ඉකුත් දා පැවති මැතිවරණයේදී රාජපක්ෂ ආණ්ඩුව විසින් රාජ්‍ය මාධ්‍ය ඉතා පක්ෂග‍්‍රාහී ආකාරයකින් පාවිච්චි කළ බව රහසක් නොවේ. රාජ්‍ය මාධ්‍ය යනු ජනතාවගේ සන්තකයක් වන බැවින් ඒවා පක්ෂග‍්‍රාහීව පාවිච්චියට ගැනීම පිළිගත නොහැක්කකි. මේ තත්වය තුළ, අළුත් ආණ්ඩුව අපේක්ෂා කරන ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තුළට පැහැදිළිවම රාජ්‍ය මාධ්‍ය ජාලය ප‍්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවත් ඇතුළත් විය යුතුය. විධිමත්ව කෙරෙන ඕනෑම සමාජ සහ දේශපාලනික ප‍්‍රතිසංස්කරණ වැඩපිලිවෙලක් සාර්ථක කර ගැනීම සඳහා ශක්තිමත් මාධ්‍ය සංස්කෘතියක් සහ සංවිධානයක් අනිවාර්ය මෙවලක් වන්නේය.

නූතන ලෝකයේ මහජන අධ්‍යාපනය සඳහා මාධ්‍ය මගින් ඉටු කරන්නේ බලගතු මෙහෙවරකි. එහි දී ගුවන් විදුලිය සහ රූපවාහිනිය විශේෂ වැදගත් කමක් ගනී. ඒ හැරුණු කොට, සමාජයීය සහ අධ්‍යාපනික වශයෙන් සම්ප‍්‍රදායික මාධ්‍යයට පවා කළ හැකි පෙළඹවීමේ හැකියාව අතිමහත් ය. ප‍්‍රීතිමත් සහ සමෘද්ධිමත් සමාජයක් ගොඩනැගීමේ ඕනෑම සබුද්ධික ව්‍යායාමයක් තුළ, නූතන අදහස් සහ දැනුම ප‍්‍රචාරණය සඳහා රාජ්‍ය මාධ්‍ය ධනාත්මකව යොදාගත යුතුව ඇත්තේය.

එවැන්නක් වෙනුවෙන් කැප වෙනවා වෙනුවට, දේශපාලනිකව පක්ෂග‍්‍රාහී වීමට අමතරව රාජ්‍ය මාධ්‍ය කටයුතු කෙළේ, ගතානුගතිකත්වය, ආචීර්ණකල්පික භාවය සහ වෙනත් විවිධ ආකාරයේ මධ්‍යතන චින්තාවන් ද, මිථ්‍යා විශ්වාස සහ අභිචාරයන් ද, ‘ජාතික සංස්කෘතිය’ වශයෙන් උඩ දැමීමටයි. ආගම, පෞද්ගලිකව ඇදහිය යුතු දෙයක් මිස, රාජ්‍ය මාධ්‍ය තුළ ඔසවා තැබිය යුතු දෙයක් නොවේ. ආගම වෙනුවෙන් වෙන් කෙරෙන මාධ්‍ය අවකාශය ඉතා පහසුවෙන් බහුතරයේ ආගමික ආධිපත්‍යයට යට විය හැකි බහු-ආගමික සමාජයක එය කොහෙත්ම නොකළ යුතු දෙයක් වන්නේය. ඒ වෙනුවට, ඉදිරිගාමී සමාජයකදී මාධ්‍යයෙන් කළ යුතුව තිබෙන්නේ, නූතන සමාජමය සහ විද්‍යාත්මක මතිමතාන්තර ප‍්‍රචාරණය කිරීමත්, බලිතොවිල් සහ වෙනත් මිථ්‍යාවන්ගෙන් සමාජය නිදහස් කර ගැනීමට උර දීමත් ය. හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා ජ්‍යොතිෂය ගැන තැබූ විශ්වාසය, මෙකී මුග්ධ භාවය පිළිබඳ අපේ ඇස් අරවන සුළු විය යුතුය.

