Photo courtesy Yahoo

”මනුෂ්‍ය වර්ගයා තරු සලකුණු නොමැති වර්ගවාදී හා යුද රෑ මැදියම තුළ ඉතා ඛේදජනක ලෙස සිර වී සිටින බවටත් සාමයේ හා සහෝදරත්වයේ දිදුලන අරුණෝදය කිසි විටෙක යථාර්ථයක් විය නොහැකි බවටත් පළ කරන අදහස මම ප‍්‍රතික්ෂේප කරමි…. අවසන් විසඳුම පවත්නේ නිරායුධ සත්‍යය හා කොන්දේසි විරහිත පේ‍්‍රමය තුළ බව මම විශ්වාස කරමි.” [කනිෂ්ඨ මාටින් ලූතර් කිං]

එක් ජන කණ්ඩායමක් ”මෛත‍්‍රී දිනුවේ උතුරු නැගෙනහිර ඡන්ද(දෙමළ හා මුස්ලිම් ඡන්ද) නිසා” යැයි කියනු ද තවත් ජන කණ්ඩායමක් මෛත‍්‍රීට බොහෝ සිංහල ඡන්ද ලැබුණු බව හා ඔහු දිනුවේ දෙමළ කතා කරන ජනයාගේ ඡන්ද නිසා නොවන බව ඔප්පු කිරීමට වෑයම් කරනු ද මට අසන්නට ලැබිණ. සමහරුන් ”මෛත‍්‍රී ගම්පහ දිස්ත‍්‍රික්කය දිනුවේ කතෝලික/ක‍්‍රිස්තියානි ඡන්ද නිසා” යැයි කියනු මට අසන්නට ලැබිණ. අප තවමත් ජීවත් වන්නේ වාර්ගිකව හා ආගමිකව බෙදුණු සමාජයක ද? වාර්ගික හා ආගමික අදහස් පදනම් කර ගෙන තර්ක කිරීම තර්කානුකූල ද? දෙමළ, මුස්ලිම් හා ක‍්‍රිස්තියානි ජනයා මේ රටේ පුරවැසියෝ නොවෙත් ද? මින් අදහස් වන්නේ අප දෙමළ, මුස්ලිම් හා ක‍්‍රිස්තියානි ජනයාගේ ඡන්ද අයිතිය පැහැර ගත යුතු බව ද?

මැතිවරණ ව්‍යාපාරවල දී වර්ගය හා ආගම විශාල කාර්ය භාරයක් ඉටු කිරීම සහ සමහර දේශපාලනඥයන් ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් ජනතාව නොමග යැවූ ආකාරය අපේක්ෂකයන්ගේ ආධාරකරුවන්ගේ මුවින් මෙවැනි ප‍්‍රකාශයන් නිකුත් වීමට හැම විට ම තුඩු දෙයි. අප තව මත් වාර්ගික හෝ ආගමික අදහස් පදනම් කර ගෙන කතා කරමින් සිටීම ගැනත් නව ජනාධිපතිවරයා තෝරා පත් කළේ කිනම් කණ්ඩායම දැයි යුක්ති සහගත කිරීමට උත්සාහ කරමින් සිටීම ගැනත් මම කනස්සල්ලට පත්ව සිටිමි.

නව ජනාධිපතිවරයා තෝරා පත් කළේ සිංහල, දෙමළ හෝ මුස්ලිම් හෝ බෞද්ධ හෝ ක‍්‍රිස්තියානි ජනයා නොව ශ‍්‍රී ලාංකිකයන් විසින් බව මාගේ විශ්වාසය යි. සෑම තනි ඡන්දයක් ම වැදගත් විය. දකුණේ සිංහලයන් ඡන්දය නොදුන්නේ නම් හෝ උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනයා ඡන්දය නොදුන්නේ නම් පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය නො කරයි. සෑම ඡන්දයක් ම වැදගත් වූ අතර ජයග‍්‍රහණය තුළ සෑම දෙනා ම කාර්ය භාරයක් ඉටු කළහ.

