බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන යුගයෙන් පසුව, මෑත ඉතිහාසය තුළ ජනතාවගේ ඉඩම් ඇතුළු ව රටේ ස්වාභාවික සම්පත් දැවැන්ත ලෙස කොල්ල කෑ පාලන යුගය වන්නේ වත්මන් රජයේ පාලන යුගයයි. එපමණක් නොව වැඩි ම සංවර්ධන අනාථයන් ප‍්‍රමාණයක් බිහි කළ යුගය ද මෙ යයි. මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළින් ජනතාව මුලා කර මහ සයුරේ සිට ඉහළ කඳුකරය දක්වා සෑම අස්සක් මුල්ලක් නෑර අප රටට අයත් සියලූ ස්වාභාවික සම්පත් ජනතාවට අහිමි කරමින් ජනතාව අවතැන් කරමින් ඉඩම් කොල්ල කමින් ගෙන යන මේ පාලනය හේතුවෙන් ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් ව සිටී.

මේ කොල්ලය සඳහා රටේ ජනතාවගේ බදු මුදලින් ක‍්‍රියාත්මක වන ආරක්ෂක අංශ, නාගරික සංවර්ධන අධිකාරිය, සංචාරක සංවර්ධන අධිකාරිය, මහවැලි අධිකාරිය වැනි රාජ්‍ය ආයතන පමණක් නොව ආණ්ඩුවට හිතැති මහා පරිමාණ සමාගම් ද යොදා ගැනීමට වත්මන් රජය සූක්ෂම වී තිබේ. මහින්ද චින්තනයෙන් ජනතාව මුලාකර දේශපාලන ප‍්‍රතිරූප ගොඩනැගීම සඳහා පමණක් ක‍්‍රියාත්මක කරන 2011-2030 ජාතික භෞතික සැලැස්මට අනුව බලහත්කාරයෙන් ඇති කරන ඊනියා සංවර්ධනය සඳහා රටේ දැවැන්ත සම්පත් ප‍්‍රමාණයක් විනාශ කරයි. එපමණක් නොව එ් යටතේ ප‍්‍රතිලාභ ලබා ගැනීමට සංවර්ධනය වන බොහොමයක් ප‍්‍රදේශවල ඉඩම් ජනතාවට අහිමි කර රජයේ ප‍්‍රබලයන් අත්පත් කර ගෙන සිටී.

විදේශ විනිමය උපයමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා යැයි පවසමින් ජනතාව මුලා කර ක‍්‍රියාත්මක කරන සංචාරක ව්‍යාපාරයේ උපරිම ප‍්‍රතිලාභ අත්පත් කර ගැනීමට වෙරළ කලාපය ඇතුළු ව බොහෝ සුවිශේෂී ප‍්‍රදේශවල පිහිටි ඉඩම් කොල්ලකෑම වත්මන් රජයේ ප‍්‍රබලයන් විසින් සිදු කර අවසන් ය. එ් සඳහා ජනතාව ජාතියේ මුර දේවතාවුන් ලෙස සැලකූ ආරක්ෂක අංශ යොදා ගැනීමට වත්මන් රජය ක‍්‍රියා කර තිබේ. රටේ මුළුමහත් ජනතාව දරුණු ත‍්‍රස්ත‍්‍රවාදයෙන් මුදාගත් ආරක්ෂක අංශ රජයේ පටු පරමාර්ථ ඉටු කර ගැනීම වෙනුවෙන් මේ ආකාරයෙන් හෑල්ලූවට ලක් කිරීම අනුමත කළ නොහැක.

ත‍්‍රිකුණාමලයේ සාම්පූර් ගල් අඟුරු බලාගාරය හා ඉන්දියානු කර්මාන්තපුරය ඉදි කර එහි ප‍්‍රතිලාභ ඉන්දියාවට අත්පත් කර දීමට ආරක්ෂක අංශ යොදා ගෙන ඉඩම් අක්කර 5000 ක් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන එහි ජීවත් වූ පවුල් 1650 ක් පලවාහැර ඇත්තේ අධි ආරක්ෂිත කලාපයක් ලෙසට ප‍්‍රකාශ කරමිනි. මේ ජනතාවගේ ඉඩම් කොල්ලකෑමට මානුෂික මෙහෙයුම දියත් කළ ආරක්ෂක අංශ යොදා ගැනීම හා එ් තුළින් ඔවුන් අපකීර්තියට පත් කිරීමට රජය ගත් කි‍්‍රයාමාර්ගය ඉතා ම අමානුෂික ය.

පානම, රාගම්වෙල හා ශාස්ත‍්‍රවෙල ජනතාව බලහත්කාරයෙන් පලවාහැර අක්කර 1220 ක් කොල්ලකා සංචාරක ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ යොදා ගත්තේ ද වත්මන් රජය විසිනි. එපමණක් නොව මොල්ලිකුලම් ප‍්‍රදේශයේ ජනතාවගේ ඉඩම් කොල්ලකා සංචාරක ව්‍යාපෘති ක‍්‍රියාත්මත කිරීමට ආරක්ෂක අංශ මෙහෙයවූයේ ද මේ රජයයි.

මීගමුව කලපුව ඇතුළු කලපු, වැව් හා ජලාශ බොහොමයක සී ප්ලේන් ගොඩ බෑම හා සංචාරක ව්‍යාපෘති ක‍්‍රියාත්මක කර ජන දිවිය වැනසීමට ආරක්ෂක අංශ යොදා ගත්තේ ද මේ රජයයි. ඉන් නොනැවතී සෝමාවතිය, කන්දකාඩු වනාන්තරයේ අක්කර 11600 ක් ඇමෙරිකානු බහු ජාතික සමාගමකට හා වෙනත් මහා පරිමාණ සමාගම්වලට ලබා දීමට ආරක්ෂක අංශ මෙහෙයවූයේ ද මේ රජයයි. මේ අයුරින් සමස්ත ආරක්ෂක අංශය ම ජනතාව ඉදිරියේ නිරුවත් කළේ වත්මන් රජයේ පටු පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා ය. මානූෂීය මෙහෙයුම දියත් කර රුදුරු ත‍්‍රස්තවාදයෙන් රට බේරාගත් ආරක්ෂක අංශ රජයේ ඊනියා සංවර්ධන කටයුතු සඳහා ජනතාවගේ ඉඩම් කොල්ලකෑමට යොදා ගනිමින් ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් කරවීමට තරම් මේ රජය නින්දිත වීම සුළුකොට තැකිය නොහැක.

මීට අමතර ව කල්පිටියේ දූපත් 14 ක ධීවර රැකියාවේ නිරත පවුල් 2640 ක් පමණ අවතැන් කර ඉඩම් අක්කර 2750 ක්, සංචාරක සංවර්ධන අධිකාරියෙන් අත්පත් කර ගෙන මහා පරිමාණ සංචාරක ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරයි. හල්දුම්මුල්ල, වේලි ඔය ව්‍යාපාරය යටතේ වගා කරන ගොවි පවුල් 3000 ක් පමණ අවතැන් කර සොරගුණේ වනාන්තරයේ අක්කර 628 ක මහා පරිමාණ ගොල්ෆ් ක‍්‍රීඩා පිටියක් ඉදිකිරීමට වත්මන් රජය දේශපාලන හිතවතෙකුට වනාන්තර ඉඩම් ලබා දීම ද මේ වන විට සිදු කර අවසන් ය.

අලි – ඇතුන් ඇතුළු විශාල ජෛව ප‍්‍රජාවකගේ වාසස්ථාන වන වනාන්තර ඉඩම් කොල්ලකා සිදු කරන අක‍්‍රමවත් හම්බන්තොට මහ පරිමාණ සංවර්ධන කටයුතු හේතුවෙන් සතා සිව්පාවා පමණක් නොව බොහෝ ජනතාවක් අවතැන්ව සීටී. ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදි කිරීම සඳහා පමණක් මත්තල ප‍්‍රදේශයේ අලි – ඇතුන්ගේ ප‍්‍රධාන වාසස්ථානයක් වූ දැවැන්ත වනාන්තර පද්ධතියේ අක්කර 5000 ක් සම්පූර්ණයෙන් ම විනාශ කිරීම සිදු කර තිබේ. ඉන් අනතුරුව ඒ ආශ‍්‍රිත මාර්ග පද්ධති හා යටිතල පහසුකම් ගොඩනැංවීමට, හම්බන්තොට වරාය, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව, මිරිජ්ජවිල ආයෝජන කලාපය, හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා ක‍්‍රිකට් ක‍්‍රීඩාපිටිය ඉදි කිරීම සඳහා ද දැවැන්ත වනාන්තර ප‍්‍රමාණයක් ඉවත් කර තිබේ. මේ හේතුවෙන් පහළ අන්දරගස්වැව, දිමුතුගම, එලල්ල, පහළ මත්තල, උඩ මත්තල, පුංචිඅප්පු ජදුර, බදගිරිය සහ ලූණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කුඩා ගම්මාන 5 හා 6 ප‍්‍රදේශවලට අලි – ඇතුන් පිවිසීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් අලූතින් නිර්මාණය වී තිබේ. මේ නිසා වගා කටයුතු කර ගත නොහැකිව බොහෝ ගොවි ජනතාවක් අනාථයින් බවට පත් ව සිටී.

