ඊජිප්තුවෙහි ජනප්‍රසාදිත වසන්ත විප්ලවයෙන් පසු පැවැති මහා මැතිවරණයෙන් ජනාධිපති බවට පත් මොහොමඩ් මෝර්සි ප්‍රති විප්ලවය මගින් බලයට පැමිණි යුද හමුදා ආන්ඩුව අද විසි වසරකට සිර ගත් කළේ ය‍. මහත් අපේක්සා ඇතිව එකී විප්ලවයේ නායකත්වය හෙබවූ යෞවන පරම්පරාව ද අද සිර ගත කොට හෝ මරා දමා හෝ තිබේ.

විප්ලවයක් බාගයට කිරීම යනු තමන්ගේම මිනීවළ හාරා ගැනීමක් යැයි කියමනක් තිබේ.

පසුගිය ජනවාරි අට වනදා මහජන ජන්දයෙන් ජනාධිපති රාජපක්ෂ පරාජය කිරීම සම්ප්‍රදායික අර්ථයෙන් විප්ලවයක් නොවේ යැයි තර්ක කළ හැකි ය. එනමුත් රාජපක්ෂවරුන් විසින් ශ්‍රී ලංකාවේ ගෙන යන ලද අර්ධ ඒකාධිපති අත්‍යනතයෙන්ම දූෂිත සහ භීෂිත පවුල් පාලනය දෙස බලන විට ඒ වනාහී සාමකාමී විප්ලවයක් මිස අනෙකක් නොවේ. රාජපක්ෂවරුන් ලද පරාජය ලොව පුරා දේශපාලන විශ්ලේෂකයින්ගේ මවිතයට හේතු වූයේ ඒ නිසාම ය‍. මෛත්‍රී -රනිල් ආන්ඩුව ලොව පුරා ප්‍රසාදය දිනා ගත්තේ ද ඒ නිසා ම ය.

නමුත් දැන් සිදු වන්නේ මෙරට ඊජිපතුවෙහි සිදු වූ පරිදි ප්‍රතිවිප්ලවීය බලවේග අලුගසා දමා නැගිට ඒමකි. රාජපක්ෂ පාලනය විසින් වරදාන පිරිනැමීමෙන් සහ ඇති තරම් ගසා කැමට ඉඩ සැලසීමෙන් සිය කෑදර උදර පුරවා ගත් දේශපාලනඥන්ද ආරක්ෂක හමුදා සම්බන්ධ පිරිස් ද හොර ජාවාරම්කාර පිරිස් මෙන්ම අතලොස්සක් ශ්‍රාස්ත්‍රඥයින් ද සිය සියලු වැර යොමු කරමින් සිටින්නේ ජනවාරි 08 දා සිදුවූ සාමකාමි විප්ලවය ආපස්සට හරවා රාජපක්ෂවාදී ඒකාධිපතිත්වයක් යළි ශ්‍රී ලංකාවෙහි ගොඩ නැගීමට ය‍.

19වන ව්‍යවස්ථා සංසෝධනය සම්මතවීමට සියල්ල සූදානම්ව තිබියදී මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවන ලද්දේ රාජපක්ෂ සට්ටැබියකු වන එම සභාපති බාල පටබැඳි විසිනි. හොරු නොඅල්ලනු නාඩගමට පණ වෙනුනේ බාලපටබැඳිගේ එම ක්‍රියාව නිසා ය. රාජපක්ෂවාදි උපාය ශිල්පීන් විසින් මෙම සැළැස්ම ක්‍රියාවට නැගන්නට ඇති බවට දැනටමත් සාක්ෂි හෙළිවෙමින් තිබේ. ඒ අතර වාරයේම කෝටි ගණන් දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙන තවත් රාජපක්ෂවරයකු වීරයකු සේ පිළිගැනීමට දහස් ගණනාවක් ගුවන් තොටුපල වට කරන ලදී. මේ වනාහී රාජපක්ෂවරුන්ට ඉන් යැපුණූ බලවේගයනට දේශපාලන ජීවිතය සහ මරණය අතර සටනකි.

මෙළෙස බලුමුළු ගැන්වෙමින් තිබෙන්නේ පසුගිය ජනවාරි 08දා පරාජය ලද රාජපක්ෂවාදී දූෂිත සහ භීෂනකාරී බලවේගයන්ය. ප්‍රජාතන්ත්‍රවාදී යහ පාලන බලවේග බලමුළු ගැන්වීමක් පෙනෙන්නටවත් නැත. උදාහරණයක් වශයෙන් 19වන සංසෝධනයට පක්ෂව ලක්ෂ සංඛ්‍යාත ජන ගංගාවක් කැඳවා කොළඹ වාඩිලා ගැනීම මගින් මෙම ප්‍රතිවිප්ලවකාරි බලවේග පරාජය කිරීමට ඹ්නෑතරම් ඉඩ තිබුණි. නමුත් අද සිදුවෙමින් තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ආ බලවේග දුර්මුඛ වන තත්වයකි. එවැනි උද්ගෝෂණයන්ට එන්නේ සියයක් දෙසියක් පමණි. මන්ද යත් මෛත්‍රී සහ රනිල් එවැනි බළමුළු ගැන්වීම්වලට සහායක් නොදක්වන නිසා ය.

ප්‍රතිවිප්ලවයක් සඳහා අවශ්‍ය වන්නේ විප්ලවය බාගෙට කර තීරණාත්මක පියවර නොගන්නා නායකත්වයක් මෙන්ම දුර්මුඛ වූ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් ය. දැන් එම තත්වය අප රටෙහි දිනෙන් දින භයානක ලෙස ගොඩ නැගෙමින් තිබේ.

මෙම බලවේග අවතක්සේරු කිරීම ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ විසින් කරනු ලබන මහත්ම ඉතිහාසීය වැරැද්ද බවට පත් වීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණක් විය හැකි ය.

19වන ව්‍යවස්ථා සංශෝධනය සාකච්ඡාවට ගැනීමට තිබූ 20 දින පාර්ලිමේන්තුවෙහි ඇතිවූ හොරු නොඅල්ලනු නාඩගමෙන් පෙනී ගියේ ශ්‍රීලනිපය පාලනය කර ගැනීමට ජනාධිපති සිරිසේනට නොහැකි බවය. එමෙන්ම තත්වානුකූලව අවශ්‍ය පරදි බලවේග බලමුළු ගැන්වීමට අගමැති වික්‍රමසිංහ දක්වන නොහැකියාවය. තවද මෙම පාර්ලිමේන්තුව තුලින් දින සියයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාවට දැමිය නොහැකි බවද දැන් පෙනේනට තිබේ.
ඉදින් එවැනි පාර්ලිමේන්තුවක් පවත්වා ගන්නේ කුමට ද?

මෙම තත්ත්වය වහාම වෙනස් කර ගත හැකි එකම ක්‍රමය ලෙස පෙනෙන්නට ඇත්තේ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මැතිවරණයකට යෑම මගින් යළි ප්‍රජාතන්ත්‍රවාදී ජන බලවේග පුබුදුවා ගැනීමයි. රාජපක්ෂවාදී පිරිස් විසින් පාර්ලිමේන්තු කුමන්ත්‍රණයක් හෝ ඉන් බාහිර කුමන්ත්‍රණයක් මගින් යළි භීෂණයේ සහ දූෂණයේ බලවේග ශ්‍රී ලංකාව ඉතිහාසයේ ආපස්සට ගෙන යෑමට පෙර වහාම නිසි පියවර ගැනීමට ජනාධිපති සිරිසේනට හැකියාව තිබිය යුතු ය.

ජනාධිපති සිරිසේනගේම වචනයෙන් කියන්නේ නම් ඔහු ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ නම් දැන් ඉන්නේ අඩි හතක් පොළව යටය. නැගී එන ප්‍රතිවිප්ලවයෙන් ජනවාරි 08දා ජයග්‍රහණය ආපස්සට හැරවී යතොත් ජනාධිපති සිරිසේන පමණක් නොව තවත් බොහෝ දෙනෙකු සමහර විට දහස් ගණනින් අඩි හතක් යට වැලලී යාමට ඉඩ තිබේ. මතක තියා ගන්න මහින්දානන්ද අලුත්ගමගේ වැනි මැරවර දූෂිතයින් දැනටම ප්‍රසිද්ධියේ ලේ විල් මැවීමට කතා කරමින් සිටින බව.

ජනාධිපති සිරිසේන කරුණාකර මෙම බුදු වදන මෙනෙහි කර ගන්න: අප්‍රමාදය නිවනට හේතුවෙයි. ප්‍රමාදය මරණයට හේතුවෙයි. අප්‍රමාද වූවෝ නොමියෙයි. ප්‍රමද වූවෝ ජීවත් ඌවත් මැරුණා වැනිය.

sd 120සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya