බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(24) දහවල් කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවතත් ඉදිරිපත් කළ පසු මහෙස්ත්‍රාත්තුමිය දැනුම්දුන්නේ ලබන මාර්තු 10 දක්වා නැවතත් ජෙයකුමාරි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසය.

ජෙයකුමාරි, ත්‍රස්ථ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන වසරක් පිරීමට ඇත්තේ තව දින 18කි. අත්අඩංගුවට ගැනීමෙන් පසු බූස්ස රැදවුම් කදවුරේ රදවා තැබීමෙන් පසු ඇයව පසුගිය දා රිමාන්ඩ් බන්ධනාගාර ගත කලාය.

පසුගිය කාලයේ සේම ත්‍රස්ථ විමර්ෂණ ඒකකයේ නිළධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් සහ ඉදිරි විමර්ශණ කටයුතු වේගවත් කරන බවත්ය. මේ දින ගණනාවේම මෙම නිළධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ මෙවැනි අකාරයේ ම කතාය. ඒ ‘කතා‘ අනුව අද අධිකරණය දන්වා සිටියේ ලබන මාර්තු 10වෙනිදා නැවත ජෙයකුමාරි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

පසුගිය පෙබරවාරි 17වනදා ජෙයකුමාරි සිය දියණිය හමුවීමෙන් පසු පවසා සිටියේ,

‘දුව ඉන්නේ ගොඩක් දුකින්. ඒයාට ඇදුම්, කෑම බීම තියනවා කිව්වා. ඒත් එයා හැමදාම රෑට බයවෙලා අඩනවා. ඒයාට තිනියෙන් ඉන්න බෑ කිව්වා. මට දුකයි. එයා වැඩිවිය පැමිණිලා දැන් ටික දවසක් වෙනවා. ඒත් අපේ චාරිත්‍ර කිසිවක් ඉටු කරන්න බැරි උනා. ලබන මාසේ 6වෙනිදාට තමයි ඒක ඉටු කරන්න දින දීලා තියෙන්නේ. මට ඒකට ඉන්නම ඕන. මට දුවත් එක්ක ඉන්නම ඕන. මම හිතනවා මට ලබන 24වෙනිදා මේකෙන් නිදහස් වෙන්න පුලුවන් වෙයි කියලා. මම ලබන 6වෙනිදා මගේ දුවත් එක්ක ඉන්න ඕන‘‘

නමුත් ඒ සිහිනය සැබෑ කර ගන්නට මෛත්‍රී පාලනය තුළ වුවුද අද ජෙයකුමාරිට අවසර ලැබුනේ නැත.

ඇය අද නැවතත් වැලිකඩ සිර මැදිරියට යන්නේ කෙසේ දැයි දියණියන් සිටින මව්වරැ මෙන්ම දරැවන් සිටින මිනිසුන් සහ ගැහැණුන් ද, ලංකාවේ වත්මන් පාලකයන්ද නැවතත් කල්පනා කල යුතුය. රාජපක්ෂගේ පළිගැනීම්වල ගොදුරක් වූ ජෙයකුමාරි සහ විබූෂිකා ට අදද නිදහසක් හිමිවන්නේ නැති ද? මෛත්‍රී පාලනයෙන් දැන් අප ප්‍රශ්ණ කල යුතුය. නීතියේ ආධිපත්‍ය, යුක්තිය සහ සාධාරණත්වය යනු වසරකට ආසන්න කාලයක් කිසිදු චෝදනාවක් නොමැතිව මුග්ද නිතියක් යටතේ අත්අඩංගුවට ගෙන මෙසේ සිරගත කර සිටීමද? දැන් අප ඇසිය යුතුය.(මෙසේ නඩු ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැතිව, වසර ගණනාවක් තවත් බොහෝ පිරිසක් මෙසේ සිරගෙවල් වල දේශපාලන සිරකරුවන් ව සිටියි)

ත්‍රස්ථවාදය වැලැක්වීමේ පණත යටතේ ජෙයකුමාරි සහ විබූෂීකා අත්අඩංගුවට ගනු ලැබූවේ 2014 මාර්තු 13වනදා කිලිනොච්චියේදීය. ඉන්පසුව ජෙයකුමාරි රැදවුම් නියෝග යටතේ බූස්ස රැදවුම් කදවුරට රැගෙන ගිය අතර 13 හැවිරිදි දියණිය විපූෂිකා කිළිනොච්චියේ, මහා දේවන් ළමා නිවාස භාරයට පත් කෙරිණි. ජෙයකුමාරිගේ සැමියා සහ සිය පුතුන් දෙදෙනා යුද ගැටුම් වලින් මිය ගොස් සිටි අතර අනෙක් පුතා රජයේ හමුදාවන්ට බාර වීමෙන් පසු අතුරැදහන් වී තිබේ. සිය පුතා අතුරැදහන් වූවත් එක්තරා දිනක හමුදාව සමග සිය පුතා සිටින ඡායාරෑපයක් දැකීමෙන් පසු එම පුතා සොයමින් ජෙයකුමාරි සහ බිබූෂිකා සෑම තැනකම ඇවිද්දාය. නමුත් සිය පුතා සොයමින් සිටි ජෙයකුමාරිට සිදු වූයේ, රාජපක්ෂ ආණ්ඩුවේ ගොදුරක් වී රිමාන්ඩ් ගත වන්නටත්, විබූෂිකාට සිය මවත් අහිමිව ළමා නිවසක තනි වන්නටත් ය.

දැන්, ආණ්ඩුවේ දින 100ට මෙවැනි වේදනාවන් සහ කදුලු නොපෙනුනොත්, ගොඩනගනවා යැයි සපත කරන සාධාරණ සහ යුක්ති සහගත සමාජය පිළිබදව කතිකාව ව්‍යාජයක් බව කියන්නට විසිකර දමා ඇති ජීවිත පවා යළි නැගිසිටීමට පසුබට නොවනු ඇත.

සබැදි සටහන්

‘විකල්ප‘ වෙබ් අඩවිය පෙබරවාරි 10වනදා කළ, අැගේ ඉල්ලීම ප්‍රසිද්ධ කරයි – ‘මට මගේ දරුවව බලන්න දෙන්න‘ රිමාන්ඩ්ගතකර ඇති ජෙයකුමාරිගෙන් ඉල්ලීමක්!

‘අපි දෙන්නා දෙපැත්තේ ඉදලා කතා කරාට වඩා ඇඩුවා‘ අධිකරණ අවසරයෙන් සිරගත ජෙයකුමාරි සහ ඇගේ දියණිය විනාඩි කිහිපයකට හමුවෙයි

TID සුපුරුදු බණේම කියයි, ජෙයකුමාරි නැවතත් රිමාන්ඩ්!

රාජපක්ෂ පාලනය විසින් ජෙයකුමාරි රදවා ගෙන දින 312යි | දේශපාලන සිරකරුවන්ට නිදහස ලැබිය යුතුයි!