එපමණක් නොව හම්බන්තොට මහ පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමට ගංගා ද්‍රෝණි තුනක ජනතාව අවතැන් කරමින් සිටී. උමා ඔය, උඩ මව්ආර හා කුඹුක්කන් ඔය යන ජල ද්‍රෝණිවල ජනතාවට ජල අයිතිය අහිමි කරමින් ජනතාව අවතැන් කර එම ජලයෙන් හම්බන්තොට මහ පරිමාණ සංවර්ධන ප‍්‍රදේශය පෝෂණය කිරීමට වත්මන් රජය ක‍්‍රියා කරයි.

ඉතා ම හානි කර උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් බත්මැඩිල්ල ව්‍යාපාරය යටතේ වගා කරන අති විශාල ගොවි පවුල් ප‍්‍රමාණයක් හා ව්‍යාපෘතියට සෘජු ව ගොදුරු වන ගොවි පවුල් 1000 කට වැඩි ප‍්‍රමාණයක් සංවර්ධන අනාථයින් බවට පත් කර ඇත. එසේ සිදුවෙද්දී උමා ඔය ව්‍යාපාරය යටතේ සංවර්ධනය වන හඳපානාගල, තනමල්විල, බලහරුව, අඹකොලේ ආදී ප‍්‍රදේශවල පිහිටි ඉඩම් අක්කර 2000 ක් පමණ ජනතාවට අහිමි කර මේ වන විටත් වත්මන් රජයේ ප‍්‍රබලයින්ගේ හිතවතුන්ට ලබා දී තිබේ.

රටේ ඉඩම් බොහොමයක් බහු ජාතික සමාගම්වලට ලබා දීමට ද වත්මන් රජය ක‍්‍රියාකර ඇත. කන්තලේ, මහියංගනය, මොණරාගල හා හම්බන්තොට ප‍්‍රදේශවල රජයේ ඉඩම් අක්කර දහස් ගණනක් ලෝකය අපකීර්තිමත් සමාගමක් වන ඩෝල් සමාගමට කැවැන්ඩිස් නම් කෙසෙල් ප‍්‍රභේදය වගා කර අපනයනය කිරීම සඳහා ලබා දී තිබේ. එපමණක් නොව මෙම සමාගම් විසින් මැණික් ගඟ, කුඹුක්කන් ඔය හා කිරි`දි ඔයේ ජලය වගා කටයුතු සඳහා මහා පරිමාණයෙන් ලබා ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය කලයේ දී දැවැන්ත ජල හිඟයකට මුහුණ දීමට හම්බන්තොට ප‍්‍රදේශයේ ජනතාවට සිදු විය. මේ සමාගම විසින් සිදු කරන දැවැන්ත වනාන්තර විනාශයේ ප‍්‍රතිඵලයක් ලෙස අලි – මිනිස් ගැටුම ද වර්ධනය වී තිබේ. මේ නිසා බොහෝ කෘෂිකාර්මික ජනතාවක් වගා කටයුතු කර ගත නොහැකි ව ඉන් ඉවත් වී ඩෝල් සමාගමේ කම්කරුවන් ලෙස සේවයේ නියුතු වන තත්ත්වයක් නිර්මාණය කර ඇත්තේ වත්මන් රජයේ හානිකර ප‍්‍රතිපත්ති නිසා ය.

අති විශාල ණය මුදල් ප‍්‍රමාණයක් වැය කරමින් ඉදි කෙරෙන අසාර්ථක මොරගහකන්ද හා කළු ගඟ බහු කාර්යය වාරි ව්‍යාපෘති දෙක සඳහා දුම්බර අඩවියේ හා වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වනාන්තර ඇතුළු ව ලග්ගල හා නාවුල ප‍්‍රදේශයේ ගම්මාන විශාල ප‍්‍රමාණයක ගොවි පවුල් 3500 ක් පමණ සංවර්ධන අනාථයන් බවට පත් කර තිබේ. ජපාන වාරි විශේෂඥයන්් පැමිණ පරීක්ෂාකර බලා අසාර්ථකයැයි සඳහන් කළ මෙම වාරි ව්‍යාපෘති දෙක කි‍්‍රයාත්මක කිරීම සඳහා රජයේ දේශපාලන උවමනාවන් මත චීන ඉදිකිරීම් සමාගමකට ලබා දී ඇත්තේ අති විශාල මුදල් ප‍්‍රමාණයක් වැය කරමින් ලංකාවේ ජනතාව දැවැන්ත ණය කරුවන් බවට පත් කරමිනි.

ඈත එපිට ගම් දනව්වල පමණක් නොව කොළඹ පිහිටි ආර්ථිකමය වශයෙන් ඉතා ම වටිනා ඉඩම් බොහොමයක් මේ වන විට හෝටල් ඉදි කිරීම සඳහා ෂැන්ගිරිලා වැනි සමාගම් ගණනාවකට ලබා දී තිබේ. එසේ කරමින් මහින්ද රාජපක්ෂ මහතා විසින් ”මම කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණුවේ නෑ හාමුදුරුවනේ” යයි කීමෙන් පළක් නැත.

