මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ජෛවවිවිධත්වයෙන් හා ජල විද්‍යාත්මක අතින් ඉතා වැදගත් ප්‍රදේශයක් වන ඇටිපොල කන්දේ බැරැන්ඩිගල ගිරි ශිකරය විනාශ කරමින් සංචාරක කලාපයක් ඉදිකිරීමට හිටපු පරිසර ඇමතිවරයෙකුගේ සම්බන්දීකරණ ලේකම්වරයෙක් කටයුතු කරමින් සිටී. කිසිඳු පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට යටත් නොවී මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මගින් ද ව්‍යාපෘති කරුවන්ට අවසර ලබා දීම නිසා මෙම වටිනා සොබා උරුමය මකර කටට යාම ජාතියේ අවාසනාවකි. අක්කර 1400 ක් ස්වභාවික මායිම් වලින් වෙන්ව පිහිටා ඇති මාතලේ පාවුල් කඳු වලල්ලේ ප්‍රමුඛ කඳු ශිකරයක් වන ඇටිපොල කන්ද ප්‍රධාන ඇල මාර්ග 19 කින් අඹන්ගඟ හා දැදුරු ඔය පෝෂණය කරනු ලබන අතර අඩි 4200 කට ආසන්න උසකින් සමන්විත ජෛව පද්ධතියක් හා ජලාධාරයක් වශයෙන් සංරක්ෂණය කල යුතු ප්‍රදේශයකි.

ඇටිපොල කන්ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන වගා වලින් ද ද්වතීක වනාන්තර වලින් හා ස්වභාවික වනාන්තර සහිත දූපත් වනාන්තර පද්ධති වලින් සමන්විත වැසි කඩන හා වලාකුල් වනාන්තර ක්‍රියාකාරිත්වයකින් යුක්ත විශේෂිත පාරිසරික සේවා සහිත සුවිශේෂී පරිසර පද්ධතියකි. ඇටිපොල කන්ද විශේෂිත ජලාධාර ප්‍රදේශයක් වශයෙන් සංරක්ෂණය කල යුතු බවට මාතලේ දිස්ත්‍රික් පාරිසරික පැතිකඩ අධ්‍යනයේ දීද විද්වතුන් විසින් නිර්දේශ කර ඇත. 1973 දී හදිසි ආහාර බෝග වගා කිරීමේ පනත යටතේ හා 1986 වර්ෂයේ ගම් පුළුල් කිරීම පනත යටතේ ඉඩම් බෙදා දීමේදී ද ප්‍රතිපත්තියක් වශයෙන් ඇටිපොල කන්ද ජලාධාර ප්‍රදේශයක් ලෙසට ස්වභාවික මායිම් සහිතව වෙන් කර ආරක්ෂා කර ඇත.

මෙම ජලාධාර කඳු ප්‍රදේශය අද වන විට සංචාරක කලාපයක් වශයෙන් සංවර්ධනය කිරීම සඳහා අති විශාල පාරිසරික හානියක් හිටපු පරිසර ඇමති වරයෙකු හා ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකුගේ අවශ්‍යතාවය මත සිදුකෙරෙමින් පවතී. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මුදල් වෙන්කරගෙන උකුවෙල ප්‍රාදේශීය ලේකම්වරයා ලවා ඇමති නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ව්‍යාපෘතියක් ලෙසට 2014 මාර්තු මාසයේ සිට අදාල විනාශයන් සිදුකෙරෙමින් පවතින්නේ කිසිදු පාරිසරික බලපෑම් ඇගයීමක් හෝ ශක්‍යතා අධ්‍යනයක් පවා සිදු නොකරය. එම වසරේ සැප්තැම්බර් මස 21 වන දින යන්ත්‍රෝපකරණ උපයෝගී කරගෙන ඇටිපොල කන්ද බැරැන්ඩිගල සංචාරක කලාප සංවර්ධනයක් සඳහා වන වගා භූමියක් තුලින් මාර්ගයක් ඉදි කිරීමේ දී ඒ පිළිබඳව ප්‍රදේශයේ පරිසර ක්‍රියාකාරීන් විරෝධය පලකිරීම නිසා මාතලේ දිස්ත්‍රික් ලේකම්වරිය විසින් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව හා පාරිසරික නීති පැනවීමේ හා ක්‍රියාත්මක කිරීමේ කමිටුවලදී ඉදිකිරීම් කටයුතු අත්හිටුවා ඇටිපොල කන්ද ජලාධාර ප්‍රදේශය පිළිබඳ විශේෂ අධ්‍යනයක් කර අදාල ව්‍යාපෘතිය පිළිබඳව වාර්ථා කරන ලෙසට දුන් උපදෙස් ද අභිබවමින් නීති විරෝධී ලෙස ඉදිකල මාර්ගය හා සංචාරක කලපය සඳහා අක්කර 10 ක භූමිය පමණක් අහඹු ලෙස පරීක්ෂාවට ලක්කර අදාල කර්ය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මගින් 2014 දෙසැම්බර් 18 වෙනි දින අවසරයක් ලබා දි ඇත. උකුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ දී ඇමති නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ සමබන්ධීකරණ ලේකම් විමලරත්න බණ්ඩාර විසින් ආර්ථික සංවර්ධන ඇමතිතුමාගේ විශේෂ ව්‍යාපෘතියක් වන ඇටිපොල කන්ද බැරැන්ඩිගල සංචාරක කලාප සංවර්ධනය ව්‍යාපෘතියට විරුද්ධ වනවාට ඇමති බැසිල් රාජපක්‍ෂ කැමති නැති බව අදහස් පල කරමින් මධ්‍යම පරිසර අධිකාරියෙන් මෙම ව්‍යාපෘතියට නිර්දේශ ලබාගෙන ඇති අතර පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාදාමයට පටහැනිව ලබාදී ඇති මෙම නිර්දේශ පිළබඳව තමන් විරෝධය හා සැකය පල කරන බව පරිසර වේදීන් පවසති.

