Image Credit: colombomirror.com

ආරංචියක් එනකොට
උතුරු හිස පලාගෙන පහළට
වාවගත්තේ කොහොම නොඅසමි.
ආරණ්‍යයක් වෙනකොට
ගැටුම් මැද්දෙත් ගෙයි ළය
බාරගත් ඒ කඳුළු අහුලමි.
සියල්ලන් මැකී ගිය මාවතේ නතර වී
හදක් ඇති සඳෙන් පමණක් අසමි.

“සාරණ්‍යා” සාමය සොයා ඉගිලුණිද…
නෑදෑයන්ගෙ තුරුළටම පැන ගියෙද…?

‘සමූහය’ යන වදන ගෙන
ඕන ලෙසකින් ලෙයින් පෙරළන්න
වට්ටන්න – රිද්දන්න – අඹරන්න
සෙබළුන්ට අමුතුවෙන් කිව යුතු ද…
අනෙකාට තලන්නේ කොතැනටද
‘ඉතිහාසෙ’ කියන්නේ එතැනටද …?

නැවුම් අත්ලේ සිහින පතුලතට
සුසුම් සුවඳක් දැනුණු අකුරකට
උතුම් කුසුමක් වෙන්න සිතු මුවට
කලින් පරවී යාම ඉවසම් ද…
අඳුර ගෙනෙනා කරුණු දරුණුම ද
නපුරකට කොයි තරම් ආයුෂ ද…?

මනස කැළඹුණු තරම අණසකට
මොහොතකට නොවේ ‘ජීවිතයකට’
හිඩැස යනු ඉගෙනගත් මතකයට
තලා ගමි – පලා ගමි – හෙළ පපුව.

‘කනකරායන්කුලම්’ දොරටුවෙන් වැටෙන ‘සඳ’
අතින් අල්ලන් එන්න සිසුවියක් නොමැත හෙට
මලණුවන් – මළ නුවන් ගෙදර එක්කන් එන්ට
නෙත් අගින් හෙළු බැලුම් උහුලන්නෙ කොතැනින් ද..?

ඇස් වැසූ රෙදි කඩින් මිදෙන්නට කැමති නම්
මිත්තණිය දෙස බලා හිඳිනු මැන
සිත් නැසූ සෙබළුන්ට ගසන්නට කැමති නම්
අත් වලින් ‘ලියූ පොත’ තබනු මැන…

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය දිනෙකි!
සාරණ්‍යා, මේ රිදුම සංසාරයකි!

10526161_625099914284290_1351076398723688294_n
කසුන් මහේන්ද්‍ර හීනටිගල
| Kasun Mahendra Heenatigala

##
(16 හැවිරිදි ‘සෙල්වරාසා සාරණ්‍යා’ කනකරායන්කුලම් මහා විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවකි. සමූහ අතවරයට ලක්ව මිය ගිය මේ දෙමළ දැරිය ගැන පොලිසිය තව දුරටත් මුනිවත රකිමින් සිටී. පොලිස් නිලධාරීන් තර්ජනාත්මකව සාරණ්‍යාගේ මිත්තණියට පවසා ඇත්තේ, මිනිපිරිය සමූහ අතවරයකට ලක් වී නැති බවත්, ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසත් ය. එහෙත් කිලිනොච්චි මූලික රෝහලේ දී සාරණ්‍යාට ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරයා පොලිස් කොස්තාපල්වරයකු ද ඉදිරිපිට ඇයට පවසා ඇත්තේ, මිය ගිය ශිෂ්‍යාවගේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව සිදුවී ඇති තුවාලවලින් පෙන්නුම් කෙරෙන පරිදි තිදෙනෙකුට නොඅඩු පිරිසක් විසින් ඇය සමූහ අතවරයකට ලක්කොට ඇති බව ය….)