මේ වනාහි අප අයත් වන වර්ගය හෝ ආගම මත නොබෙදෙන, අප සියලූ දෙනා ශ්‍රේෂ්ඨ ශ‍්‍රී ලාංකික ජාතියට අයත් ය, අපගේ ආදරණීය මාතෘ භූමියේ සමාන පුරවැසියන් ය යන කරුණ මත එක්සත් වන යුගයක් කරා අප යොමු විය යුතු කාලය යි. අපි සහෝදර සහෝදරියන් ලෙස එකට ජීවත් වීමටත් එකිනෙකාට කොන්දේසි විරහිතව පේ‍්‍රම කිරීමටත් උගත යුතු වෙමු. අපි වාර්ගික හා ආගමික බෙදීම් හා වෛරය පැතිරවීම නතර කළ යුතු වෙමු.

අප සියලූ දෙනා ම දැන් නිවැරදි දිසාවට මුහුණ ලා සිටින බවත් අප සියලූ දෙනා ම කළ යුත්තේ අපගේ නව ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ මෙම නව මගෙහි නොකඩවා ගමන් කිරීම බවත් මම විශ්වාස කරමි. මෙය ආරම්භයක් පමණකි. අප බොහෝ දුර යා යුතුව ඇත. මෙය (විවිධ න්‍යාය පත‍්‍ර සහිත විවිධ පක්ෂ සමග සන්ධානයකට පිවිස සිටින) අපගේ නව ජනාධිපතිවරයාට පහසු කටයුත්තක් නොවනු ඇත. එහෙත් (පරාජිත අපේක්ෂකයා හා ඔහුගේ ආධාරකරුවන් විසින් චෝදනා මුඛයෙන්) ”අශුද්ධ සන්ධානයක්” ලෙස හඳුන්වන මෙම සන්ධානයේ සුන්දරත්වය නම් සසඳමින් කෙරෙන හරි වැරදි බැලීම් හා විවේචන පැවතීම සහ කිසිදු තනි පක්ෂයකට තමන් කැමති පරිදි කටයුතු කිරීමට ඇති නොහැකියාව යි! අපගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සුන්දරත්වය මෙය යි. එය යහපාලනය සඳහා තීරණාත්මක වෙයි. ජාතික හෙළ උරුමයට, දෙමළ ජාතික සන්ධානයට හා ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයට රට රැකීමේ පොදු ව්‍යාපාරයක් ගොඩ නගනු පිණිස තනි වැඩ පිළිවෙළක් යටතේ එකට එක් විය හැකි නම් ඒ සියල්ලන් ම අපගේ මාතෘ භූමියට ආදරය කරන බව අපට සහතිකව කිව හැකි ය. අපට සාඩම්බරයෙන් ඔවුන් ශ‍්‍රී ලාංකිකයන් ලෙස හැඳින්විය හැකි ය.

මෙය අප සමාජය වෙනස් කිරීමටත් යහපාලනය නැවත ඇති කිරීමටත් අප සියල්ලන් ලද අනපේක්ෂිත නව අවස්ථාවකි. රාජපක්ෂවරුන් පරාජය කළ හැකි යැයි මාස කිහිපයකට පෙර කවුරු නම් සිතුවාහු ද? එහෙත් මේ අද දින අපි රට නැවත ගොඩ නැගීම සඳහා දැවැන්ත අවස්ථාවක් ලැබ සිටිමු. මෙම මාතෘ භූමියේ පුරවැසියන් ලෙස අප අපගේ නව ජනාධිපතිවරයා ඔහු දුන් පොරොන්දුවලට වග වන තත්වයට පත් කළ යුතු ය. මෙම බෙදී වෙන් වුණු සමාජය වෙනස් කිරීම සඳහා අපට බොහෝ දුර යාමට සිදු වේ. එහෙත් අපට එය කළ හැකි ය. මෙම වෙනස් කිරීමේ ක‍්‍රියාවලිය තුළ දී අප සියල්ලන් ම අපගේ කාර්ය භාරය ඉටු කළ යුතු ය.

අපි කනිෂ්ඨ මාටින් ලූතර් කිං වරක් පැවසූ දෙය මතක තබා ගනිමු: ”අඳුරට අඳුර පලවා හැරිය නොහැකි ය. එය කළ හැක්කේ ආලෝකයට පමණකි. වෛරයට වෛරය පලවා හැරිය නොහැකි ය. එය කළ හැක්කේ පේ‍්‍රමයට පමණකි.” අපි අතීතයේ ජීවත් වීම නවත්වමු. අපි එකිනෙකාට පේ‍්‍රම කරන හා එකිනෙකාට ගරු කරන සමාජයක් නිර්මාණය කරමු.

ලක්සුන්දර විසිනි
@GV