දින කිහිපයක් ගත වී ඇත. විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යය මංගල සමරවීර මහතා පිළිගත හැකි කරුණු සහිත අදහස් ඉදිරිපත් කරමින් තමන්ට එරෙහිව නැගෙන ප්‍රතිරෝධය යටපත් කිරීම සඳහා යොමු වී සිටිනු දැක ගත හැකිය. විශේෂයෙන්ම ඒ මහතා ලන්ඩනය මුලස්ථානය කරගනිමින් ක්‍රියාත්මක වන ගෝලීය දෙමළ සංසදය හා දෙමළ ජාතික සංධානය සමග පැවැත් වූ කතා බහට තම දායකත්වය සැපයීම සම්බන්ධයෙන් මතු වී ඇති අර්බුදය සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිලි කරමින් සිටින්නේය. සමරවීර මහතා, ඔවුහු හමුවූ පළමුවතාව මෙය නොවේ. සැබවින්ම, අදාළ කාරණය සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමේදී ඔහු දැඩි වෙහෙසට පත් වී ඇති සැටියෙකි.

ප්‍රායෝගික දේශපාලනය සහ න්‍යායික දේශපාලන සිහිනය අතර සමරවීර මහතා සිරවී සිටින සැටියෙකි. න්‍යාය තුළ සිහින දැක ඒවා ඒ ආකාරයෙන්ම ප්‍රායෝගික ලෝකයේ ක්‍රියාත්මක කිරීමට යෑමෙන් තම ට්‍රෝජන් වීරත්වය කුඩුපට්ටම් වී යන්නේය. ඉන් සිදුවන හානිය වූ කලී රාජපක්ෂ විසින් පෝෂණය කරනු ලැබූ ශුද්‍ර ගෝත්‍රික දේශපාලනයට විශාල ඉඩක් යළිත් ලැබීමය.

මේ අතර අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ වචන 206කින් සමන්විත නිවේදනය සඳහා ඊට සහභාගී වූ ප්‍රධාන පාර්ශවයන් දෙක අත්සන් තබා ඇත. වත්මන් ආණ්ඩුවේ “වාසනාවට” ආණ්ඩුව පාර්ශවයෙන් කිසිවෙකු ඊට අත්සන් තබා නැත. නමුත් ආණ්ඩු පාර්ශවයේ නියෝජනය ගැන අදාළ නිවේදනය ඉතාමන් ප්‍රඥාගෝචර ලෙස තම බස හසුරුවා ඇත. නිවේදනය මඟින් ආණ්ඩුව අසමත් වී ඇති කාරණා ඍජුව ප්‍රකාශ නොකිරීමට සහ අදාළ සංසදයට අවශ්‍ය අරමුණු වෙත ලංවීමට අවශ්‍ය මාර්ගය තනාගෙන ඇත. එය සැබවින්ම විනයානූකුල බසකින් ලියනු ලැබූ කෙටි නමුත් ගැඹුරු පණිවිඩයකි.

එය මෙරට දේශපාලනයට සම්බන්ධ කිරීමට සහ රටේ සාමාන්‍ය ජනතාවට තේරුම් කරදීමට කෙතරම් දුරට සමත් වන්නේද? ඊට පෙර සතුරු පාර්ශවය විසින් එවැනි න්‍යායික කාරණා විකෘතිකොට සාමන්‍යය ජනතාව උසී ගැන්වීමට සමත්වන්නේද? යන්න තේරුම් ගැනීම සඳහා අපට ප්‍රමාණවත් සාක්ෂි ඕනෑ තරම් ඉතිහාසය පුරා ඇත. දේශපාලනය වූ කලී එයයි.

මතුවෙමින් පවතින තත්වය ඉතාම කිට්ටු වන්නේ, මංගල සමරවීර මහතා සහ අදහගැනීමට නොහැකි රිය අනතුරකින් මරණය පත් වූ හිටපු නියෝජ්‍යය අමාත්‍ය ශ්‍රීපති සූරියාරච්චි මහතා එකල මුහුණ දුන් තත්වයටය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මංගල සහ ශ්‍රීපති එළවීම සඳහා පාදක කරගනු ලැබුවේ මේ හා සමාන දේශීය වට පිටාවකි. එකල එල්. ටී. ටී. ඊ. සංවිධානය සක්‍රීයව පැවති අවධිය විය.