මේ වන විටත් ඇටිපොල කන්ද ජලාධාර ප්‍රදේශය සංරක්ෂණ කලාපයක් කිරීම අදාල ප්‍රාදේශීය සභා කමිටු මගින් තීරණය ගෙන මාතලේ දිස්ත්‍රික් ලේකම්වරියට දන්වා ඇති තත්වයක් තුල ඉතා හදිසි කටයුත්තක් ලෙසට මෙම සංචාරක කලාප සංවර්ධනය කටයුත්ත මුළු දී තිබීම කණගාටුවට කරුණකි.

ද්විතික වනාන්තරයක් ලෙසට වර්ධනය වී ඇති ඇටිපොල කන්ද බැරැන්ඩිගල ප්‍රදේශය මේ වන විට ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අක්කර 2 ක් පමණ භූමියක් කිසිදු පාරිසරික ඇගයීමක් නොකර විකුණා ඇති අතර සංචාරක කලාපයක් ලෙසට උකුවෙල ප්‍රාදේශීය ලේකම්වරයාට අක්කර 10 ක ප්‍රමාණයක් ලබාදී ඇත. එනේම සංචාරක හෝටල් ඉදි කිරීම සඳහා ඇටිපොල කන්ද ජලාධාර ප්‍රදේශයේ ඉඩම් ව්‍යාපාරිකයන් සඳහා ලබා දීමට දේශපාලන අධිකාරියෙන් නිර්දේශ ලබා දෙමින් ඒ සඳහා පිඹුරු පත් සකස් කරන බවට මේ වන විට තොරතුරු ලැබී ඇත. එකී ස්ථානයන් සඳහා පිවිසීමට ඉදිකර ඇති නව මාර්ගය කැපීම තුල හානියට පත්ව ඇති ශාක වර්ග ප්‍රමාණය 70 වකට ආසන්න බව තමන් විසින් කරනු ලැබු අධ්‍යනයකින් හෙලි කරගත් බව පරිසරවේදීන් ප්‍රකාශ කරන අතර එකි මාර්ගය ඉදිකිරිම කර ඇත්තේද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන වගාවක් තුලිනි.

ඇටිපොල කන්ද ජලාධාර ප්‍රදේශයක් ලෙසට ක්‍රියාත්මක වීම පිළිබඳව ඇති ඉතිහාසගත තොරතුරු ද සුළු පටු නොවේ. කුවේණි සමයේ පැවති ප්‍රධාන ජලාශයක නටඹුන් මේ ආසන්න දෙල්විට නෙල්ලිගල ප්‍රදේශයේ දක්නට ඇති අතර උඩහොරොම්බුව හා පාතහොරොම්බුව යන ගම්මාන එහි වම්ඇල හා දකුණු ඇල ලෙසට පෝෂණය වූ ප්‍රදේශය බවට ඓතිහාසික තොරතුරු හමුවේ. එම ප්‍රදේශය පුරා විසිරී ඇති කටාරම් කෙටූ ගල්ලෙන් සමූහය අදටත් කෘෂි ශිෂ්ඨාචාරයක සාක්ෂි ඉතිරි කර ඇත. මාතලේ පඩිවිට කුඹුරුයායේ පිහිටා ඇති සෙල්ලිපිය මගින් මෙම ජලාධර ප්‍රදේශයෙන් ලැබෙන ජලය ගොවිතැන් කටයුතු සඳහා බෙදාගැනීමේ යල් පොත මාස්පොත ගොවිකම් රටාවපිළිබඳ ඓතිහාසික සාක්ෂි සපයයි. ලංකාවේ පලමු කෝපි නැව යැවූ විකාටන් වත්ත කෝපි වගාව සඳහා එලි කල අවස්ථාවේදී කූඹියන්ගොඩ ඔයේ ජලය පන් කොලයකින් ලබා ගැනීමේ සෝචනීය සිද්ධියද ප්‍රදේශයේ ජනවහරේ එන ප්‍රකට කතා පුවතකි. මහනුවර රජුන්ගේ මාතූල ජනපද සංචාරයේදී ඇටිපොල කන්දේ හේගිය වනාන්තර ප්‍රදේශයක් දැක කල විමසීමකදී වේවැලක් කැපීමෙන් ඇතිවූ හානියක් බව හඳුනාගෙන දඬුවම් පැමිණවීමේ කතා පුවතක්ද ප්‍රදේශයේ ජනවහරේ ඇති කතා පුවතකි.