ජාතික භෞතික සැලැස්මට අනුව ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත නුවර – කොළඹ අධිවේගී මාර්ගය, උතුරු අධිවේගි මාර්ගය, රත්නපුර අධිවේගී මාර්ගය, හම්බන්තොට අධිවේගී මාර්ගය හේතුවෙන් ලංකාවේ අති බහුතරයක් ජනතාව සංවර්ධන අනාථයන් බවට පත් වේ. මෙලෙස වත්මන් රජය ජනතාවගේ නිදහස් ජීවන පැවැත්ම පවා අභියෝගයට ලක් කරමින් සංවර්ධිත ජන දිවිය හා ස්වාභාවික සම්පත් අති බහුතරයක් වැනසීම සිදු කරයි.

මේ මහ පරිමාණ ඉඩම් හා සම්පත් කොල්ලයට අමතර ව කුඩා පරිමාණ බලහත්කාර ඉඩම් කොල්ලයන් වත්මන් රජයේ සියලූ මැති ඇමතිවරුන්් විසින් ඉතා ම නින්දිත ලෙස සිදු කෙරෙමින් පවතී. රජයේ ප‍්‍රබලයින් මහ පරිමාණයෙන් ඉඩම් හා ස්වාභාවික සම්පත් කොල්ලකද් දී රජයේ අවශේෂ මැති ඇමැතිවරුන් කුඩා පරිමාණයෙන් මේ කි‍්‍රයා වල නිරත වේ.

රටේ පවතින ඉඩම් නීතී, පාරිසරික නීති පමණක් නොව ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝණය කරමින් ඉඩම් කොල්ලකෑම හා මේ ඊනියා සංවර්ධනය සඳහා රටේ ස්වාභාවික සම්පත් විශාල ප‍්‍රමාණයක් විනාශ කිරීම වත්මන් රජය විසින් සිදු කරයි. ගොවි ජනතාව, ධීවර ජනතාව අනාථයන් බවට පත් කරමින් සිදු කරන මේ සංවර්ධනයෙන් බලාපොරොත්තු වන්නේ මහ පරිමාණ ආයෝජන තුළින් දැවැන්ත මුදල් ප‍්‍රමාණයක් කොමිස් මුදල් වශයෙන් රජයේ ප‍්‍රභල දේශපාලකයන් සතු කර ගැනීම පමණකි. එසේ නොමැතිව රට සංවර්ධනය කිරීමට නොවේ. රටේ කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය හා කර්මාන්ත ක්ෂේත‍්‍රය නඟා සිටුවීම වෙනුවට මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති පමණක් හුදකලාව ක‍්‍රියාත්මක කිරීමෙන් රටක සංවර්ධනයක් ඇති කළ නොහැක. මේ නිසා අද සිදු වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ පවුල පෝෂණය වීම හා ජනතාව ණය කරුවන් බවට පත් කිරීම ය.

වත්මන් රජය විසින් මෙලෙස කොල්ලකන්නේ රටේ වර්තමාන හා අනාගත පරපුර සතු සම්පත් ය. සියලූ ජනතාව වෙනුවෙන් භාරගත් රටේ සම්පත් විනාශ කිරීමට රජයකට කිසිදු අයිතියක් නොමැත. ඔවුන්ට හැකියාව ඇත්තේ රටේ සම්පත් නිසි පරිදි කළමනාකරණය කරමින් වත්මන් හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් භාවිතා කරමින් සංක්ෂණය කර වැඩි දියුණු කිරීමට ය. එ් වෙනුවට වියරු වැටුණු මංකොල්කරුවන් සේ සියලූ අස්සක් මුල්ලක් නෑර පිහිටි සම්පත් සූරා කෑමට හා එ්වා තමන් සතු කර ගැනීමට වත්මන් රජය ක‍්‍රියා කිරීම නින්දිත කි‍්‍රයාවකි. එ් සඳහා විධායක බලය, අධිකරණ බලය හා පාර්ලිමේන්තු වරප‍්‍රසාද යන සියල්ල ම භාවිතා කරති. මේ තත්ත්වය දිගින් දිගට ම සිදු කිරීමට ඉඩදිය යුතු නැත. එ් සඳහා බුද්ධිමත් තීරණයක් ගැනීමට රටේ සියලූ ජනතාව වර්තමාන හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් කටයුතු කළ යුතු කාලය එළඹ තිබේ.

2013.11.23 04

2013.11.23 07

Picture1

Picture2

සජීව චාමිකර | Sajeewa Chamikara
පරිසර සංරක්ෂණ භාරය