අපූර්ව පරිසර පද්ධතියක ප්‍රධාන අංගයක් හා ප්‍රදේශයේ ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථිකයට ශක්තියක් සැපයූ සංචාරක ගමනාන්තයක් වන අත්වැල්තොට දියඇල්ල විනාශ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෞද්ගලික කොම්පනිකරුවෙකුට අවසර ලබා දී තිබේ. අත්වැල්තොට දිය ඇල්ල හරස් කරමින් කුඩා ජල විදුලිබලාගාර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සකුරා එනර්ජි නමැති පෞද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනාවකට අවසර ලබා දීම මගින් මෙම විනාශය සිදුකර ඇත. මෙම කුඩා ජල විදුලිබලාගාර ව්‍යාපෘතිය මගින් මෙගා වොට් 1.5 ක ජල විදුලියක් නිපදවීමට අදාල පෞද්ගලික සමාගම බලාපොරොත්තු වේ. නමුත් ඒ හේතුවෙන් එතෙක් පරිසරයට හානියක් නොවන පරිදි ප්‍රදේශයේ ග්‍රාමීය ජනතාව විසින් සිදුකරගෙන ගිය සංචාරක කර්මාන්තය ඇනහිටීමෙන් ඔවුන් කබලෙන් ලිපට විසිවන අතර ඔවුන්ගේ ජල අවශ්‍යතා ඉටුකරගැනීමේදී ද ගැටළු ඇතිවන බව පරිසර යුක්ති කේන්ද්‍රය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා ගලා බසින කුකුළේ ගඟේ අතු ගංගාවක් වන පැලන් ගඟ මගින් අත්වැල්තොට දිය ඇල්ල හටගනී. නමුත් මෙම ව්‍යාපෘතිය සඳහා සිදුකර ඇති මූලික පරිසර විමසුමේ මෙම ජල විදුලි බලාගාරය ඉදිකරනු ලබන්නේ දිය ඇල්ලක් අවහිර කරමින් බව හෙළි කිරීම ව්‍යාපෘති කරුවන් විසින් සිතා මතාම මගහැර ඇති බවට චෝදනා එල්ලවේ. එසේම එය ප්‍රදේශයේ අහිංසක දුප්පත් ගම්වැසියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉවහල්වන සංචාරක ගමනාන්තයක් බවද සඟවා ඇත. ඒ කෙසේ වෙතත් කිලෝමීටර් 30 – 40 දුර ගෙවමින් මෙම ස්ථානය රස විඳින්නට සංචාරකයන් පැමිණෙන අතර මෙම දිය ඇල්ල ග්‍රාමීය ප්‍රජාවගේ එදිනෙදා ජල පහසුව සපයන ඔවුන්ගේ ජීවිතයේ මූලික අංගයක් බවට පත්වී ඇති බවද අප කල විමසීමකදී පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පැවසීය. තමන් උපන් මොරපිටිය ගම්මානය පිහිටා ඇත්තේ ද මෙම දිය ඇල්ලේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරකින් වන අතර කිසිවකු විසින් මෙම සොබාදහමේ අපූර්ව නිර්මාණය වනසා දැමීම කිසිසේත්ම අනුමත කල නොහැකි බව ඔහු වැඩි දුරටත් පැවසීය.

පැලන් ගඟ දිගේ ගලා එන ජලය මෙම දිය ඇල්ලට ඉහලින් පිහිටි ස්වභාවික ජල තඩාගයට එක්රැස්වී පසුව පහලට වැටී අඩි දොළහක් පමණ උස දිය ඇල්ලක නිර්මාණය කරන අතර සොබාදහම මගින් නිර්මාණය කල ගැඹුරු ගල් කුහරයක මෙම ජල කඳ සැඟවී යාම අත්වැල්තොට දිය ඇල්ලේ ඇති සුවිශේෂීතත්වයකි. තාක්ෂණික අර්ථදැක්වීමට අනුව දියඇල්ලක උස මීටර් තුනක් ඉක්මවිය යුතු බැවින් මෙම අත්වැල්තොට දියඇල්ල, දියඇල්ලක් නොවන බව කෙනෙකු ප්‍රකශ කල හැකි නමුත් ප්‍රදේශයේ ජනතාවට මෙය සදා තම පැන් පහසුව සලසන අත්වැල්තොට දියඇල්ල ම ය. අත්වැල්තොට දිය ඇල්ල වටා ගෙතී ඇති පුරාවෘත්ත බොහොමයක් ඇති අතර ඉන් එකකින් කියවෙන්නේ 16 වැනි සියවසේදී පාලින්දනුවර රජකම් කල වීදිය බණ්ඩාර කුමරු මෙම ස්ථානයේ ස්වර්ණාභරණ හා මැණික් සඟවා ඇති බවයි. මෙම ස්ථානය ප්‍රදේශයේ ග්‍රාමීය ජනතාවගේ ස්නානය හා ජල පහසුව සැපයීමය සඳහා ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටුකරන බව ඉහතද සඳහන් කල අතර විශේෂයෙන්ම වියලි කාලයේදී මේ වෙත පැන් පහසුව සඳහා විශාල ජනතාවක් රැස්වෙන බව ප්‍රකට කරුණකි. නමුත් එසේ තිබියදී පාලින්දනුවර ප්‍රාදේශීය සභාව විසින් මෙම ව්‍යාපෘතියට අවසර ලබා දී ඇත්තේ මෙම ස්ථානය ස්නානය සඳහා අනාරක්ෂිතව හුවාදක්වමිනි.

මේ පිළිබඳව අදහස් දක්වමින් පාලින්දනුවර පරිසර සංරක්ෂණ සංගමයේ ජනක විතානගේ ප්‍රකාශකලේ මෙය ඉතා පැහැදිලි ලෙසම සංවර්ධන ව්‍යාපෘති වලදී කොතෙක් දුරට අප අපේ සොබා සෞන්දර්යාත්මක දර්ශනයන්ගේ වටිනාකම අගයකරනවාද යන්න වටහා ගැනීමට මග පාදන අවස්ථාවක් බව ය.
පරිසරවේදීන් පවසන්නේ තමන් මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලිඛිතව දැනුම්වත් කර ඇති අතර පරිසර විෂය භාර අමාත්‍යවරයාද වශයෙන් ඔහු අගතියට පත් ග්‍රාමීය ප්‍රජාවගේ හා තමන්ගේ හඬට කන් දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවය.

කුඩා ජල විදුලි බලාගාරකරුවන්ගෙන් අපේ ඇළ දොළ ගංගා ආරක්ෂා කරගන්නට අදාල බලධාරීන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කලයුතු බවට පරිසරවේදීන් විසින් යෝජනා කරනු ලබන්නේ බොහෝ කලක සිටය. මෙවැනි අක්‍රමවත් කුඩා ජලවිදුලි බලාගාර නිසා විශේෂයෙන්ම තෙත්කලාපීය පරිසර පද්ධතීන්ට එල්ලවන අහිතකර බලපෑම නිසා මෙන්ම ආශ්‍රිත ප්‍රජාවට එල්ලවන අවහිරතාද සලකූ විට ඒවායින් ජාතික විදුලිබල පද්ධතියට විදුලිය සැපයුනද ලැබෙන යහපත් ප්‍රතිපලයක් නොමැති තරම්ය. බොහෝ විට සිදුවන්නේ කොම්පනිකරුවන් පරිසරය වනසා අසරණ ගැමියන්ද පීඩාවට පත්කර තම මඩිය තර කර ගැනීමය. එමගින් ආශ්‍රිත ප්‍රජාවට සිදුවන බලවත් අසාධාරණය පිළිබඳව කතාකරන්නට සොයාබලන්නට කිසිවකුත් නැත. මෙවැනි පසුබිමක අත්වැල්තොට දියඇල්ලේ මග අහුරන්නටද මධ්‍යම පරිසර අධිකාරිය මගින් අවසර ලබා දීමෙන් පෙනී යන්නේ පාරිසරික ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය තව දුරටත් මහා පොළොවේ යථාර්තයක් බවට පත්වී නොමැති බව නොවේද.

සුපුන් ළහිරු ප්‍රකාශ්

DSC04394

DSC04391

DSC04397