වරෙක කෙදිරියක් ලෙසත්, වරෙක ආඩපාලී කීමක් ලෙසත්, වරෙක සමච්චලයක් ලෙසත්, වරෙක චෝදනාවක් ලෙසත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හඬ වරින් වර ජනමාධ්‍ය තුලින් අසන්නට සහ දකින්නට ලැබේ. ඔහුගේ සෑම ප්‍රකාශයකම ඇති හඬ කුමක් වුවත් එයින් ගම්‍ය වන්නේ චෝදනාවක් ලෙසින් මතුකරන තමන් අත වරදක් නැතුව අන්අයගේ කුමන්ත්‍රණයක් තුලින් තමන්ව බලයෙන් පහකරනු ලැබූ බවයි. ජනාධිපතිවරණය පරාජයෙන් පසු ඔහු මුලින්ම ජනේලයක එල්ලී කියා සිටින්නේ තමන් පැරදුනේ නැති බවකි. ඒ ඔහු අංක ගණිතය නොදන්නා නිසාවෙන් නොව ඔහු දෙමළ සහ මුස්ලිම් ජනයා ලාංකීය ඡන්දදායකයින් ලෙස නොපිලිගැනීමේ හේතුව නිසාවෙනි. ඒ වාගේම ඔහුට අනුව ඔහුට ඡන්දය දුන් අය හැරුණු කොට මෛත්‍රීට ඡන්දය දුන් අය ජාතිය පාවාදෙන දේශද්‍රෝහීන් ඝනයට අයත්වන අයය.

ඔහු ඉන් පසු ටික දිනකට අඩියක් පිටු පස්සට ගනු ලබන්නේ තමාගේ සුවච කීකරු සගයින් කණ්ඩායමට තමන් වෙනුවෙන් ක්‍රියාත්මක වීම භාර දෙමිනි. රාජපක්ෂලා සමග එකට එක්වී රට කාබාසිනියා කළ මේ රොත්තට පැවැත්ම ඇත්තේ රාජපක්ෂ බලයේ සිටීනම් පමනි. එනිසා ඔවුන් මහින්දට රට භාරදෙමු යන හඬ නැවත ප්‍රචලිත කිරීම අරඹන්නේය.

දැන් අලුත්ම තත්වය අනුව මහින්ද රාජපක්ෂ බලයෙන් ඉවත්කිරීම සිදුවී ඇත්තේ ඉන්දීය රෝ ඔත්තු සේවාව, ඇමරිකන් CIA රහස් ඔත්තු සේවාව සහ බ්‍රිතාන්‍ය MI5 ඔත්තු සේවාව කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසයි. දීර්ඝ කාලීන සැලැස්මක් මත ක්‍රියාත්මක වූ මේ කුමන්ත්‍රණය විසින් ඔහුව බලයෙන් පහ කරනු ලැබූ බව පවසයි. ඔහුගේ චීන මිත්‍ර දේශපාලනය නිසාවෙන් එයට එරෙහිව ඇති වී ඇති ප්‍රතික්‍රියාවක් ලෙසද එය හඳුන්වයි. ඇත්තවශයෙන්ම තමන්ගේ පරාදයට තම වැරදි දේශපාලනය හේතුවන බව ඔහු මෙතුලින් ප්‍රතික්ෂේප කරනු ලබයි. පරාද වීමට හේතුව තමාගේ දේශපාලනය තුල සොයනවා වෙනුවට එම පරාදයට හේතුව ලෙස ඔහු පිටස්තරයෙකු දෙසට ඇඟිල්ල දික් කරනු ලබයි. ඔහු සැබෑ දේශපාලඥයෙකු නම් කළ යුතු වන්නේ තම පරාදයට හේතුවූ දේශපාලනය සමාලෝචනය කර එහි වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීමට ක්‍රියාත්මක වීම වේ. නමුත් ඒ වෙනුවට ඔහු කරනුයේ වරද පිටස්තරයන් මත පැටවීමයි.

