසුතාවයකුයි, මීට වඩා වැඩි ගෞරවයකුයි ඉතුරු කරගන්න බලන්න.

සුබ පැතුම්

රුවන්ති ද චිකේරා | Ruwanthie de Chickera