තමන්ගේ මනස කෙතරම් ගැඹුරු සහ අව්‍යාජ මෙන්ම විචක්ෂණ වුවද, ඔබ වෙසෙන පරිසරයේ සහ ඔබ අත් විඳින සමාජ ක්‍රමයේ යතාරූපීබාවය තේරුම් ගැනීමට නොහැකි වන්නේ නම් ඔබට යා හැකි මාර්ගය ඉතා කෙටිය. එම කෙටි මාර්ගය තුළ අතිශය ප්‍රසිද්ධියට පත් විය හැකි වුවද තමන් සිදු කරන බොහොමයක් දෑ යටපත් කොට එමඟින් ඔබේ දේශපාලන උපායන් කුඩුපට්ටම් කිරීමට ප්‍රතිවාදියාට හැකි වේ. මංගල සහ ශ්‍රීපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවය නිර්මාණය කිරීමට පසුබිම වූ මූලික ශෝකජනක කථාව ලියවී තිබුණේ එම රාමුවට යටත්වය. ඊට වැඩිදුර යෑමට නොහැකි විය. එය හිටි අඩියේ කඩාවැටෙන විට අපේක්‍ෂා කළ මහජන නැගිටීමවත් සිදු වූයේ නැත.

එසේම ඉන් වසර කිහිපයකට පසු සමරවීර මහතාගේ දේශපාලනයට හාත්පසින්ම වෙනස් වූ දේශපාලන ප්‍රවාහයකට මුලාරම්භය ලබා දුන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන්ද සිදු වූයේ එයයි. ෆොන්සේකා මහතාට බහුතර ජනතාව හමුවේ දිගාවීමට පළල් අවකාශයක් තිබුණු බව සැබෑය. නමුත් ඔහු ජනාධිපතිධූර අපේක්ෂකයා වශයෙන් තරග කළ පසු ප්‍රතිඵල නිකුත්කරන මොහොතේදී මුහුණ දුන් යතාර්ථයක් තිබුණි. ඔහුගේ දියණියන් සමාජ වෙබ් ජාලයන් ඔස්සේ ජනතාවට පාරට පසින්න යැයි බැගෑපත් වුවද ඔවුහුට උරුම වූයේ අපේක්‍ෂාභංගත්වයට පත්වීම පමණි.

මෙහිදී තේරුම් ගත යුතු මූලික කාරණය වූ කලී, වත්මන් තත්වය එකල තිබුණු තත්වයටත් වඩා හාත්පසින්ම වෙනස් බවයි. මහින්ද රාජපක්ෂ පරිපාලනය පරාජය කිරීම වූ කලී ජනතාවගේ ජයග්‍රහණයක් වනබව සැබෑය. නමුත් බහුතර ජනතාව එවැන්නක් සිදු වනු ඇතැයි විශ්වාස කිරීමට පවා මැළිකමක් දැක්වූහ. එය තම ප්‍රචාරණ ව්‍යාපෘතිය ඔස්සේ හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා නිර්මාණය කොට ග්‍රාමීය මට්ටමින් පවා පැළපදියම් කරනු ලැබූ කාරණයක් විය. එබැවින්, ඔහුගේ පරාජය ග්‍රාමීය මට්ටමට යනවිට සියුම් සතුටක් සමග කුතුහලය ලබා දුන් සිදුවීමක් විය. එම කුතුහලය දේශපාලන උභතෝකෝටිකයකට මග පෑදුවේය. එය, වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය ගැන නොයෙකුත් සැක සංකා නිර්මාණය කළේය. විසඳිය යුතු මුලික ගැටලුව නිර්මාණය වී ඇත්තේ අප ජීවත් වන භූමියේ මිස, “පාට් ටයිම්” දේශපාලන ක්‍රියාකාරිකයින් පිහිටුවාගත් විවිධ සංවිධාන ඔස්සේ නොවේ.

දෙමළ ඩයස්පෝරාව හෝ ඩයස්පෝරාව ( එවැන්නක් සැබෑ ලෙස තිබේනම්) දිනාගැනීම වූ කලී අවශ්‍යතාවයක් බව සැබෑය. නමුත් එය කළ යුත්තේ භූමියේ දේශපාලන තත්වය ගැන මනා අවබෝධයකින් පසුය. ඩයස්පෝරාව දිනා ගැනීමට පෙර, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීමට දායකත්වය ලබාදුන් සාමාන්‍යය දෙමළ සහ මුස්ලිම් වැසියන්ගේ මූලික ගැටලු විසඳීම අත්‍යවශ්‍ය වන අතර එමඟින් භූමියේ ඇතිකරන අකල්පමීය වෙනස හමුවේ තම අභියෝග ජයගැනීම පහසුය.

මේ අනුව සමරවීර මහතා ඩයස්පෝරා සමුළුවක් පැවැත්වීම අරමුණු කරගෙන ගමන් ගන්නා දේශපාලන ප්‍රවාහය තේරුම් ගත හැක්කේ කෙසේද? එය සරල ලෙස කිවහොත් තනි කකුලෙන් හෙල්ලෙන පාලමක ගමන් කිරීම හා සමාන වේ. අදාළ පාලමේ චලනය මෙන්ම ඊට පහලින් ගලන ගංගාවේ ජල ප්‍රවාහයේ වේගය නොදැන සහ නොමැන ගමන් කිරීමකට සමාන වේ. විදේශ කටයුතු අමාත්‍යංශය මේ වන විටත් යහපාලනයෙන් මුක්ත වී එකිනෙකාගේ ස්වයංපාලන කලාප නිර්මාණය වී ඇති උපකුලක රාශියකින් සමන්විත, කුලකයක් බවට පත් වී තිබේ. එසේම විසඳීම සඳහා පොරොන්දු වූ බොහොමයක් කාරණා දේශපාලන ගුණ්ඩු අතර සිර වී තිබේ.

පළමුව ලෝකයට පෙන්විය යුත්තේ, රටේ සාමන්‍යය ජනතාවගේ ගැටලු විසඳීම සඳහා ආණ්ඩුවට සහ එහි නායකත්වයට වුවමනාවක් සහ වැඩපිළිවෙලක් තිබෙන බවය. බරපතල ලෙස විවේචනයට ලක් වී ඇති මෙරට අභ්‍යන්තරය ව්‍යුහය ගැන නිවැරදි චිත්‍රයක් ලෝකය හමුවේ පෙන්විය යුතුය.

එහි අතුරු කටයුත්තක් ලෙස අදාළ සංවිධාන, සංසද ආදිය සමඟ කථා කළ හැකිය. නමුත් මෙකි කිසිඳු සංවිධානයක සාමාජිකයෙක් විද්‍යාගේ ඝාතනයේදී ස්වාධීන පරීක්ෂණයක සහ අපක්ෂපාති අධිකරණ ක්‍රියාදාමයක් ඉල්ලා කිසිඳු ප්‍රකාශයක් නොකළහ. මන්ද, විද්‍යා ඝාතනයට ලක්වූයේ දෙමළ ජාතික අපරාධකාරයින්ගේ අතිනි. එවැනි දෑ ප්‍රකාශ කිරීමෙන් තම මුලික ව්‍යුහීය උපායන් දෙදරා ගොස් සිංහල, දෙමළ, මුස්ලිම් නොව මෙහි වෙසෙන සියලු දෙනාටම ඇති පොදු ගැටලුව මතුපිටට පැමිණෙන බැවිනි. එවිට තමන්ගේ පැවැත්ම සහ ආස්ථානය අහිමි වන බැවිනි. ඊට බොහෝ දෙනා බියය. ඩයස්පෝරාව වැනි වාග්මාලාවන් මෙරට දේශපාලනයේ හොල්මන් කරන්නේ එහි අතුරු ප්‍රතිඵලයක් ලෙසය.

මෙම අර්ථයෙන් ගත්කළ, ලන්ඩනයේ පැවැත්වූ සාකච්ඡා සඳහා සමරවීර මහතා තමන් වෙනුවට තම නියෝජිතයෙකු, උදාහරණයක් ලෙස එරට සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස්, යොමු කළේ නම් වඩා වැදගත්ය. එසේම කොළඹදී ඩයස්පෝරා සමුළුවක් පැවැත් වීමට ප්‍රථම වත්මන් ආණ්ඩුවට ගමන්කළ යුතු දිගු ගමනක් තිබේ. මෙවැනි සමුළු සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවට ශතයක් හෝ වියදම් කිරීමට සිදු නොවනු ඇත.සම්පූර්ණ වියදම විවිධ තානාපති කාර්යාල සහ විවිධ සංවිධාන විසින් “අනාගත සංහිදියාව” නාමයෙන් දරණු ඇත. නමුත් නොමිලේ ලැබෙන බොහොමයක් දෑ තුළ ඇති සැබෑ දේශපාලන වුවමනාව තේරුම් නොගත හොත් මෙම ආණ්ඩුවට සිදුවන දේ සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.

එක්සත් ජාතීන්ගේ 29 වන මානව හිමිකම් සැසිය ඊයේ ( ජුනි 15) ජිනීවා නුවරදී ආරම්භ කරමින් එහි මහා කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තම ස්ථාවරය සඳහන් කොට ඇත. එහිදී වත්මන් තත්වය ගැන වඩාත් ධනාත්මකව කතාකොට ඇති හෙතම සැප්තැම්බර් මාසයේ ඔහු විසින් එළිදැක්වීමට නියමිත වාර්තාව ගැනද කියා ඇත. ඔහු නොකියා කියන දේ වූ කලී, තමන්ගේ ප්‍රශ්න තමන්ට විසඳා ගැනීම සඳහා අව්‍යාජ වැඩපිළිවෙලක් සහ ශක්තියක් තමන්ට තිබෙන බව වත්මන් ආණ්ඩුව පෙන්විය යුතු බවයි. මේ ආණ්ඩුව මෙම ප්‍රවේශම් සහගත ගමන යා යුත්තේ රටේ වෙසෙන සාමාන්‍ය ජනතාව අතර විශ්වාසය ඇති කිරීමෙන් මිස තමන්ගේ බර කිරීමට පිටින් තරාදි මිලදී ගැනීමෙන් හෝ නොමිලේ ලැබෙන තරාදි වල එල්ලීමෙන් නොවේ.

nilantha-profileනිලන්ත ඉලංගමුව | Nilantha Ilangamua