Image Credit: theaustralian/Gatte Image

ජනාධිපතිතුමනි, ඔබතුමා ආවාට පස්සේ බොහෝ දේ වෙනස් විය. විශේෂයෙන් ඔබතුමා අර හමුදාපති කෙනෙක් නැතුව කරපු යුද්දෙන් පස්සේ දැන් කතුවරු නැති පොත් තියනවා. අධ්‍යක්ෂකවරු නැති නාට්‍ය තියනවා. ගුරුවරු නැතිව ශිෂ්‍ය යෝ ඉන්නවා. ස්තූති කතා නැති මගුල් ගෙවල් තියනවා. කොටින්ම මම කරපු හැම දෙයක්ම මට අහිමි වෙලා තියනවා. මා කළ දේවල් වලින් මගේ නම පවා ඉවත් කර තියනවා. ඒවා කලේ කොටියෝ, සුද්දෝ හෝ හම්බයෝ නොවෙයි. මේ සියල්ල අපේම උන්ගෙන් සිද්ධ වෙනකොට ඇති වන වේදනාව හරිම බරපතලයි ජනාධිපතිතුමනි…

අපි වූ කලී ඔබතුමා ඒමට පෙර වුවද එතරම් විශිෂ්ඨ ලෙස ජීවත් වූ ජාතියක් නොවෙමු. ඔබතුමා එන විටද අපි බොහෝ දේ නැතිකරගෙන සිටියෙමු. අපට වහා අවශ්‍යව තිබුණේ ආදරය කරනා හැටි කියා දෙන පියෙකි. එකිනෙකා අතර වෙනස පෙන්වා දීමට නොව, සමානකම් පෙන්වා දීමට හැකි සාධාරණය, ශිෂ්ඨත්වය, ගෞරවය ගොඩනගා ගන්නා හැටි තමාම ආදර්ශයක්ව පෙන්වා දීමට හැකි, කොන්දක් ඇති පියෙකි. එය අපට කර දිය හැකි නම්, පාරවල්, බෝක්කු අපට හදා ගත හැකිය. ඒවා නැතිවද අප මෙයට වඩා හොදට ජීවත් වී තිබුණි. අර වීර ශිෂ්ඨ පියාගේ දැඩි වුවමනාව අප සිත් තුළ සැගව තිබූ බැවින්, අප ඔබව වරදවා වටහා ගත්තෙමු. එබැවින් අපි ද ඔබම වූයෙමු. අපගේ අනවබෝධයට අවශ්‍ය සියලු වන්දී ජීවිත වලින් ද, මුදලින් හා අප සතු සකල සම්පත් වලින් ද අප දැනටමත් ගෙවා ඇත්තෙමු.

දැන්, මේ හොදටම ඇති ජනාධිපතිතුමනි…

මා හිතන්නේ ඔබතුමා විවේක ගතයුතු කාලය දැනටමත් ඉක්මවා ඇති බවයි. එසේම, අපට ද විවේකයක් දැන් අවශ්‍යව ඇත. අප කිසිවෙකුටවත් තවදුරටත් මෙසේ යා නොහැක. ඔබ අප සතු බොහෝ දේ අරගත්තේය. තවත් අරගැනීමට යමක් ඉතිරි වී ඇත්නම් අරගන්න. ඔබේ දරුවන්ට, තවත් යමක් අඩු නම් ඔබේ නෑදෑයන්ට, ගමේ අසල්වැසියන්ට, ගෙනිහින් දීමට යමක් ඇත්නම් කරුණාකර ඉක්මනින් අරගන්න. අන්න ඔබ හැදූ අර සුවිසල් හම්බන්තොට අධිවේගී මාවත ඔබ එනතෙක් බලා සිටී.

අප කතා කල දේශපාලනය, කලාව, දර්ශණය සහ විවිද සංවාද තවදුරටත් මුලු හදින් අපට කතා කරන්නට බැරිය. ඒ සියල්ල පුස්ය, යුග ගණන් තිබුණු අපේ මිතුරු සමාගම් ද ඒත් එක්කම අවසන් වෙලා ගොසිනි. අපට දැන් මිතුරන් ද නැත. කලාවක් ද නැත. ඉන්, අප විදින දුක් අපමණය. අපට ද දැන් හොදටෝම ඇති වෙලාය.

අපට දැන් ඉතුරු වී ඇති දෙයක් නැත. ඒ සියල්ල ඔබගේ පවුලේ අය විසින් අරගෙන ඇත. අපට දැන් නිදහසේ මරණය කරා යාමටවත් ඉඩ දෙන්න. දැන් මේ හොදටෝම ඇති ජනාධිපතිතුමනි. හොදටෝම ඇති. කරැණාකරලා අපේ දරුවන්ටවත් ණය නොවී නිදහසේ මැරෙන්න ඉඩ දී කරුණාකර ඉක්මණින් යන්න. මේ හොදටෝම, හොදටෝම ඇති…..

Country Man