අපේ වැනි බහුවිධ සමාජයක, වාර්ගික, ආගමික සහ වෙනත් ආකාරයේ විවිධ ජන ප‍්‍රජාවන් අතර අන්‍යොන්‍ය අවබෝධය ප‍්‍රවර්ධනය කිරීම සඳහා මාධ්‍ය බලසම්පන්න මෙවලමක් විය හැකිය. වර්තමාන සන්දර්භය තුළ ජාතික සංහිඳියාවට ශක්තිමත් රුකුලක් වීමේ හැකියාව ඊට ඇත්තේය. ඒ හා සමානවම ඊට කළ හැකි තවත් වැදගත් කටයුත්තක් වන්නේ, සමස්තයක් වශයෙන් සමාජයේ සාහිත්‍යයික සහ සෞන්දර්යාත්මක වින්දනයේ ප‍්‍රමිතීන් උසස් තලයකට නැංවීමයි. එවැනි සාරවත් සම්මාදමක් මගින්, ජනහිතකාමී ආර්ථික සංවර්ධන වැඩපිලිවෙලකින් අපේක්ෂිත මිනිස් ජීවිතයේ ගුණාත්මක වර්ධනයට අතිරේක පිටිවහලක් වීමට ඊට හැකි වන්නේය.

මේ සහේතුක සාධක අනුව බලන විට, රාජ්‍ය මාධ්‍යයේ සංවිධානයත්, එහි ගුණාත්මක භාවය, වෘත්තීය භාවය සහ අපක්ෂපාතීත්වයත් සහතික කරනු වස් ස්වාධීන අධිකාරියක් පිහිටුවීමට නව රජය සැළකිල්ල යොමු කිරීම කාලෝචිත ය. එවැනි ආදර්ශවත් රාජ්‍ය මාධ්‍ය පද්ධතියක් ඇති විට, පෞද්ගලික මාධ්‍යට ද, ඒ සමග තරගකාරී වීම සහ හිමිකරුවන්ට ලාභදායී ව්‍යාපාරයක් වීම සඳහා තම තමන්ගේ ගුණාත්මක භාවය වැඩි දියුණු කර ගැනීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවනු ඇත.

බලයෙන් වීසි වූ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින්නන්, විශේෂයෙන් එහි නායක රාජපක්ෂ මහතා, මිනිසුන් භේද කරවන සුළු, වගකීම් විරහිත ප‍්‍රකාශයක් කොට තිබේ. එනම්, නව ආණ්ඩුව දෙමළ සහ මුස්ලිම් ජනතාව විසින් පත් කරගෙන ඇති බවත්, සිංහල බෞද්ධයා ඡන්දය පාවිච්චි කොට ඇත්තේ තමන්ට බවත් ය. එය සැබෑවක් නම් ඊට හේතුව වන්නේ, රජයේ පුවත්පත්, ගුවන් විදුලිය සහ රූපවාහිනිය තම පක්ෂග‍්‍රාහී වාසි තකා ජාතිවාදී සහ ස්වෝත්තමවාදී නිර්දය ප‍්‍රචාරණයක් නීති විරෝධී ආකාරයෙනුත්, සදාචාර විරෝධී ආකාරයෙනුත් මැතිවරණ කාලය තුළ ගෙන යාමයි. දෙපාර්ශ්වයේම අදහස් උදහස්වලට සවන්දී තීරණයක් ගැනීමේ අවස්ථාව ජනතාවට ලැබුණේ නම්, පොදු විපක්ෂයේ අපේක්ෂකයාට ඔවුන්ගෙන් අතිබහුතරයක් ඡන්දය පාවිච්චි කරනු ඇති බව ඉර හඳ සේ පැහැදිළි ය.


මහාචාර්ය එච්. එල්. සෙනෙවිරත්න

*2015 ජනවාර 21 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්‘ වෙඞ් අඩවියේ පළවූ The Need For Media Reform නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි