සිංහල, Colombo, Democracy, Election, Featured Articles, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – මහා මැතිවරණයට පසු වදනක්

සුනන්ද දේශප්‍රිය
ශ්‍රී ලංකාවේ මැතිවරණ න්ීති කළ එළියේම කෙළසීමෙන් වාර්තා තැබූවා වූද එනිසාම නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තමන්ට හැකියාවක් නැතැයි මැතිවරණ කොමසාරිස්වරයා විසින් පවා පිළිගත්තා වූ ද 2010 අප්‍රේල් මහා මැතිවරණය දැන් ඇත්තේ අපට පිටු පසිනි. මෙම මැතිවරණය මගින් පශ්චාත් යුද්ධ කාල පරිච්ඡේදය පශ්චාත් මැතිවරණ කාල පරිච්ඡේදයක් බවට පත් කරයි. දැන් තව වසර පහක් යන තුරු මහා මැතිවරණ හෝ ජනාධිපතිවරණ නැත.

බලයට පත් වන්නේ කවරකු ද යන්න නොසළකා එළඹෙන පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනය අභියෝග තුනකට මුහුණ දෙයි. ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සැපයීම සහ යුද්ධ කාලයෙහි සිදුවූ මානුෂීය විපත් සම්බන්ධයෙන් වගවීමේ පාර දෘශ්‍ය ක්‍රියාවළියක් ඇති කිරීම, රටෙහි නීතියේ පාලනය සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් (නිදහස් සහ සාධාරණ මැතිවරණ අයිතිය ද ඇතුළුව) තහවුරු කිරීම සහ බස්නාහිරට සීමා නොවන ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම යනු ඒවා ය.

මා මේ සටහන ලියන්නේ 2010 මහා මැතිවරණයට දින දෙකක් තිබිය දී එහි ප්‍රතිපල නොදැන ය. එමෙන් ම මෙම මැතිවරණයෙහි ඡන්දදායකගේ මනෝභාවයන් යම් තරමකට හෝ තේරුම් ගැනීමට අවකාශයක් ද නැතිවය.

2010 අප්‍රේල් මහා මැතිවරණයෙන් පාලක පොදු පෙරමුණ යළි ජයග්‍රහණය කරනු ඇති බවට සැකයක් නැත. එනමුත් මෙම ජයග්‍රහණය එකතු වනු ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා ජනාධිපති රාජපක්ෂ එකතු කර ගනිමින් සිටින දේශපාලන කුසලාන අතරට ය. එනයින් මහා මැතිවරණයේ එක් ප්‍රතිපලයක් වනු ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ රාජපක්ෂ බලය තහවුරුවීම යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක බලකඳවුර වූ ගම්පහ දිස්ත්‍රික්කය ද මෙම මැතිවරණයෙන් රාජපක්ෂවරුන්ගේ දේශපාලන බූදලයට අයිතිවීම එම බලයේ සංකේතය වනු ඇත. සම්ප්‍රදායික ශ්‍රීලනිප නායකත්වය වෙනුවට රාජපක්ෂවරුන් හැරුණ විට, පිට කුරුල්ලන් සහ පැරිෂූට්කාරයින් ලෙස හැදින්වෙන රාජපක්ෂවාදී ජොනීලාද වීරවංශලාද රණවකලාද යනාදී වශයෙන් වන නව ප්‍රභේදයක් මෙම මැතිවරණයෙන් ඉදිරියට එනවා ඇත. පරිණාමවාදයේ පියා වන චාල්ස් ඩාවින් කියා සිටියේ ජිව විද්‍යාත්මක නව ප්‍රභේද බිහිවීම පරිණාමයේ ඉදිරි පියවරක් බව ය. එනමුත් මෙම පිටකුරුල්ලන්ගේ නව ප්‍රභේදය ශ්‍රීලනිපය තුළට ගෙන එනු ඇත්තේ ප්‍රගතියක් නොවේ. මන්ද යත් මෙම ප්‍රභේදයේ බොහෝ දෙනා ඇලුම් කරන්නේ බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට නොව මහජාතිකවාදී මතවාදය පදනම් කරගත් පුද්ගලාභිවාදන අත්තනෝමතික දේශපාලනයකට නිසා ය. ශ්‍රීලනිපය තුළ පදනමක් නැති මෙම පිරිස් සතු එකම පදනම රාජපක්ෂවාදය යි.

රාජපක්ෂවාදී දේශපාලන කෝණයෙන් බැලූ විට මෙම මැතිවරණයේ වැදගත්කම රඳා පැවැතියේ නව පාර්ලිමේන්තුවෙහි තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීම මත ය. වත්මන් මැතිවරණ ක්‍රමය යටතේ ඉතාම ජනප්‍රිය ආණ්ඩුවකට වුව ද තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබා ගැනීම ඉතා දුෂ්කර ය. යුද්ධ කාලීන රාජපක්ෂ ආණ්ඩුවේ දෘඩ සහායකයකු වූ ද ජිනීවාහි හිටපු ශ්‍රී ලංකා තානාපති වූ ද දයාන් ජයතිලක මෑත දිනෙක ලියා පළ කල ලිපියක වු මුලික අදහස වුයේ මෙම මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකාවට ලැබිය හැකි වඩාම හොඳ ප්‍රතිපලය වනු ඇත්තේ රාජපක්ෂ පාලනය ජයග්‍රහණය කරන අතර එයට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් නොලැබීම යාම බව ය. එවැනි තත්ත්වයක් යටතේ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සංධානය එනම් ටීඑන්ඒ සමඟ එක්ව දේශපාලන ප්‍රතිසංස්කරනයන් කරා ගමන් කිරීමට රාජපක්ෂ පාලනයට සිදුවනු ඇතැයි ජයතිලක එම ලිපියේ ලා උපකල්පනය කරයි. එමෙන්ම ඔහු කියා සිටින්නේ අන්ත ජාතිකවාදී සිංහල බලවේග හුදකලා කිරීමට ඒ විසින් අවස්ථාවක් සළසනු ඇති බව යි.

ඔහු මෙසේ කිය යි:“අප රටෙහි ඇතිවු ඉතාම අධිපතිවාදී පාලනයන් අප දුටුවේ තුනෙන් දෙකේ බහුතරයක් භුක්ති විඳි ආණ්ඩුවලිනි. අපට ලැබුූණු ව්‍යවස්ථා තුන අතරින් 1972 දී සහ 1978 දී (තුනෙන් දෙකේ බලයෙන්) සම්මත කරන ලද ව්‍යවස්ථාවන් දෙකටම වඩා නිදහස ලැබූ අවස්ථාවේදි ලද සොල්ස්බරි ව්‍යවස්ථාව ඥාණාන්විතය. ප්‍රායෝගික ය”

ජයතිලකගේ ලිපිය උතුරු නැගෙනහිර දෙමළ ජනයා අතර දෙමළ ජාතික සංධානය ලබා ගනු ඇති මූලිකත්වය ව්‍යංගයෙන් පිළිගනී. උතුරු නැගෙනහිර දෙමළ ප්‍රදේශයන්හි ප්‍රධාන දේශපාලන බලවේගය ලෙස මෙම මැතිවරණය විසින් යළි දෙමළ ජාතික සංධානය තහවුරුවීම ද අපට දකින්ට ලැබෙනවා ඇත. මුස්ලිම් දේශපාලනය තුළ ද රවුප් හකීම් නායකත්වය දෙන මුස්ලිම් ක්‍රොන්ග්‍රසය තහවුරු වීමට ද බොහෝ දුරට ම ඉඩ තිබේ. මෙම වර්ධනයන් දෙක ශ්‍රී ලංකාවේ දේශපාලනයට තීරණාත්මක වැදගත්කමකින් යුතු ය. මන්ද යත් ඉදිරි කාලය තුළ එම බලවේග සමඟ සන්ධානයකට නොයා සාර්ථක දේශපාලන විසඳුමක් ඇති කළ නොහැකි නිසා ය.

එසේ නමුත් මහා මැතිවරණ වේදිකාව තුළ රාජපක්ෂ දැක්ම වූයේ සහජිවී දේශපාලන දැක්මක් නොවේ. පෙඩරල්වාදය ගැන කතා කරන දෙමළ ජාතික සංධානය තහනම් කරන බව ගෝඨාභය රාජපක්ෂ කී බව ඉන්ඩියන් එක්ස්ප්‍රෙස් පුවත්පත වාර්තා කළේ ය. බලය බෙදීමක් අවශ්‍ය නැති බවට ප්‍රබල ඇමැතිවරයකු වන රණවක ප්‍රකාශ කළේ ය. 13වන සංසෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොකරන බව ජනාධිපතිවරයා අවධාරනය කළේ ය.

එසේ නමුත් ඉන්දියානු පාලන තන්ත්‍රයේ හිතවතකු සහ උතුරු නැගෙනහිර හිටපු මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් සිය පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට සහභාගි වෙමින් කියා සිටියේ 13වන සංසෝධනය ආරම්භයක් පමණක් බවත් පෙඩරල් ක්‍රමයක් වඩා උචිත බවත් ය. එමෙන්ම දෙමළ දේශපාලන පක්ෂ එක්සත් වුවහොත් දේශපාලන විසදුමක් ලබා ගැනීම සඳහා ඉන්දියාවේ උදව් ලැබෙනු ඇති බවත් ය. එමෙන්ම නැගෙනහිර මහ ඇමැති පිල්ලෙයාන් ට මැතිවරණය අවසන් වු වහාම ඉන්දියවට පැමිණෙන ලෙස දැනටමත් නිල ආරාධනයක් තිබේ. මහා මැතිවරණයෙන් පසු රාජපක්ෂ පාලනය මුහුණ දෙනු ඇති හදිසි ප්‍රධාන ප්‍රශ්නය වනු ඇත්තේ දෙමළ දේශපාලන පක්ෂ විසින් ඉදිරියට ගෙන එනු ඇති උතුරු නැගෙනහිර ප්‍රශ්නය යි.

දේශපාලන විසදුමක් ඇති කිරීම, ප්‍රජාතන්ත්‍රීයකරණය සහ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය සම්මුතිය, බලය සහ ස්ථාවරබව ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති හොඳම තෝරා ගැනීම විය හැකිය. දයාන් ජයතිලක විසින් දකින සහජිවී සහ එකඟතා දේශපාලනයක් කරා යනු වෙනුවට රාජපක්ෂ පාලනය මර්ධනකාරී මාවතක් ගනු ඇති බවට දිර්ඝ කාලයක් මහින්ද රාජපක්ෂගේ දේශපාලන හිතවතකු සහ නොනිල උපදේශකයකු වූ කුසල් පෙරේරා තර්ක කරයි. රාජපක්ෂ පාලනය බුරුමයේ හමුදා පාලක තාන් ෂේගේ පාලනයට වඩා සමානයැයි තර්ක කරමින් ඔහූ පසුගිය සතියේ දී මෙසේ ලීවේ ය:

‛‛රාජපක්ෂ පාලනය කැමැත්තක් දක්වන්නේ කවර ලක්ෂණ සහිත පාර්ලිමේන්තුවකට ද යන්න තරඟයට ඉදිරිපත් කරන ලද පුද්ගලයින්ගේ හැටියෙන් පෙනීයයි. සැක කටයුතු මත්කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන්ද, පතාල මැරවර කල්ලි නායකයින් ද, දූෂණයට නම් දැරූ දේශපාලන හෙංචයියන් සහ කල් ඉකුත් වු නළු නිළියන්ද දේශප්‍රේමී සහ දානපති සළු පොරවා අපේක්ෂක ලැයිස්තුවලට ඇතුල් කර තිබේ”.

“මීළග පාර්ලිමේන්තුවට 13වන සංසෝධනය හෝ 17වන සංසෝධනය ගැන හෝ සිතීමටවත් සංවර්ධන පිළිවෙත් වාද විවාද කරමින් කල් මැරීමටවත් අවශ්‍ය නොවනු ඇත. ඔවුන් තෝරා පත්කරන ලද ජනතාවගේ නාමයෙන් පාලකයන් සොරාකනු බලා සිටිමේ නිදහස ජනතාවට ලැබෙනු ඇති චෞර තන්ත්‍රයක් බවට රාජපක්ෂ පාලනය පත් වනවා ඇත.”

මැතිවරණ ව්‍යාපාරය කෙරී ගිය අන්දම මගින් කවර හෝ නිගමනයකට එළඹීමට අපට හැකි නම් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් නොලැබෙන රාජපක්ෂ පාලනය එම අඩුව පුරවා ගැනීමට උත්සාහ කරනු ඇත්තේ සාකච්ජාව සහ සම්මුතිය මගින් නොව විපක්ෂය දුර්වල කැරෙන මංත්‍රී මිලදී ගැනීමේ හෝ බිය වැද්දවීමේ සුත්තර මගින් බව පෙනෙන්නට තිබේ. දෙමළ ජනවාර්ගික දේශපාලන පක්ෂ සමඟ ද එකගතාවකට වඩා ගැටුමකට යාමට ඇති ඉඩ වැඩි ය. තාවකාලික ජයග්‍රහණයක් ලෙස පෙනී යා හැකි නමුත් එවැනි ක්‍රියාදාමයක් මගින් දුර්වල කරනු ඇත්තේ අපගේ ප්‍රජාතන්ත්‍රවාදී රටාව පමණක් නොවේ. රාජපක්ෂ පාලනය ද එමගින් යටින් දුබල කැරෙනවා ඇත.

අප රටක් වශයෙන් ඉදිරියට යාමට නම් උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ දේශපාලන අභිමතාර්ථයන් කෙරෙහි යථාර්තවාදී දැක්මක් ඇති කර ගත යුතු ය. මර්ධනය නොව ප්‍රජාතන්ත්‍රවාදී එළඹුමක් අවශ්‍ය ය. ඒ සඳහා රාජපක්ෂ පාලනය සුසුමාදර්ශී වෙනසකට ගමන් කල යුතු ය. අභියෝගය එය යි.