සිංහල, Democracy, Election, Featured Articles, Jaffna, Peace and reconciliation

උතුරේ ඡන්ද ප්‍රකාශ කිරීම පහත වැටුනේ මෙහෙමයි

වසර තිහක කාලයක් තිස්සේ ලංකාවේ පැවති යුද ගැටුම් වලින් වැඩිම පීඩාවක් විදි උතුරු පළාතේ ජනතාව මෙවර මහ මැතිවරණයේදී නිදහසේ සිය පාර්ලිමේන්තු නියෝජිතයා තෝරාගැනිමට සූදානමින් සිටියේය. යුද ගැටුම් නොමැතිව පවත්වන පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ගේ ඡන්දය නිදහසේ භාවිතා කිරීමට උතුරු පළාතේ ජනතාව බලාපොරොත්තුවෙන් සිටි නමුත් ඔවුන්ට ඒ ආකාරයට නිදහසේ තමන්ගේ ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලැබුනේ නැත. තමන් කැමති නියෝජිතයා පාර්ලිමේන්තුවට යැවීමේ බලාපොරොත්තුවෙන් සිය ඡන්දය භාවිතා කිරීමට කිළිනොච්චියේ පොකුරු ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණි කිළිනොච්චි වැසියන් බොහෝ දෙනෙකුට නැවත හැරීයාමට සිදුවූයේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබීම නිසාය.
පසුගිය ජනාධිපතිවරණයේදී කිළිනොච්චියේ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් නොපැමිණි නමුත් මෙවර තත්ත්වය ඊට වඩා වෙනස්ව තිබුනේය. පොකුරු ඡන්ද මධ්‍යස්ථාන වෙත බොහෝ දෙනා පැමිණ සිටියේ තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ සූදානම ඇතිවය. මෙසේ ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් පැමිණි බොහෝ දෙනාට පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ ඡන්ද මධ්‍යස්ථානය වී තිබුනේ මේ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයයි. මෙම පොකුරු මධ්‍යස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් පැමිණි බොහෝ දෙනා වව්නියාවේ පිහිටි අවතැන් කදවුරුවල කාලය ගතකර පසුව කිළිනොච්චියේ පදිංචිකරන ලද පුද්ගලයෝය. මොවුන් ඡන්දය භාවිතා කිරීමට ගිය අවස්ථාවේදී ඡන්ද නාම ලේඛනයේ ඔවුන්ගේ නම් සදහන්ව තිබුනේ නැත. මීට පෙර සිටි අවතැන් කදවුරට ගොස් ඡන්දය ප්‍රකාශ කරන්නැයි අදාල බලධාරීන් මොවුන්ට පැවසුවේය.
’‛මම දැන් පදිංචිව ඉන්නේ අක්කරායකුලම් ආනවිලන්දායි ප්‍රදේශයේ. එතැනට එන්න කලින් සෙට්ටිකුලම් අරුණාචලම් කදවුරේ හිටියා. මේ පාර ඡන්දය දාන්න කිළිනොච්චියේ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයට ආවා. ඒත් දැන් මෙතැන අපිට ඡන්ද නැහැ කියලා කියනවා. අපේ ඡන්දය තියෙන්නේ කලින් පදිංචිවෙලා සිටි අවතැන් කදවුරේ කියලා කියනවා. ඡන්දය දාන්න ඕනනම් අවතැන් කදවුරට ගිහිල්ලා ඡන්දය දාන්න කියලා කියනවා.’’ කිළිනොච්චි මධ්‍යමහා විද්‍යාලයේ තිබූ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අදහසින් පැමිණ සිටි කේ. චන්ද්‍රකුමාර් කීවේය.
කිළිනොච්චියේ පිහිටි පොකුරු ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණෙණ තුරු තමාට ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ඡන්ද මධ්‍යස්ථානය පිළිබද කිසිදු තොරතුරක් නොලැබුණ බවද ඔහු පැවසුවේය. ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍යනම් සෙට්ටිකුලම අවතැන් කදවුරට ගොස් ඡන්දය ප්‍රකාශ කරනැන්නැයි මැතිවරණ බලධාරීන් ඔහුට පවසා තිබේ. එහෙත් කිළිනොච්චියේ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයේ සිට වව්නියාවේ පිහිටි අවතැන් කදවුරු වෙත යාමට වාහන ලබාදී තිබුනේ නැත . මේ නිසා ඔහුට මෙවර මැතිවරණයේදී තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබුනේ නැත .