ආත්ම ශක්තියක් නැති බෙලහීනයන් සෑම විටම තම වරද දැකීමට බියවන අතර සෑම විටම තම අසාර්ථක බවට හේතුව පිටස්තරයෙකු ළඟ සොයනු ලබයි. මහින්ද රාජපක්ෂ සැබෑ නායකයෙකු නම් කරනු ලැබිය යුත්තේ තම වැරදි හඳුනාගෙන ඒවා නිවැරදිකර ගැනීමට දේශපාලන වශයෙන් මග පාදා ගැනීමයි. නමුත් වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ඔහුගේ ප්‍රකාශයන් තුලින් පෙන්නුම් කරන්නේ ඔහුගේ ඇති බෙලහීන බවයි. එක මොහොතකට හෝ තම වරද දැකීමට ආත්ම ශක්තියක් නැති මිනිසෙකු බව ඔහු දිගින් දිගටම කරන ප්‍රකාශයන් තුලින් සනාථ කරනු ලැබේ.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලකයෙකු නම් තමන්ගේ ජය පරාජය පවතින්නේ රටේ ජනයාගේ කැමැත්ත අකමැත්ත මතය යන විශ්වාසය පෙරදැරිකර ගත යුතුය. ඒ විශ්වාසය ඇති විට තමන් කරන කියන දේශපාලන කාර්යකදී ඔහුට හෝ ඇයට තම ක්‍රියාවෙන් ජනයාට සිදුවන යහපත සහ අයහපත ගැන දෙවරක් සිතීමට සිදුවේ. එවිට ඔවුන් ජනයාට අයහපතක් වන යමක් කිරීමට අඩුම තරමින් මැලි බවක්වත් දක්වනු ලබති.

නමුත් තමන්ගේ ජය පරාජය පවතින්නේ බාහිර බලවේගයක් මතය (මිත්‍යා). එසේ නැත්නම් බලය සහ ශක්තිය (ආයුධ) මතය. මේ සිතිවිල්ල හෝ තමන්ගේ පරම්පරා බලය නිසාවෙන් (රදල) යන සිතිවිල්ලට පැමිණි විට ඔහුට හෝ ඇයට ජනතාව පිළිබඳ සිතීමට හේතුවක් නොමැත. තමන් කරන කියන දෙය ගැන සිතා බැලීමට හේතුවක් නොමැත. තම කැමැත්ත සහ සුභ සිද්ධිය මුල්කරගෙන ඔවුන් සියළු කාර්යන්හි යෙදීමට පෙළඹෙනු ඇත. එවැනි සිතිවිලිවල පසුවන පුද්ගලයිනට ජනතාව යනු සැලකියයුතු සාධකයක් ලෙස නොපෙනේ.

මහින්ද රාජපක්ෂගේ දේශපාලන ක්‍රියාදාමය දෙස බැලූවටි පෙනෙන්නේ ඔහු කිසි දිනෙක ජනතාව මත විශ්වාසය තැබූ නායකයෙකු නොවන බවයි. රත්තරන් සුර ඉන වටා කර වටා බැඳගෙන ඒවාගේම රත්තරන් ගුලි මිරිකමින් තමන්ගේ ජය සහ ආරක්ෂාව සිදුවන්නේ ඒවා මත යැයි සිතූ ඔහු නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ඉදිරිපිට කතා කරද්දී පවා රන් ගුලිය මිරිකමින්ම තමන් තුල නැති ආත්ම ශක්තිය එතුලින් වඩවා ගැනීමට තැනීය. තම සියළුම ගමන් බිමන් පමණක් නොව රාජකාරී කටයුතු නක්ෂත්‍රයේ සුභ මොහොතට අනුව කිරීමට වගබලා ගනු ලැබීය. ජනාධිපතිවරණය අභිමුව ලංකාවේ කෝවිල් ඉදිරිපිට පමණක් නොව ඉන්දියාවේ කෝවිල් ඉදිරිපිට පවා වැඳ වැටෙමින් වෙනත් අත්භූත බලවේගයක් තමනට ජය සහතික කරන බවට අන්ද විශ්වාසයක ඔහු ගිලී සිටිනු ලැබීය. ඒ ඔහු කිසි දිනෙක ජනතාව මත විශ්වාසය නොතැබූ නිසාවෙනි. එනිසාම ඔහුගේ මුළු ක්‍රියාදාමයම සිදුවූයේ තමන්ගේ දේශපාලන ක්‍රියාදාමයන් මත විශ්වාසයක් තබමින් නොව අත්භූත බලයක විශ්වාසය තබාගෙනය. අවසානයේ එම අන්ධ භක්තිය නිසාම ජනාධිපතිවරණයක් සිදුවිය යුතු කාලයට වඩා වසර 2 කට ප්‍රථම ජනාධිපතිවරණය පවත්වනු ලැබීය. (මහින්දට අනුව වසර 2 කට ප්‍රථම ජනාධිපතිවරණයක් කැඳවනු ලැබ ඇත්තේ විදේශ රහස් ඔත්තු සේවාවන් 3 ක් වන රෝ, CIA, MI5 විසිනි.) එයම ඔහුගේ පරාදයට මෙහිදී හේතුවුනි. ජනතාව වෙනුවෙන් කරන දේශපාලනයක් තුල තම ජය සහතික කරවනු වෙනුවට අත්භූත බලයක් තමන්ට ජය සහතික කරනු ඇත යන අන්ධ විශ්වාසය ඔහුගේ පරාජයට මූලික හේතුව බව ඔහුට අදවන විටත් වැටහී ඇති බවක් නොපෙනේ.

ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවට තමන්ගේ පවුල සහ තම කල්ලියේ බලය අපයෝජනයේ මජර දේශපාලනයක යෙදීමේ වරද ඔහු මෙම ප්‍රතික්ෂේප වීම තුලින් දැකීමට උත්සාහ නොගනී. ඇත්තෙන්ම ඒ තම වරදක් දැකීමට තරම් ආත්ම ශක්තියකින් තොරවීම නිසාවෙනි.

ඒවාගේම මොහු ජනතාව මත විශ්වාසය නොතැබීමේ හේතුවෙන්ම තමන්ගේ බලය හමුදා සහ මැර බලය යොදා පවත්වා ගැනීම ගැනද විශ්වාස කරනු ලැබීය. ආරක්ෂක ලේකම් රාජපක්ෂ ඒ සඳහා තම බලය නැමැති අයෝමය හස්තය යටතට මුළු රටම ගනු ලැබූ අතර රටේම ජනයා ඔවුන් තම අත්අඩංගුවේ පසුවන තත්වයකට පත්කරවනු ලැබීය. හමුදා, පොලීසි, රාජ්‍ය ආයතන සියල්ලටම ප්‍රධානීන් ලෙස තම සුවච කීකරු අනුගාමිකයන් පත්කර ගනු ලැබූ අතර නිල නොවන මැර කල්ලි සමග මිනීමරු කල්ලි පවත්වා ගනිමින් සමාජය මත භීතියෙහි සෙවණැල්ල පතිත කරවනු ලැබීය. ලසන්තලා, ප්‍රගීත්ලා, ලලිත්ලා සහ කුගන්ලා මෙන් දේශපාලන ස්වාධීන මත දැරූවන් පමණක් නොව රටේ වෙනත් ආර්ථික සහ සමාජ ක්‍රියාදාමයන් තුලද රාජපක්ෂලාගේ ගජ මිතුරු ක්‍රියාවලට එකග නොවූ සියළු දෙනා බලයෙන් නිශ්ක්‍රීය කරවනු ලැබීය. තම බලය කිසි දිනෙක පෙරලිය නොහැකි ලෙස ආයුධ සහ මැර බලය තුලින් ශක්තිමත් කරවනු ලැබුවේ මෙම බලය කිසිවෙකුට සෙලවිය නොහැකි යැයි සිතමිනි. මෙතුලින් ඔවුන් සිදු කරන්නේ රටේ ජනයා ගැන නොසිතා තම කල්ලියේ සුභ සිද්ධිය පමණක් ගැන මුළු රටේම බලය සහ සම්පත් යොදා ගනිමින් ක්‍රියාත්මක වීමයි. ඒවාගේම තමන්ගේ පරම්පරාව රජවරුන් කර වැජබීමේ සිහිනයකින්ද මොවුන් පෙළුණු අතර බලයෙන් කොතරම් උම්මත්තක වී සිටියාද යත් මේ මිත්‍යාව තුල ඔවුන් ස්වයං මෝහනයකට පත්ව සිටිනු ලැබීය. එම ස්වයං මෝහනයෙන් මහින්ද රාජපක්ෂ අද වන විට වත් මිදී ඇති බවක් නොපෙනේ.