මෙම භූමි ප්‍රදේශය විශේෂිත භූ දර්ශන වලින් ද සමන්විත වන අතර සුවිශේෂී ජලාප්‍රවාහන රටාවකින් යුක්ත විටිනා කඳු ශිකාරයකි. ඒ තුලින් ආරම්භවන ප්‍රධාන ඇල මාර්ග 19 ක් වන අතර අඹන්ගඟ හා දැදුරු ඔයේ ප්‍රධාන අතු ගංගා ලෙසට කටයුතු කරන කූඹියන්ගොඩ ඔය, ගිරාඹය ඔය හා දෙල් විට ඔය පෝෂණය වන්නේද මෙම වන පෙතින් බව ඉහතද සඳහන් කලෙමි. තවද ඇටිපොල කන්ද ප්‍රදේශය ජලාධාර රක්ෂිතයක් ලෙසට නම් කිරීමේදී පහත කරුණු ද විශේෂිත වන්නේය. එනම් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන ජල පෝෂකයක් ලෙසට නම් කරතිබීම, නාලන්ද ජලාශය හා වෑමැඩිල්ල, දේවහුව ජලාශවල ප්‍රධාන ජල පෝෂකය වීම, මධ්‍යම කඳුකරයේ අවසන් වැසි කඩන කඳුකර වනාන්තර පද්ධතියක් වීම, මාතලේ පාවුල් කඳු වලල්ලේ වලාකුළු වනාන්තරයක් ලෙසට සක්‍රීය වීම ආදීයයි.

තවද විශේෂ ජෛව විවිධත්වයකින් යුක්ත වීම, ප්‍රදේශයේ පවතින වන සත්ව උවදුරු අවම කිරීම සඳහා වැදගත් වන ජීවී (නිකේතන) පෝෂණ කලාපයක් ලෙසට පවත්වාගෙන යෑමේ හැකියාවන් තිබීම, උකුවෙල යටවත්ත මාතලේ හා රිදීගම යන ප්‍රාදේශීය ලේඛම් කොයස්වල ග්‍රාම නිලධාරීවසම් 25 කට ආසන්න ප්‍රමාණයකට සෘජු පානීය ජලය හා කෘෂිකාර්මික ජලවරයන් සැපයීමේ ජලධාරයක් වීම, ස්වභාව විද්‍යාත්මකව දැනුම සඳහා වන ක්‍ෂේත්‍ර අධ්‍යන පර්යේෂණාගාරයක් ලෙසට භාවිතා කිරීමේ හැකියාව, ආපදා අවම කිරීම සඳහා ස්වභාවික රක්ෂිතයක් ලෙසට පවත්වාගෙන යාම, හා රූදෙස් සංචරණය සඳහා නැණවත් ලෙස භාවිතා කිරීමේ හැකියාව ද මෙම ගිරි ශිකරයේ ඇති තවත් වටිනාකම් කිහිපයකි.

සෑම වසරකම දෙසැම්බර් මස 11 වන දිනය ජගත් කඳුකර දිනය ලෙසට එක්සත් ජාතිකයේ සංවිධානය නම් කර ඇත. ලෝක රටවල විවිධ ජාතීන් තම තමන්ගේ අනන්‍යතාවයන් ප්‍රමුඛව ජගත් කඳුකර දිනය සමරනු ලබන අතර ශ්‍රී ලංකාවද එසේම සිදුකරන්නේ මහත් උත්සවශ්‍රීයෙනි. නමුත් උත්සව සැමරීමෙන් එහා ගොස් මෙරට ඇති සුවිශේෂී කඳු ශිකර පිළිබඳව ජාතික මට්ටමෙන් අවධානය යොමු කර භූ විද්‍යාත්මිකව, ජල විද්‍යාත්මිකව හා ස්වභාව විද්‍යාත්මකව ඒවායේ වැදගත්කම් සොයා බලා සංරක්ෂණය කර තැබිය යුතු කාල අද මිස හෙට නොවන බව අපගේ අදහසයි. ඇටිපොල කන්දට මේ වන විට අත්වෙමින් පවතින කණගාටුදායක ඉරණම දුරලීමෙන් ඒ සඳහා ආරම්භයක් ලබා ගැනීමට නව ආණ්ඩුවට හැකියාව ඇත.

මෙම ලිපිය සකස් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු හා ඡායාරූප සපයාදුන් GAFEC ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ පරිසරවේදී ගාමිණී ජයතිස්ස මහතාට විශේෂ ස්තුතිය හිමිවේ.

සුපුන් ළහිරු ප්‍රකාශ් | Supun Lahiru Prakash