’‛මාත් එක්ක අපේ ගමේ පනස් දෙනෙක් විතර ඡන්දය දාන්න කිළිනොච්චියට ආවා. ඒ අයටත් ඡන්දය දාන්න ඕනනම් වව්නියාවට යන්න කියලා තිබුනා. ඒ කිසිම කෙනෙක්ට ඡන්දය දාන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. ඡන්දය දාන්න අවස්ථාවක් ලැබුනේ නැති අපි සියලුදෙනාම නැවත ගමට යනවා’’ චන්ද්‍රකුමාර පැවසුවේය.
නැවත පදිංචි කළ පුද්ගලයින්ට අවතැන් කදවුරු වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කළ යුතුව තිබුනත් අවතැන් කදවුරුවල සිටින ඇතමුන්ට ඡන්දය ප්‍රකාශකිරීමේ මධ්‍යස්ථානය වශයෙන් සදහන්ව තිබුනේ කිළිනොච්චිය පොකුරු ඡන්ද මධ්‍යස්ථානයයි. ඒ නිසා තවමත් වව්නියාවේ පිහිටි අවතැන් කදවුරුවල සිටින පුද්ගලයින් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා කිළිනොච්චිය පොකුරු ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණියේය. එහෙත් පොකරු ඡන්ද මධ්‍යස්ථානයේදී ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබුනේ නැත . ඒ එහි ඡන්ද නාම ලේඛනයේ ඔවුන්ගේ නම් සදහන් නොවූ නිසාය.
’‛කිළිනොච්චියේ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයට ඇවිත් ඡන්දය දාන්න පුලුවන් කියලා කියපු නිසා අපි මෙතැනට ආවා. අන්තිමේදී අපිට කදවුරේදී ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබුනේත් නැහැ. මෙතැනට ඇවිත් ඡන්දය දාන්න අවස්ථාවක් ලැබුනේත් නැහැ.’’ කිළිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් පැමිණ එම අවස්ථාව අහිමිවී ගිය සුබ්‍රමනියම් ආරුමුන්දන් කීවේය.
මෙසේ ඡන්දය ප්‍රකාශ කිරීමට කිළිනොච්චියට පැමිණ සිටි ඇතැම් අය පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර තිබුනේ කිළිනොච්චියේදීය. එහෙත් ඔවුන් මෙවර කිළිනොච්චියේ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද නාම ලේඛනයේ ඔවුන්ගේ නම් සදහන්ව තිබුනේ නැත .
’‛ජනාධිපතිවරණයේදී මම ඡන්දය දැම්මේ කිළිනොච්චියේදී. මේ පාර ඡන්දය දාන්න කිළිනොච්චියට ආවාම මෙතැන මගේ නම නැහැ. මට ඡන්දය තියෙන්නේ කොහේද කියලා දන්නේ නැහැ’’ සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචි කනකතිපිල්ලේ ත්‍යාගරාජා කිවේය.
මැතිවරණ නීති අනුව මැතිවරණය පැවත්වෙන දිනයේදී ඡන්ද ප්‍රචාරක කටයුතු තහනම් වෙයි. එමෙන්ම කිසියම් පක්ෂයකට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටීමද තහනම් වෙයි. එහෙත් කිළිනොච්චියේ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයට මෙම නීතිය අදාල නොවූ ආකාරයක් දිස්විය. එම පොකුරු ඡන්ද මධ්‍යස්ථානය තුළ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් සිය පක්ෂයට ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා තිබුනේය. එලෙස ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා තිබුනේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ ලාංඡනය සදහන් පත්‍රිකා ලබාදෙමිනි.
