Image Credit: adaderana.lk

අවුරුදු 25 කටත් වැඩි කාලයකින් පසු ඉන්දියානු අගමැතිවරයෙකුගේ ද්වි-පාර්ශ්වීය ලංකා සංචාරයක් වශයෙන් සැළකිය හැකි නරේන්ද්‍ර මෝදි ශ‍්‍රී ලංකාවට පැමිණීම ඉතා වැදගත් අවස්ථාවකි. එම ගමන තුළ ඉන්දියානු අගමැතිවරයා යාපනයේ සංචාරය කිරීමට නියමිතව තිබීමත් ඓතිහාසිකයි. ‘ග්ලොබල් ටැමිල් ෆෝරම්’ සංවිධානය මේ නවතම දිසානතීන් සාදරයෙන් පිළිගනී.

ඉන්දියාවේත්, ලංකාවේත් මෑතකදී සිදුවූ වෙනස්කම් මේ කලාපයේ භූ-දේශපාලනික ගතිකයන් බරපතල වෙනසකට ලක්කොට තිබේ. ඒ අතර, මේ වෙනස්කම් නිසා, දෙමළ ජාතික ගැටළුව සාර්ථකව නිරාකරණය කර ගැනීමේ අවස්ථාවන්ද නිර්මාණය වී තිබේ. එය සාර්ථක වෙතොත්, ඉන්දු-ලංකා ආර්ථික සහ දේශපාලනික සම්බන්ධතා නව යුගයකට සම්ප‍්‍රාප්ත වනු ඇත. ඒ අනුව බලන විට, මෙවැනි තීරණාත්මක මොහොතක ඉන්දීය අගමැති මෝදිගේ ලංකා සංචාරය, මහා වෙනසක් ඇති කිරීමේ ශක්‍යතාවෙන් අනූනයි.

දෙමළ ජනතාවගේ ගෞරවය, සමානාත්මතාව සහ සුභසිද්ධිය කෙරෙහි ඉන්දියාව දක්වන බලවත් කැපවීම, ශ‍්‍රී ලංකාවේ සහ ඩයස්පෝරාවේ වෙසෙන සියලූ දමිළයන්ට සැපයෙන යෝධ ශක්තියක උල්පතක් වන්නේය. අවතැන්ව සිටින දෙමළ ජනයා නැවත පදිංචි කැරැවීම ඉලක්ක කොට ඉන්දියානු රජයේ සහයෝගයෙන් උතුරේ ගොඩනැගෙන නිවාස 50,000 ක් හරහා මූර්තිමත් කෙරෙන ඉන්දීය ක‍්‍රියාකාරී සහභාගීත්වය ගැන අපි ඉන්දියාව කෙරෙහි කෘතඥතා පූර්වක වෙමු. දේශපාලන විසඳුමක් සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව රඟපාන භූමිකාව ද, ‘ග්ලෝබල් ටැමිල් ෆෝරම්’ හි නොමද ප‍්‍රශංසාවට ලක්වෙයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන යටතේ ලංකාවේ නවතමයෙන් බලයට පත්ව සිටින සන්ධාන ආණ්ඩුව සුවිශේෂී එකකි. සියලූ ජන ප‍්‍රජාවන් නියෝජනය කරන සියලූ ප‍්‍රධාන දේශපාලන පක්ෂවල සහයෝගය ඊට හිමිව තිබේ. එම ආණ්ඩුව මේ අවස්ථාවේ සිටින්නේ, සුවිශිෂ්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනයකට උරදෙමිනි. අප අදහස් කරන පරිදි, ලංකාවේ දෙමළ ජාතික ප‍්‍රශ්නයට තිරසාර විසඳුමක් ඇති කර ගැනීමට, මෙතරම් අගනා වෙනත් මොහොතක් තිබිය නොහැක. එසේම, එය යථාර්ථයක් කර ගැනීම උදෙසා තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කිරීමට ඉන්දියාව තරම් සමත් විය හැකි තවත් රටක් ඇත්තේද නැත. කෙසේ වෙතත්, කාලය ඉතා වටනේය. මානුෂීය වේවා, දේශපාලනික වේවා, දෙමළ ප‍්‍රශ්න කෙරෙහි නියුක්ත වීම පමාවෙන තරමට පාර කැපෙන්නේ, දැඩි මතධාරී ආකල්ප සෑම අංශයකින්ම ශක්තිමත් වීමටයි. එය, අර්ථවත් ප‍්‍රගතියක් අනාගතයේ ඇති කර ගැනීම තවත් දුෂ්කර කරවනු ඇත.

