Image Credit: REUTERS

ශ‍්‍රී ලංකාවට එරෙහි ව ඉදිරිපත් වී තිබෙන ‘යුද අපරාධ චෝදනා‘ සම්බන්ධ වගවීමේ ක‍්‍රියාවලියේ ස්වභාවය පැහැදිළි කරමින්, ජනාධිපති සිරිසේන මහතා පසුගිය දා බීබීසීය ට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ දී යළි අවධාරනය කළ කාරණය වූයේ ශ‍්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳ ව විභාග කිරීමට දේශීය යාන්ත‍්‍රණයක් සකස් කරන බවය. යුද ජයග‍්‍රහණය කිරිබතින් සමරමින්, ප‍්‍රීති ඝෝෂා කළ ශ‍්‍රී ලාංකිකයින් ද ක‍්‍රම ක‍්‍රමයෙන් සිහි එළවාගනිමින් සිටින අතර, යුද අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර දෘෂ්ඨි කෝණයෙන් සංවේදී වීම එකම මග නොවන බවත්, එහෙත් නිවැරදි පරීක්ෂණයක් විය යුතු බවත් ඔවුන්ගේ අදහස වී ඇත.

එහෙත්, කිසිවෙකුත් කතා නොකරන්නේ, ප‍්‍රමුඛ කාරණාවන් ය . ‘දේශීය යාන්ත‍්‍රණය මගින් විමර්ශනය කෙරන්නේ කෙසේද ? විමර්ශනයට ලක් කරන්නේ කාවද?‘ වැනි ප‍්‍රශ්න සහ සාකච්ඡාව තව දුරටත් ඉතිරි වී තිබේ. මෙය ඉතා සූක්ෂම මෙන් ම බැරෑරුම් කාර්යයක් වන අතර ජ්‍යාත්‍යන්තර ප‍්‍රමිතිය වැනි කාරණා තීරණාත්මක ය.

අතීතයේ දී ත්, ශ‍්‍රී ලංකාව මෙම ප‍්‍රශ්නය වෙත සමීපවූයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හුදෙකලා සිදුවීම් ලෙස සලකමිනි. ඒවා සිදුවන්නේ හොඳ අය වැඩි දෙනෙක් අතර සිටින නරක අපරාධකරුවන් කිහිප දෙනෙකු සිටින නිසා ය‘ වැනි ලේසි පහසු උත්තරය කිනි. එය හරියට ‘හොඳ ඇපල් ගොඩේ නරක ඇපල් කීපයක් තිබේ‘යැයි කීම වැනි ය.

උදාහරණයක් වශයෙන් චෙම්මනී සිද්ධියෙදී අවුරුදු 17 ක් වයස පාසල් සිසුවියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සාමාන්‍ය හමුදා භටයින් 6ක් සහ පොලිස් නිලධාරීන් වරදකරුවන් කිරීම ගත හැක. බිඳුණුවැව රැදවුම් මධ්‍යස්ථානයක සිටි දෙමළ තරුණයන් 27 දෙනාගේ මරණ වලට වරදකරුවන් බවට පත් වූයේ ද සාමාන්‍ය පොලිස් නිලධාරීන් 5 දෙනෙක් පමණි.

ඉහත කී සිදුවීම් දෙකට ම අදාළව ශ‍්‍රී ලංකා රජය වගවීමේ කටයුත්ත‘ සිදු කරන ලද්දේ නරක ඇපල් න්‍යායෙනි‘. එනම් විමර්ශනයකදී වරදකරු වන පුද්ගලදයකුට එරෙහිව උසාවියක් තුළ චෝදනා කර නිසි දඬුවම නියම කිරීම ය. ඉන් පසු යුක්තිය ඉටු වූයේ යැයි‘ කියා අත පිසදාගනු ලැබිණි. ඒ අනුව මානව හිමිකම් උල්ලංඝනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා රාජ්‍යයක් ලෙස පෙනී සිටීමට පුලුවන. රාජ්‍යයක් හැටියට ශ්‍රී ලංකාව උපක්‍රමිකව කරන්නට යන්නේ මොනවා ද? පහළ පෙළේ නිලධාරීන්ව අනිවාර්ය විමර්ශනයකට භාජනය කර උසාවිය මගින් දඬුවම් නියම කිරීම විය හැක. එහිදී සිදු වන්නේ නිළයෙනුත් පහළ දුප්පත් සෙබළා වරදකාරයා කර රජය නිදහස් වීම ය.

ඇසින් දුටු සාක්ෂිකරුවන් විස්තර කරන ආකාරයට බිදුණුවැව සිද්ධියේ දී ස්ථානය භාරව සිටි සහකාර පොලිස් අධිකාරී(ASP) දයාරත්න හා මූලස්ථාන පොලිස් පරීක්ෂක(HQI) සෙනෙවිරත්න යන අයට එරෙහිව පරීක්ෂණ සිදු නොවුණු අතර, කණිෂ්ට නිළධාරීන්ට පමණක් එරෙහිව පරීක්ෂණ සිදු කෙරිණි.