’‛මේ අයට ඡන්දය දෙන්න කියලා පක්ෂ ලාංඡන තියෙන පත්‍රිකා දෙන්නේ ඡන්ද මධ්‍යස්ථාන තුළ සිටිමින්මයි.’’ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටි විතානවසම් ජයසිංහ කීවේය.
එක් නිවසක පදිංචිව සිටින සැමියාට හා බිරිදට ස්ථාන දෙකක ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවන්නේ නැත .එහෙත් මෙවර එවැනි සිදුවීමක් කිළිනොච්චියෙන් වාර්තාවිය.
’‛මගේ මහත්තයාට ඡන්දය තියෙන්නේ කිළිනොච්චියේ පොකරු ඡන්ද මධ්‍යස්ථානයේයි. ඒත් මම ඡන්දය දාන්න ගියාම අවතැන් කදවුරට ගිහින් ඡන්දය දෙන්න කියලා කියනවා.’’ සතාසිවම් පාර්වතී කීවාය.
මේ නිසාම කිළිනොච්චියේ ඡන්ද ප්‍රකාශ කිරීම ඉතා පහත් තත්වයක පැවතියේය. කිළිනොච්චිය මධ්‍යමහා විද්‍යලයේ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද 7504 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත තිබූ අතර එයින් ඡන්දය ප්‍රකාශ කර තිබුනේ 362 ක් පමණ.ි
යාපනයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පැවතිවයේ අඩු තත්වයකය. මැතිවරණ දිනයේදි යාපනය නගරය සාමාන්‍ය තත්වයෙන් පැවති අතර ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩි උනන්දුවක් දක්වා තිබුනේ නැත. . යාපනය නගරයේ ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවලට ඡන්ද දායකයින් දෙදෙනෙක් පැමිණ ඡන්දය ප්‍රකාශ කළ නමුත් ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩි උනන්දුවක් දක්වා තිබුනේ නැත . යාපනය නගරයේ ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන පාලුවට ගොස් තිබුණි.
යාපනය නගරයේ මෙන්ම නගරයෙන් පිටත දූපත්වලද ඡන්දය ප්‍රකාශ කිරීමේ තත්ත්වයද මේ ආකාරයේ විය. ඡන්දය ප්‍රකාශ කිරීමට ඔවුන් වැඩි උනන්දුවක් දැක්වූයේ නැත .
යාපනයේ තිබෙන දූපත්වල පදිංචි ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩි උනන්දුවක් දැක්වූයේ නැතත් දේශපාලඥයින් උනන්දුවෙන් යුතුව එහි මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකර තිබුනේය. මැතිවරණ දිනය වන විටත් මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම ඔවුන් අවසන් කර තිබුනේ නැත . මැතිවරණයට පෙර ඇලවූ පෝස්ටර් හා කටවුට් එහි ඒ ආකාරයෙන්ම විය.
‛‛ඡන්දෙට කලින් දවසේ ඩග්ලස් දේවානන්ද ඇමතිවරයා ඇවිත් මෙහේ රැස්වීමකුත් පැවැත්වුවා. ඒ වගේම යාපනයේ තියෙන කේබල් ටී.වී. චැනල් එකකින් ඔහුට ඡන්දය දෙන්න කියලා ඉල්ලා ප්‍රචාරක වැඩසටහනක්ද පැවැත්වුවා’’ නම සදහන් නොකරන ලෙස ඉල්ලා සිටි මන්ඩතිව් දූපතේ අයෙක් කීවේය. ඔහුගේ බලාපොරොත්තුව වී තිබුනේ ආයුධ සන්නද්ධ කල්ලිවල බලපෑමට යටත් නොවී ජීවත්විය හැකි පරිසරයක් ඇතිකරගැනීමය.
මෙරව මහ මැතිරවණයේදී සමස්තයක් වශයෙන් ලංකාව පුරාම ඡන්දය ප්‍රකාශ කිරීම අඩු තත්වයක තිබුනේය එහෙත් උතුරු පළාතේ ඡන්දය ප්‍රකාශ කිරීම සැලකිය යුතු අන්දමින් පහළ ප්‍රතිශතයක් ගෙන තිබුනේය.