එම සන්දර්භය තුළ, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව අර්ථවත් පියවර කිහිපයක් වහා ගැනීම අත්‍යාවශ්‍ය වන්නේය. ඒ අතර, උතුරු සහ නැගෙනහිර පළාත්වල පවතින අධිකතර හමුදා මැදිහත්වීම අඩු කිරීම, එම පෙදෙස්වල වෙසෙන ජනතාවගෙන් පැහැර ගන්නා ලද ඉඩකඩම් ආපසු නිසි අයිතිකරුවන්ට ලබාදීම සහ අධිකරණයක් ඉදිරියේ කිසි දවසක චෝදනාවක් ගොනු නොකොට අවුරුදු ගණන් හිරභාරයේ තබාගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ප‍්‍රමුඛස්ථානයක් ගනී. ඒ අතරේම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ වෙනත් ජාත්‍යන්තර සංවිධාන සමග ක‍්‍රියාකාරී සහයෝගයෙන් යුතුව, යුද අපරාධ, වගවීම සහ සංහිඳියාව පිළිබඳ ප‍්‍රශ්න කෙරෙහි යොමුවන ගමන්, ඡන්දයෙන් තේරී පත්ව සිටින දෙමළ නියෝජිතයන් සමග සාකච්ඡා මාර්ගයෙන් ඇති කරගන්නා දේශපාලනික විසඳුමක් පිළිබඳ සැලසුම් පිටපතක් ප‍්‍රකාශයට පත්කිරීමත් වැදගත් වන්නේය. එසේම, යුද්ධයෙන් පීඩාවට පත්ව සිටින උතුරු නැගෙනහිර ජනතාවගේ සහ උඩරට දෙමළ ජනතාවගේ මානුෂික, සමාජ සහ ආර්ථික අවශ්‍යතා කෙරෙහි, විධිමත් ආකාරයකින් සහ කාර්යක්ෂම ආකාරයකින් නිමග්න වීමත් අත්‍යාවශ්‍ය වන්නේය.

ඉහත දක්වන ලද ප‍්‍රශ්න කෙරෙහි නියුක්ත වන ලෙස ශ‍්‍රී ලංකා ආණ්ඩුව කෙරෙහි බලපෑම් කරන්නැයි ඉන්දීය අගමැති මෝඩිගෙන් අපි නිහතමානීව ඉල්ලා සිටිමු. මන්ද යත්, ඒ හරහා සාධනීය වටපිටාවක් ගොඩනැගීමටත්, ශ‍්‍රී ලංකාවේ මෙන්ම ඩයස්පෝරාවේ වෙසෙන දෙමළ ජනතාව තුළ විශ්වාසය ගොඩනැගීමටත් හැකි වන බැවිනි. මේ සියල්ල යථාර්ථයක් කර ගැනීම සඳහා, ශ‍්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ආණ්ඩුව ඇතුළු සියලූ පාර්ශ්වකරුවන් සමග සහයෝගයෙන් යුතුව, හිතකර කාර්ය භාරයකට උරදීමට ‘ග්ලෝබල් ටැමිල් ෆෝරම්’ මුළුමණින් කැප වන බව මෙයින් දන්වා සිටිනු කැමැත්තෙමු.

*2015 මාර්තු 12 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ, ‘ග්ලොබල් ටැමිල් ෆෝරම්’ සංවිධානය නිකුත් කළ Sirisena has All Party Support: Modi Should Build Confidence Among Tamils නැමැති ප‍්‍රකාශනයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි