දර්ගාවට ඇදිරි නීතිය දැමුවේ පසුගිය වසරේ(2014) ජූනියේ අද(15) වැනි දිනක සවස ය. රාත්‍රිය උදා වෙත්ම දර්ගා නගරයේත්, අලුත්ගම, බේරැවල නගරවලත් ගැටුම් හටගත්තේය. ඒ ඇදිරි නීතිය දමා තිබියදී ය. ඒ ගැටුම වර්ධනය වී දෙහිවල ෆාමසියක් ද කලහකාරීන්ගේ පහරදීම්වලට ලක්විය.

ඉන්පසු තත්ත්වය උණුසුම් වූයේත් ඇදිරි නීතිය දමා තිබිය දී ය. මුස්ලිම්වරැන්ට අයත් දේපල විශාල වශයෙන් ගිණිබත් වුයේත් ඇදිරි නීතිය දමා තිබිය දීය.

කෙසේ නමුතු මෙහි එකම වග උත්තරකරුවා වන බොදු බල සේනාව සම්බන්ධයෙන් වහාම නීතියට අනුව ගත යුතු වැඩ පිළිවෙල එවකට පැවති රාජපක්ෂ පාලනය විසින් ගත්තෙ නැත. එපමණක් ද නොව එහිදී පොලීසිය හැසුරුණු ආකාරය පිළිබදව ද වචනයක් හෝ කීමෙන් වැළකීමට එවකට සිටි රාජපක්ෂ පාලනය පරෙස්සම් විය. රාජපක්ෂලාගේ ‘පරෙස්සමේ තක්කඩිකම‘ හදුනාගත් පුරවැසියන් විසින් රාජපක්ෂලා පසුගිය ජනවාරි 8 වෙනිදා පරාජය කලේය.

කෙසේ නමුත් ගිණිගත් දර්ගාවේ ගින්න තවමත් නිවී යැයි කල්පනා කල නොහේ. එහි ජනයාට යුක්තිය සහ සාධාරණත්වය ඉටු විය යුතුය. හැම දාම මෙන් වසරක් ගත වුවද සෑම ව්‍යසනයකින්ම පසුව සේම මෙයත් සිදුනොකරන සේයක් පෙනේනට තිබේ.

නමුත්, එදවස විපක්ෂ නායක, අද අගමැති රනිල් වික්‍රමසිංහ මෙසේ කීවේය. (අප වෙබ් අඩවිය විසින් බීබීසීය උපුටු දක්වමින් මෙසේ සටහන් කළේය.)
අලුත්ගම මැරයන් අපි හඳුනනවා – රනිල්

සිරිකොත ප්‍රහාරය ඇතුළු වෙනත් බොහෝ ගැටුම්වලට සහභාගි වූ මැරයන් අලුත්ගම සහ බේරුවල ගැටුම්වලටත් සම්බන්ධ වූ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ප්‍රහාරවලට පැමිණි පිරිස් මේ වන විට හඳුනා ගෙන ඇති බව පැවසූ විපක්ෂනායකවරයා මින් ඉදිරියට මෙවැනි ක්‍රියා සිදුවීමට ඉඩ නොතබන බවයි ගැටුම් වලින් පීඩාවට පත් ජනතාව ඉදිරියේ අවධාරණය කර සිටියේ, ගැටුම්වලින් හානියට පත් බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල සංචාරයක නිරත වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා ඒ බව කියා සිටියේය.

හානියට පත් නගර යළි ගොඩනැගීමට පෙර ගැටුම්වලට සහභාගී වූ හා ගැටුම් මෙහෙයවූ පුද්ගලයන්ට දඬුවම් ලබා දිය යුතු බව ප්‍රදේශවාසීහු විපක්ෂනායකවරයා ඉදිරියේ ප්‍රකාශ කළ බව මාධ්‍යවේදී රත්න ශ්‍රී ගමගේ සංදේශයට කියා සිටියේය.

අලුත්ගම සහ බේරුවල පැවති ගැටුම් සහ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරන බවත් විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.@bbc

(More Read)

දැන්

දර්ගා නගරයේ ඇති කළ ව්‍යසනය පිළිබදව එසේ කීව් එවකට විපක්ෂනායකවරයා දැන් ලංකාවේ අගමැතිවරයාය.

වසරක් ගත වී තිබේ.

එම බිහිසුණූ රාත්‍රිය උදාවීමට පෙර බොදුබල සේනාවේ තක්කඩියන් එම ප්‍රදේශයට ගොස් කළ තර්ජනයන් මුලු ලොවම දුටුවෝය. පසුව ඇදිරි නීතිය දමා තිබිය දී, හමුදාව සහ පොලීසිය ද බලා සිටියදී මුස්ලිම්වරුන්ගේ ගෙවල් දොරවල් ගිණි තබමින්, ඔවුන්ට පහර දෙමින් ජීවිත කිහිපයක් බිලි ගත් හැටිත් දැන් ලෝකයට වසන් කිරීමට නොහැකිය.

එබැවින් එදවස විපක්ෂනායක අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාණෙනි, ඔබ හදුනනවා කිව් ඒ මැරයන් දැන් වත් නීතිය හමුවට පමුණුවා යහපාලනය ක්‍රියාවෙන් තහවරු කිරීම ඔබ හමුවේ ඇති වගකීමකි.

දර්ගා ව්‍යසනයෙන් වසරක් ඉක්ම යන මොහොතේ හෝ ඔබට එය කළ නොහැකි වුවහොත් ජාතික සමගිය, ආගමික සහජීවනය වැනි වචන සමග හෙට ඔබ පුරවැසියන් හමුවට යන විට දෙවරක් සිතන්න. මක්නිසාද යත්, අවසානයේ රටේ අනාගතය තීන්දු කරන්නේ සක්‍රීය පුරවැසියන් නිසාය.