මිත්‍යා මතයන්හි එල්බ ගත් මිනිසා තමන්ට නොපෙනෙන බලවේගයක් විසින් තම ජීවිත මෙහෙයවීම ගැන ඒවාගේ සාර්ථක අසාර්ථභාවය හසුරවීම ගැන පවතින විශ්වාසය මහින්දලාට පමණක් නොව ලංකාවේ බොහෝ පසුගාමී මිනිසුන් තුල ඇති සිතීමකි. බොහෝ මිනිසුන් ඒවායේ එල්බ ගැනීම නිසාම යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් සහ තොවිල් පවිල් වලින් තම ජීවිත සරු කර ගැනීමට උත්සාහ කරනු අප සමාජය තුල තාමත් දකින්නට තිබේ. නමුත් රටක දේශපාලන බලය හිමි පාලකයින් මෙසේ මිත්‍යාවන්වල ගිලී සිටීම රටක විනාශයට මුල පාදයි.

නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී රටේ ජනයාගෙන් වැඩි ප්‍රමාණයක් මේ මිත්‍යාවන් සහ ඒවායේ බැඳී ක්‍රියාත්මක වන දූෂිත පාලකයන් පිටු දැක ඔවුනට එරෙහිව තම කැමැත්ත පාවිච්චි කරමින් අලුත් තත්වයක් උදා කර ගැනීමට මග සලසා තිබේ. රාජපක්ෂලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට වැඩවසම් පසුගාමී බව ආදේශ කර සමගිය සහ සහජීවනය වෙනුවට ප්‍රචන්ඩත්වය සහ යටපත් කිරීම ආදේශ කර විනිවිධභාවය වෙනුවට දූෂණය ආදේශ කර තිබූ රට නැවත ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයට ගැනීමට ජනතාව තීන්දුවක් දෙනු ලැබීය. රාජපක්ෂලාට මේ ජනතා තීරණය අදහා ගැනීමට නොහැකිව එයින් අන්ද මන්ද වී ඇත. ඒ ඔවුන් කිසි දිනෙක ස්වාධීනව සිතන ජනතාවක් සිහිනෙන් වත් නොදකින බැවිනි. ඔවුන්ගේ මිත්‍යා විශ්වාස සහ තම ආයුධ සහ මැර බලය ගැන තිබෙන විශ්වාසය බිඳ ඇතිවූ ජනයාගේ පිබිදීම ඔවුන්ට අදහා ගැනීමට බැරි තරම්ය. ඒ නිසාම ඔවුන් ඒ තමනට අහිමි කළ බලය නැවත ලබා ගැනීමට මාන බලන්නේද තමන් දන්නා මිත්‍යාවන් තුල ගිලෙමින් ඒවාම ප්‍රචලිත කරමිනි. රටේ මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු විදේශ කුමන්ත්‍රණයක කොටස් කරුවන් ලෙස ඔවුන් දකින්නේ ඒ නිසාවෙනි. අධිරාජ්‍යවාදය, කොටි ත්‍රස්තවාදීන්, ජාතිද්‍රෝහීන්, විදේශ රහස් ඔත්තු සේවාවන් ආදී නොයෙක් අවතාර පෙන්වමින් රාජපක්ෂලා තව දුරටත් උත්සාහ කරන්නේ තමන් අතට නැවත බලය ලබා ගැනීමට මාන බැලීමයි.

නමුත් රාජපක්ෂලාගේ පසුගාමී, දූෂිත ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ ජනයා නැවත කිසිදිනෙක ඔවුනට බලය ලබා දීමක් වෙත ආපසු නොහැරෙනු ඇත. අද පවතින ආණ්ඩුවත් මහින්දලාගේ මාර්ගයේම ගමන් කරන්නේ නම් නුදුරු දිනකම ජනතාව ඔවුනටද මහින්දලාට දුන් තීන්දුවම දීමට පසුබට නොවන බව නොඅනුමානය.

ranjith_hennayakeරංජිත් හේනායකආරච්චි | Ranjith Henayakaarchchi