ක‍්‍රිෂාන්ති කුමාරස්වාමි ස්ත‍්‍රී දූෂණය සහ මිනීමැරුමේ දී කෝප‍්‍රල් රාජපක්ෂ මහතා ඔහුගේ පාපොච්චාරණය තුළ විශේෂයෙන් සඳහන් කළේ ‘චෙම්මනී කඳවුර භාර ලූතිනන් තුඩුගල වින්දිතයාව පැහැරගත් බව තමාට දැනුම් දී තිබේ ය‘ යන්නයි. එහෙත් චෙම්මනී අවනඩුව පිළිබඳව එහි අණ දෙන නිලධාරීන් ට එරෙහි කිසිදු පරීක්ෂණයක් මෙතෙක් සිදුකොට නොමැත.

වෘත්තියට නොගැළපෙන සම්මුති හදන නායකත්වය හා විනය විරෝධී සංස්කෘතිය මගින් හමුදාව අපකීර්තියට පමුණුවනු ලැබේ. රාජ්‍යය යුක්තිය පසිදලීම කරන්නේ පහළ ම පෙළේ භටයන්ට ඉක්මනින්ම දඬුවම් නියම කිරීමෙනි. ‘හමුදාවේ කීර්තිය ආරක්ෂා කිරීම‘ පිණිස මවා පාන උපක්‍රමික දෙයක් වන මෙය ‘යුක්තිය පසිදලීමක්‘ වන්නේ කෙසේ ද? එවන් දුර්වල ක්‍රියාවලියක් දිගින් දිගටම සන්නද්ධ හමුදා සංස්කෘතියේ වෘත්තිමය භාවය පරීක්ෂා කිරීමට කිසිදු මෙහෙයක් ඉටු කරනු නොලැබේ. මෙවැනි පෙර සිදුවීම් දෙස බලන විට වගවීම පිළිබඳ දේශීය ක්‍රියාවලියේ මාදිලිය නියත වශයෙන්ම හුදෙකලා සිද්ධි විමර්ශනය දතක් ලඝු වීමේ අවදානමක් ඇත. එහි දී නැවතත් බිම් මට්ටමේ සොල්දාදුවන් වරදකරුවන් කිරීම සිදු විය හැකිය.

දේශීය යාන්ත‍්‍රණයක් සැලසුම් කිරීම හා ක‍්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂඥ දැනුම සහ තාක්ෂණික ආධාර ශ‍්‍රී ලංකාව සඳහා අතිශයෙන් වැදගත් වන්නේ, පරීක්ෂණ පුළුල් වීදම් උවමනාව සදහා මෙන් ම, බිම් මට්ටමේ දුප්පත් සොල්දාදුවන් මත වරද පටවා ඔවුන් කොටු කරගැනීම වැළැක්වීම ද සදහා ය. සාමාන්‍යෙයන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය තුළ යුක්තිය පසිදලීම සිදුවන්නේ අපරාධ ක්‍රියාවට එක එල්ලේ සම්බන්ධ අය මෙන් ම හමුදා විනය නොපැවැත්වීමේ, ප්‍රතිපත්ති සැකසිමේ සහ නියෝග දීමේ වගකිව යුත්තන් ද විමර්ශනයට අදාළ කර ගනිමිනි. වගකිවයුත්තන්ද විමර්ශනයට අදාළ කරගෙන එමෙන් ම විමර්ශනයේ දී ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව ඉහළ මට්ටමේ නිලධාරීන්ගෙන් ද සාක්ෂි කැඳවීය හැකි අතර දේශීය යාන්ත‍්‍රණදේදී ඔවුන් මගහැර යා හැකි ය.

ජෙනරාල් නැපෝලියන් බොනපාට් පවසා ඇත්දත් ‘සොල්දාදුවන් සටන් ජයගන්නා නමුත් ජෙනරාල්වරු සම්මාන ලබා ගන්නා බව‘ ය. ලොව පුරා අද්දැකීම් වලින් ද තේරුම් ගතහැකි දේ වන්නේ යුද්ධයේ දී විශාලතම කැප කිරීම කරන්නේ සොල්දාදුවා බව ය. දේශීය යාන්ත්‍රණයක් හරහා සොල්දාදුවන් කිහිපදෙනෙකු මත සමස්ත යුද්ධයක අපරාධමය වරද පැටවිමට යන්නේ නම්, එමගින් අපරාධය සම්බන්ධයෙන් ‘යුක්තිය‘ ඉටු නොවනු ඇත.

ඩිලන් පෙරේරා | Dilan Perera