Image Credit: adaderana

පොළොන්නරුවේ පුරාණ ඉසිපතනාරාමය අසලින් යනවිට අපූරු දසුනක් දක්නට ලැබිණි. කලු කොඩි අතින් ගත් පිරිසක් ඉසිපතනාරාමය අසල එම කොඩි ඔසවාගෙන සිටී. කුමක් දැයි වටහා නොගත් මා මදක් නැවතී විමසිලිමත් විය.

මොකටද මේ කලු කොඩි උස්සගෙන පංසල ලග? මම ඒ අසල සිටි අයෙක් ගෙන් විමසීය.

රාජපක්ෂ පංසල් එනවා!

පංසල් ආවාට අපිට කමක් නෑ.

හැබැයි බුදුන් වදින්න.

වියරුව එන්නේ බුදුන් වදින්න නෙවෙයි. අගමැති හීනයක් එක්ක අගමැති වන්දනාවේ!

අපි ඒකට ඉඩ දෙන්නේ නෑ.

සිදුවීම වැටහුනි. හිටපු රාජපක්ෂ සුපුරුදු පරිදි පංසල් වන්දනාවේ යන ගමන් පොළොන්නරුවේ, ඉසිපතනාරාමයටත් අගමැති වන්දනාවේ යන්න සූදානමක් ඇති බැවින් එයට විරුද්ධව එහි දායක දායිකාවන් විරෝධය ප්‍රකාශ කරමින් පාරට බැස ඇත.

රාජපක්ෂලාට විරුද්ධ වීම

ජනාධිපතිවරණයට පෙර එනම්, පසුගිය ජනවාරි 8වනදාට පෙර රාජපක්ෂලාට විරුද්ධව පාරට බැස ඔවුන් විවේචනය කරමින් සිටියේ මේ රටේ සිවිල් ව්‍යාපාර, සංවිධාන සහ පුද්ගලයින් අතලොස්සකි. එයින් වීදියේ විරෝධය නම් ව්‍යාපාරයක් නොවැම්බර්, දෙසැම්බර් කාලවලදී මහපාරේදී විරෝධතාවය ප්‍රකාශ කළේ එළිපිටමය. ඔවුන්ගේ ප්‍රධාන සඨන් පාඨයක් වූයේ ‘රාජපක්ෂ, අපි උඹළට බය නෑ‘ අපි උඹළව පන්නවා!‘ යන සඨන් පාඨයයි. එක් දවසක පොලොන්නරුව ප්‍රදේශයේදීත් ඔවුන් එසේ විරෝධය දැක්වීමට සූදානම් වූ විට කදුරුවෙල සිටි රාජපක්ෂගේ පොලීස් කාරයින් එයට විරුද්ධ විය. නමුත් ඔවුන් ඔවුන්ගේ කාර්්‍ය යම් පමණකට හෝ එදින සිදු කරනු මා බලා සිටියා පමණක් නොව එයට හැකි පමණ සහභාගී වූයේ නොහදුනන්නෙක් ලෙසය.

කෙසේ නමුත් ඔවුන් සිදුකරමින් සිටි එම කාර්ය ජනවාරි 8වෙනිදාටත් පසුව සිදුකරනු මාධ්‍ය මගින් අසන්නට ලැබුණි. එය ප්‍රශංසනීයය. අගය කළ යුතුය. එබැවින් එවැනි නිර්භිත ව්‍යාපාර අදටත් මේ රටට අවශ්‍යය.

11206067_10207276259213302_562081688766744019_n (වීදියේ විරෝධයේ, අනුරාධපුර විරෝධතාවයක්( 31-05-2015)

ඊයේ මේ සිදු කළේද එවැනි නිර්භිත මිනිසුන් ගේ නිර්භිත ක්‍රියාවකි. රාජපක්ෂලා තරම් දෙයක් නැති බවට මුද්‍රා තබා ඇති සමාජයක දැන් දැන් එළිපිට මිනිසුන් අවදි වීමට පටන් ගෙන ඇත. රාජපක්ෂලාට එලි පිට විරුද්ධවීමට ධෛර්ය ඇති ගම් දනව්වල මිනිසුන් බිහි වෙමින් තිබේ. වසර ගණනාවක් මේ රට වෙලා ගෙන තිබුණු රාජපක්ෂ වියරුවෙන් මේ රට ගලවා ගත්තා සේ දැන් පංසල් ගානේ හොල්මන් කරන ජාතිවාදී රාජපක්ෂ අවතාරයද එළවා දැමිය යුතුය.

එය මේ රටේ පුරවැසියන් විසින් සිදුකිරීමේ දෙවන පියවර දැන් අරඹා ඇත.

එබැවින් ජාතිවාදී රාජපක්ෂ වාදිනි, දැන් පිටව යාමට කාලයයි.

එසේ නොවුන හොත් පංසල් වලට නොව දොට්ට පිළට යාමටවත් රාජපක්ෂලාට මේ රටේ පුරවැසියන් ඉඩනොදෙනු ඇති.

එම්.ඒ වසන්ත