Image Credit:lankaenews

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ (ඊයේ 4) ශ්‍රී ලංකා යුද හමුදාවේ ‘නේපාල මෙහෙයුම’ සම්බන්ධයෙන් විග්‍රහයක් පළ කර තිබුණි. ‘ජාත්‍යන්තරයෙන් යුද අපරාධ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා යුද හමුදාව නේපාල මෙහෙයුමෙන් නම ශුද්ධ කර ගත් හැටි (සේයාරූ)‘ යන ශීර්ෂයෙන් පළ කර තිබූ එයින් කියැවුනේ ‘ජාත්‍යන්තරයෙන් යුද අපරාධ එල්ල වූ ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ නම යලි ප්‍රතිනිර්මාණය කර ගැනීමේ මහඟු අවස්ථාව පාවිච්චි කරමින් දුර දක්නා නුවණින් යුතු ශ්‍රී ලංකාවේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා නේපාල ව්‍යසනය සිදුවනවාත් සමගම ඔවුනට උදව් කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාවන් නේපාලයට පිටත් කර හැරියහ.‘‘ ආදී වශයෙනි.

ලෝකයේ ඕනෑම රටක ව්‍යසනමය අවස්ථාවකදී එම රටට කුමන හෝ ලෙසකින් ආධාර, උපකාර සහ සහය දීම ශිෂ්ඨ ලෝකයේ යුතුකමකි. වගකීමකි. ඒ අන් කිසිවක් නිසා නොව සියලු දේට ම වඩා වටින්නේ ‘ජීවිත‘ බව ශිෂ්ඨ ලෝකයේ පිළිගැනීමක් තිබෙන නිසාය. එබැවින් නේපාලයේ සිදුවූ ව්‍යසන අවස්ථාවේ නේපාල ජනතාවට ලංකාව සිදුකරමින් සිටින කුමන හෝ ‘යහපත් දෙයක්‘ නොසලකා හැරිය නොහැකිය. එය ඉතා වැදගත් ය.

නමුත් ලංකා ඊ නිව්ස් පවසන පරදි එම රටට ආධාර උපකාර කිරීමට ලංකා යුද හමුදාව සහභාගී වීම මගින් ලංකාවේ යුද්ධයේදී සිදුකළ යුද අපරාධ වැළලෙනවාද?

ප්‍රශ්ණය ඇත්තේ එතනය.

ජීවිත විනාශ කරමින්, ජීවිත බේරාගැනීමට යාම ලෝකයේ ඇතැම් රටවල විලාසිතාවති. එය හරියට ‘කළ සියලු පව් නැතිවෙයි වරක් වැන්දොත් කැළනියේ‘ කියමන වැනි තකතීරෑ, අන්ද විග්‍රහයකි. එයටත් වඩා එය තක්කඩි කමකි. ඔනෑම අපරාධයක්, විනාශයක්, සංහාරයක් සිදු කර අවසානයේ කොහේ හෝ කාට හෝ මොනයම් හෝ උපකාරයක් කිරීමෙන් පෙර කළ සියලු අපරාධ යුක්ති සහගත වෙනවාද? නැතිනම් අමතක වෙනවාද?

ඊ නිව්ස් පවසන පරිදි, ‘….හමුදාවේ නම යලි ප්‍රතිනිර්මාණය කර ගැනීමේ මහඟු අවස්ථාව පාවිච්චි කරමින් දුර දක්නා නුවණින් යුතු ශ්‍රී ලංකාවේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා නේපාල ව්‍යසනය සිදුවනවාත් සමගම ඔවුනට උදව් කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාවන් නේපාලයට පිටත් කර හැරියහ…..‘ යන්න අගමැති හෝ ජනාධිපති එසේ සිතුවා නම් නැවතත් නව ආණ්ඩුවද රාජපක්ෂ මෙන් පොට පටලාවගෙන ඇත.

ජනාධිපතිවරණයේදී උතුරු සහ නැගෙණහිර සිංහල නොවන මිනිස්සු රාජපක්ෂ එළවා දෑමීමට ඡන්දය දුන්නේ ඔවුන්ට යුක්තිය ඉෂ්ඨ වෙනු දැකීමටය. එසේ නොමැතිව ඔවුන්ගේ ආත්මයන් පවා විනාශ කර දැමූ, ඔවුන්ගේ පොළව, ඔවුන්ගේම රුධිරයෙන් තෙත් කළ ඒ ව්‍යසනයට වගකිව යුත්තන්ට සුදුහුනු ගාන්නට නොවේ. පැවති යුද්ධයේදී මිනිස් හදවත් වලට දරාගත නොහැකි අපරාධයන් සිදු වී ඇති බව අද ලෝකය හමුවේ සනාථ වෙමින් තිබේ. එසේම සංහාරයෙන් පසු ඉතිරි වුනු දෙමළ මිනිසුන්ගේ ඇස්වල ඒ ඛේදවාචකය ගැඹුරින් සටහන්ව ඇත. ඒ නිසාම යුද්ධයෙන් පසු වසර 6කට ආසන්න කාලයක් දෙමළ මිනිසුන් ඉල්ලා සිටිනේනේ එම සිදුවීම් වලට අදාල සාධාරණ පරීක්ෂණයකි. අපක්ෂපාත පරීක්ෂණයකි.

ඒ පරීක්ෂණ කල්මරමින්, ඒ පිළිබද දෙමළ ජනතාවගේ විශ්වාසය ගොඩනගන්නේ නැතිව, එහි පාර්ශවයක් වන යුදහමුදාව නේපාලය ට යැවීමෙන් ඔවුන් ට එල්ලවන චෝදනා නිශ්‍රක්‍රීය වෙනවාද? ඔවුන්ට ජාත්‍යන්තරයෙන් එල්ලව ඇති චෝදනා වෙනස් වෙනවාද?

මෙම විග්‍රහයේ අතුළත ඇති අනෙක් සුවිශේෂය වන්නේ, යුද්ධයේදී මානූෂීය නීති උල්ලංගනය කරමින් හමුදාව අපරාධ කර ඇතැයි කියන චෝදනාව කිසිසේත් පිළිනොගත් අය පවා දැන් එය වචනාර්ථයෙන් සහ සෘජුව පිළිගැනීම ප්‍රතික්ෂේප කලත් තමන්ගේම හෘදසාක්ෂිය විසින් එය පිළිගෙන ඇති බවය. මෙම කොටස නැවත කියවන්න.‘‘ජාත්‍යන්තරයෙන් යුද අපරාධ එල්ල වූ ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ නම යලි ප්‍රතිනිර්මාණය කර ගැනීමේ මහඟු අවස්ථාව පාවිච්චි කරමින් දුර දක්නා නුවණින් යුතු ශ්‍රී ලංකාවේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා නේපාල ව්‍යසනය සිදුවනවාත් සමගම ඔවුනට උදව් කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාවන් නේපාලයට පිටත් කර හැරියහ..‘‘

අවසානයේ කියන්නට ඇත්තේ යුද්ධයෙන් වසර 6කට ආසන්න වෙමින් තිබියදී පවා දෙමළ මිනිසාට යුක්තිය ඉෂ්ඨ කරනවා වෙනුවට මෙවැනි දේ සිදුකර බලාපොරොත්තු වෙයැයි සිතන අරමුණ කිසිසේත් ඉටු නොවන බවය. අවශ්‍ය වන්නේ දෙමළ මිනිසාට යුක්තිය සහ සාධාරණත්වයයි. අපරාධ කරුවන් නීතිය හමුවට ගෙන ඒමයි. එසේ නොමැතිව තවත් නේපාලයන් දහස් ගණනකට යුදහමුදාව නොවේ සියලු හමුදා පිටත්කළත් ඵලක් වන්නේ නැත. එවිට, එයට තමන්ගේ හෘද සාක්ෂියත් තමන්ට විරුද්ධ වෙනු ඇති.

උතුරේ මවක් ප්‍රකාශ කළ දෙයකින් මෙම සටහන අවසන් කරමි.

‘‘රාජපක්ෂ අලුත් පාරවල් හැදුවා, පාලම් හැදුවා, නමුත් අපි කිව්වා, අදත් අපි කියනවා, ඕවා නෙවේ අපිට ඔනේ! අපිට ඕන අපේ ළමයින්ට මොකද උනේ කියලා දැන ගන්න‘‘