Image Credit: gettyimages

මහින්ද රාජපක්ෂ පසුගිය වකවානුවේ තම ගෝල බාලයින් බැහැ දැකීමට හිර ගෙදරින් හිරගෙදරට යමින් සිටී. ඔහුගේ හොඳම ගෝලයෙකු වූ සරණ ගුණවර්ධන බැලීමට ඔහු මහර හිරගෙදරට ගිය බවත් ඉන්පසුව ඔහු මහින්ද කහදගම බැලීමට වැලිකඩගිය බවත් සඳහන්ව තිබුනි. ඉදිරියේදී මහින්ද රාජපක්ෂට තම ගෝලබාලයින් බැහැදැකීමට දිනකට දිවයින පුරා ඇති බන්ධනාගාර සියල්ලටම යාමට සිදුවේවා යන්න අපේ පැතුමයි. නමත් එය එසේම වේවිය කියා අප නොසිතන්නේ රට විනාශ කළ මහින්දගේ ගෝලබාලයින් එකෙකු දෙදෙනෙකු හැරුණු විට තාමත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු අතම දේශපාලන සහ රාජ්‍ය බලය රැදී පවතින බව පෙනෙන බැවිනි. මෙම හොරුන් සහ අපරාධකරුවන් හිරගෙවලට යවනවා වෙනුවට නොදුරු දිනක මොවුන් නැවතත් පූර්ණ බලය හිමිකරගෙන අපගේ මිතුරන් සහ මෛත්‍රී සිරගෙවල ලෑමට ඉඩ ඇති අතර ඔවුන් බැලීමට අපට සිර ගෙවල් ගානේ යාමට සිදුනොවේවා යන්න අපේ පැතුමයි.

පසුගිය දිනෙක කිරිවෙහෙර වැඳ පුදා ගැනීමට ගොස් සිටින කුරුල්ලන් රංචුවකම පින්තූර සහ විස්තර මාධ්‍ය මගින් පලකර තිබුනි. ඒ වැඳ පුදා ගැනීමට තමන්ගේ කුරුල්ලන් සහභාගි වීම නරක දෙයක් නොවන බවද නිමල් සිරිපාල පවසා තිබුනි. ඒවාගේම මහින්ද රාජපක්ෂ හදිස්සියේ මලගෙදරකට ගියත් පන්සලකට හෝ හිරගෙදරකට ගියත් මේ සියලු තැන්වල ජනතාව දහස් ගණනින් රැස්වන බවක්ද පින්තූර ඇතුවම පලකරන අතර මේ මාධ්‍ය පවසන්නේ මහින්ද බැහැ දැකීමට මේ සෙනග කිසිම පූර්ව දැනුම්දීමක් නැතුව රැස්වූ බවකි. එතුලින් ඔවුන් අපට පවසන්නේ මහින්ද යන තැන ගැන මේ සෙනග දැන ගත්තේ මෙම මහින්ද වාදීන්ට පරචිත්ත විජාණන ඥානය පහලවී තිබෙන බවක් ද?.

නුගේගොඩ, මහනුවර, අනුරපුර පමණක් නොව වෙනත් තැන්වලද හිටපු ජනාධිපතිගේ සහචරයන් එක්වීම ඒ ඒක්වන සෑම අවස්ථාවකම යහපාලනය යන වචනය සමච්චලයට ලක්කිරීම දකින්නට ලැබේ. මහින්ද රාජපක්ෂ තම ගෝලයා වන සරණ ගුණවර්ධන බැහැ දැකීමට යාම අපට වටහා ගත හැකි නමුත් නව රජයේ අධිකරණ අමාත්‍යවරයා වන විජේදාස රාජපක්ෂ එම සරණ ගුණවර්ධනවම බැහැ දැකීමට සිරගෙදරට යාම අප වටහා ගත යුත්තේ කෙලෙසකින්ද? මෙය අපට තේරුම් ගැනීමට සිදුවන්නේ එකවර්ගයේ කුරුල්ලන් එක අත්තේ වැසීමක් ලෙසින් නොවේද?

මොවුන් බොහෝ දෙනෙකු පසුගිය කාලයේ එකට එක්ව දේශපාලනය කළ, එකට සැරිසැරූ, එකට විවිධ දේ බෙදා හදාගෙන ජීවත් වූ දේශපාලඥයන් බව අපි දනිමු. නමුත් අධිකරණ අමාත්‍යවරයෙකු එවැනි විශාල අපරාධවලට සැකකරුවෙකු ලෙස බන්ධනාගාරගත කර සිටින අයෙකු බැලීමට යාම ප්‍රශ්න මතුකරන්නක් බට ඔහුට නොවැටහීම අපට නම් ප්‍රශ්නයකි.

ඒවාගේම අපට අධිකරණ අමාත්‍යවරයාගේ මීට ප්‍රථම කළ ප්‍රකාශයන් ගණනාවක් ගැනද අවධානය යොමු කිරීමට සිදුවේ. ලෝකය තුල ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් මරණ දඬුවම තම රටවල් තුලින් තුරන් කරමින් පවතින මේ අවදියේ මහින්ද රාජපක්ෂලාගේ දූෂිත පාලනය පෙරළා දැමූ විගස බලයට එන රජයේ අධිකරණ අමාත්‍යධූරය දරණ විජේදාස රාජපක්ෂ මුලින්ම මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් බැහැ දකින්නට ගොස් ප්‍රකාශ කරන්නේ ඉදිරියේ තමනට අපරාධ වැලැක්වීම සඳහා අවශ්‍ය නම් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සිදුවන බවකි. මහානායකවරුන්ගේ පිලිතුර කුමක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ලෝකය, ශිෂ්ඨ සම්පන්න ලෝකය මරණ දඬුවම ප්‍රතික්ෂේප කරයි. මරණ දඬුවම තුලින් අපරාධ අඩුකළ නොහැකි බවට ලෝකය පුරා උවමානවටත් වඩා උදාහරණ ඇත. අපරාධ අඩුකිරීමට සමාජයක සමාජ දේශපාලන ක්‍රියාදාමය දියුණු කළ යුතු අතර අධ්‍යාපන සහ ආර්ථික තත්වයන් වැඩිදියුණු කිරීම තුලින් කරන දීර්ඝ ක්‍රියාදාමයක් තුල ඇතිකරන ගුණාත්මක හරයකින් පමනි සමාජයක් තුලින් අපරාධ අවම කර ගත හැකි වන්නේ.

එපමණක් නොව විජේදාස රාජපක්ෂ මහතා බීබීසී සංදේශයට සපයන තම සම්මුඛ සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ ගැන නැගෙන ප්‍රශ්නයට දෙන පිලිතුර ප්‍රශ්න සහගතය.

ප්‍රශ්නය: ගෝඨාභයගෙන් ප්‍රශ්න කිරීමට ඔහුව රහස් පොලිස් මූලස්ථානයට නොකැඳවා ඔහුගේ ගෙදරට ගියේ ඇයි?

“පසුගිය කාලයේදී හිටපු ජනාධිපතිතුමාටයි, හිටපු ලේකම්තුමාටයි ලොකු ජීවිත තර්ජනයක් තිබුනා. ඉතින් ඒක නිසා ආණ්ඩුවක් වෙනස්වුනා කියල අපේ මතවාද වෙනස් වුනා කියල ආරක්ෂාව ඉවත් කලොත් ඒතුල යම්කිසි ව්‍යයසනයක් සිදු වුනොත් ඒක බරපතල ප්‍රශ්නයක් වෙනව ආණ්ඩුවට විතරක් නෙමෙයි රටටත්”

විජේදාස රාජපක්ෂ එම පැනයට දෙන පිලිතුර තුල ඇත්තේ වංචනික බවක් බව පැහැදිලිය. ගෝඨාභය රාජපක්ෂට ඉදිරිපත් කර ඇත්තේ කුමන්ත්‍රණකරුවෙකි යන චෝදනාවයි. එවැනි චෝදනාවක් ඇති අයෙකුගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලීසියට කැඳවීමෙන් ඔහුගේ ජීවිතයට හානියක් සිදුවන්නේ කෙසේද? අනෙක් අතින් කුමන්ත්‍රණයක වැරදි කරුවෙකු වුවහොත් ගෝඨාභය රාජපක්ෂට හිරගෙදර හිමිවිය යුතවේ. එවිට ඔහුගේ ආරක්ෂාවට ආරක්ෂක භටයින් හිරගෙදරටත් යැවීමට විජේදාසලා සූදානම් වන්නේ. විජේදාසට අනුව හිටපු ජනාධිපතිට සහ ගෝඨාභයට මහත් ජීවිත තර්ජන ඇත. නමුත් මෛත්‍රීගේ රජයට එරෙහිව විවිධ මත ප්‍රචාරය කරමින් වෙහෙරවල් වටා බෝගස් වටා සහ නොයෙක් පිලිකණුවලත් මොවුන් කරක් ගහන බව මාධ්‍ය වාර්තා කරනු ලබයි. එසේ කරක් ගහන විට ඔවුන්ගේ ජීවිත වලටතර්ජන නැද්ද? රහස් පොලීසියට කැඳවීමෙන් ජීවිතවලට තර්ජන ඇතිවන බව කීම මේ අනුව කොතරම් විහිළුවක්ද? ඇත්තෙන්ම විජේදාසගේ මේ කියමන් ගැලපෙන්නේ මහින්දලාට බලය පැවති කාලයේ ඔවුන් හැසුරුණු ආකාරයටය. මහින්දලා මෙන්ම ඔහුත් සිතන්න් මේ රටේ මිනිසුන් තණකොල කල හරකුන් කියාද? විජේදාසලා වටහාගත යුතු වන්නේ අඩුම තරමින් රටේ වැඩි දෙනෙකු මෙවැනි ගොන් කතා විශ්වාස නොකිරීමේ හේතුව නිසාවෙන් ජනවාරි 08 වෙනිදා බලය මාරුකළ බවයි. විජේදාසලාගේ මේ කතාද හරියට අර මර්වින් සිල්වලාගේ නිලධරයන් ගස්බැඳි වීදි නාට්‍ය කතා හා සමාන නොවන්නේද?

ඒවාගේම ඇවන්ගාඩ් සභාපතිවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය අවලංගුකර තිබූ අවස්ථාවේදී එම තැනැත්තාට රටින් පිටවී යාමට අවස්ථාව ලබාදීමටද මෙම අධිකරණ ඇමතිවරයාම මැදිහත්වීමක් ගැන කියවුනි. ඒ ගැන ඔහුගෙන් කළ විමසීමකදීද පිලිතුරු දෙන්නේ රටට මුදල් ගෙනඒමකට ඒ මහතාට පිටරට යාමට ඉඩ ලබාදුන් බවකි. එසේ නම් අපරාධකරුවන් අපරාධයේම කොටසක් ලෙස කරන මුදල් ගෙනඒමක් ගැන ක්‍රියාත්මක වන විට මෙම අධිකරණ ඇමතිවරයාට එම අපරාධකරුට නිදහසේ හැසිරීමට ඉඩදීමට එය කාරණයක් වන බව මෙයින් පෙන්නුම් කරයි. එසේනම් ලංකා අධිකරණය සහ එහි කටයුතු භාරව සිටින ඇමතිවරයා ප්‍රශ්න සහගත නොවන්නේද?

මෙවැනි එකක් පසුපස එකක් ලෙස මේ අක්‍රමිකතාවයන් ගණන් ගැනීමෙන් පෙනෙන්නේ අලුතින් බලයට පත් රජයේ සමහර කොටස් තමන් බලයට පත්වූ ආකාරය හරියට වටහා නොගෙන ඇති බවයි. ඔවුන් තාමත් සිටින්නේ පසුගිය වසර 10කටත් වැඩි කාලයක් රටතුල පැවතුණ ආකාරයටම තමන්ටද දැන් බලය අපහරණය කළ හැකි බවකි. ඒ සඳහා ඔවුනට ලැජ්ජාවක්, බියක් ඇති බවක් නොපෙන්වීම ලංකා දේශපාලන ශරීරයට පොදු ලක්ෂණයක් බව අපි දනිමු. ලංකා දේශපාලනයේ සෑම දේශපාලඥයෙකුම පාහේ අඩුවැඩි වශයෙන් පසුගිය වකවානුවේ පැවති දූෂණයන්හි කොටස් කරුවන් වී සිටි බවද රටටම නොරහසකි.

යමෙකු විජේදාසගෙන් සරණ සරණයාම ගැන විමසුවහොත් ඔහුගේ පිලිතුර විය හැක්කේ ‘මම බන්ධනාගාරය පරීක්ෂාවට ගියා. ඉතිං අපේ එකට හිටි මන්ත්‍රීකෙනෙක් එහි හිරකර සිටි නිසා ඔහුවත් බලන්න ගියා’ කියායි. නමුත් බලය අපයෝජනය කර සැකයට භාජනය කර සිටින සැකකරුවන් බැලීමට අධිකරණ ඇමතිවරයාම යාම ගැන නිදහසට කාරණා ඇත්තේ නැත.

රාජපක්ෂලාගේ දූෂිත ආණ්ඩු සමයේ සියළුම පාහේ රාජ්‍ය ආයතන, පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළුව නිලධාරී පැලැන්තියේ සෑම එකෙකුම පාහේ අඩුවැඩි වශයෙන් දූෂණයේ සහ බලය අපයෝජනයේ කොටස්කරුවන් වී සිටි බව අප දන්නෙමු. 08 වෙනි දින බලය මාරුකලා මිස මේ දූෂිත රාජ්‍ය පද්ධතිය සහ ඒවායේ පුද්ගලයින්ගේ වෙනසක් සිදු නොවූ බව අපට රහසක් නොවේ. එහි සිටි එම දූෂිතයින්ම නැවත ඒ ඒ තැන් මාරුවකින් වැජඹෙන බවද නොරහසකි. මේ සියල්ලගේ ප්‍රධාන සතුරා යහපාලයක් ඇතිවීම බවද අපි දන්නෙමු. ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමේ සටන දීර්ඝ එකක් බව අපට පැහැදිලිය. දූෂිත පාලකයන් සහ පාලනය පෙරළා දැමුවේ ඒ වෙනුවට නැවත දූෂිත පාලකයන් සහ පාලනය එතැනට පත්කර ගැනීමට නොවන බව බලයට පත් රජයේ මැති ඇමතිවරු සිහියට ගත යුතුය.

මහින්දලාගේ දුර්දාන්ත පාලනය පෙරලා දැමීමට මූලික වූයේ මේ රටේ බහුජන බලවේගයන්ය. අන්තර්ජාල බ්ලොග්කරුවන්ගේ සිට බහුජන සංවිධාන, පුරවැසිබලවේග, වෘත්තීය සමිති, කලාකරුවන් සහ ලොකු කුඩා පක්ෂ එක පෙලකට සිටගෙන ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් එදා එම පෙරලිය ඇති කරනු ලැබුනි. දීර්ඝ කාලීනව පුරවැසි බලවේගයන් ගෙනගිය අරගලයකට අන්තිම මොහොතේ මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කොටස දේශපාලන නායකත්වය දෙනු ලැබීය. නමුත් මෙම බලමාරුවේ ගාමක බලවේගය වූයේ මේ පුරවැසියන්ගේ විවිධ සන්ධාන සහ පුද්ගල එකතුව බව බලයට පත් ආණ්ඩුවේ අය මතක තබා ගත යුතුය. ඔවුන් නැවත අර දූෂිත ක්‍රමය වෙත හැරෙන්නේ නම් එයටද එරෙහි වීමට මෙම බලවේග කිසිවිටෙක නොපැකිලෙනු ඇත. බලයෙන් උද්දාමයට පත්වී මහින්දලා මෙන්ම අලුත් බලවතුන්ද උන්මාදයකට පත්වනවා නම් ඔවුන් පෙරළා දැමීමට මෙම බලවේග පෙරමුණු ගනු නොඅනුමානය.

ranjith_hennayakeරංජිත් හේනායකආරච්චි | Ranjith Hennayakaarchchi