විවාදාපන්න බැඳුම්කර නිකුතුවේ ප‍්‍රතිඵලයක් වශයෙන් ආර්ථිකයට සිදුවී ඇති අලාභය මැණීමට හිටපු මහබැංකු අධිපති අජිඞ් නිවාඞ් කබ්රාල් විශේෂ උනන්දුවකින් කටයුතු කරනු දැකීම අප තුළ දනවන්නේ විමතියකි. එම බැඳුම්කර නිකුතුව නිසා ඇති වූ විකෘතිතා හේතුවෙන් ඇති වූවා යැයි කියන පොලී අනුපාතයේ වැඩි වීම නිසා නිවාස ණය ලබාගන්නා සාමාන්‍ය ජනතාවට අත්වී ඇති පාඩුව ගැන ඔහු කතා කරන්නේ මහත් අනුකම්පාවකිනි.

සේවක අර්ථසාධක අරමුදල් සම්බන්ධයෙන් වගකිව යුතු වූ මූල්‍ය මණ්ඩලයේ සභාපති වශයෙන් ඔහු සිටියදී, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සුභසිද්ධිය ගැන ඔහු මෙතරම් අනුකම්පා සහගත නොවීම උත්ප‍්‍රාසය දනවන්නකි. මහබැංකු අධිපතිවරයා වශයෙන් සේවක අර්ථ සාධක අරමුදලේ සල්ලි කොටස් වෙළඳපොළේ ආයෝජනය කර ඇති ආකාරය, ඇතැම් අවස්ථාවක, මොනම තර්කයකටවත් අනුගත වුණේ නැත. එවැනි ආයෝජන සිදු කෙළේ මොන පදනමක් මතදැයි මූල්‍ය කටයුතු සම්බන්ධ යම් දැනුමක් ඇති කිසිවෙකුට වටහාගත හැකි නොවේ.

සේවක අර්ථසාධක අරමුදලේ සල්ලි, කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම නිසා ඇති කර ගත් මූල්‍යමය පාඩුව, 2012 අර්ථ සාධක අරමුදලේ වාර්ෂික වාර්තාව කියවා බැලීමෙන් දත හැකිය. 2012 දෙසැම්බර් 13 වැනි දා වන විට සේවක අර්ථසාධක අරමුදලේ කොටස් ප‍්‍රාග්ධනය මිලියන 54,597.3 කි. මේ මුදල ලබා ගැනීම සඳහා වැය කොට ඇති මුදල රුපියල් මිලියන 62,914.3 කි. ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදලට සිදු වී ඇති පාඩුව, රුපියල් බිලියන 8.317 කි. මේවා ඉතා සැක කටයුතු ගනුදෙනු ය.

ද ෆිනෑන්ස් සමාගම

2012 දී ‘ද ෆිනෑන්ස්’ සමාගමේ කොටස් ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් මිළදී ගත් විට එදා එම බැංකුවේ සභාපති වශයෙන් සිටි ප‍්‍රදීප් කාරියවසම්ට වුණු දේ කවුරුත් දනිති. මේ ගනුදෙනුව ගැන විශාල මහජන විරෝධයක් නැගී ආ අතර, ප‍්‍රදීප් කාරියවසම්ට සභාපති තනතුරින් ඉල්ලා අස්වීමට සිදුවිය. එහෙත් කබ්රාල් ඉල්ලා අස්වුණේ නැත. ඔහු දිගටම මහබැංකුවේ අධිපති වශයෙන් සිටියේය. ‘ද ෆිනෑන්ස්’ සමාගමේ කොටස් මිළදී ගැනීම ජාතික ඉතිරි කිරීමේ බැංකුව කළ වරදක් නම්, එම වැඬේම සේවක අර්ථසාධක අරමුදලෙන් කළ විට නිවැරදි වන්නේ කෙසේද?

ගලදාරී හෝටලය

ජයන්ත ධර්මදාසගේ නවලෝක රෝහලට අයත් ගලදාරී හෝටලේ විශාල කොටසක් සේවක අර්ථසාධක අරමුදලේ සල්ලිවලින් මිළදී ගන්නා ලදි. ගලදාරී හෝටලය යනු, එදා පවා හතර අතේ ණය වී සිටි ව්‍යාපාරයකි. එහි කොටස්කරුවන්ට ඒ වන විට වසර ගණනක් තිස්සේ ලාභාංශ බෙදා දීමක්ද සිදුවී තිබුණේ නැත. එවැනි පසුබිමක් තුළ එම හෝටලයේ කොටස්, සේවක අර්ථසාධක අරමුදල මගින් මිළදී ගත්තේ ඇයි? වැඩ කරන ජනතාවගේ විශ‍්‍රාම මුදල්, ලාභාංශ නොලැබෙන ව්‍යාපාරවල ආයෝජනය නොකිරීම සාමාන්‍ය සිරිතයි. දැන් මේ ගනුදෙනුවට පස් වසරක් ගෙවී ගොස් ඇතත්, මේ වන තෙක් එම ආයෝජනයෙන් සතයක හෝ ලාබයක් සේවක අර්ථසාධක අරමුදලට ලැබී නැත. ජයන්ත ධර්මදාස තමන්ගේ කොටස් මෙසේ සේවක අර්ථසාධක අරමුදලට විකිණීමෙන් විශාල ලාභයක් ලබාගත්තේය. ඇත්තෙන්ම මේ ගනුදෙනුවෙන් ගොඩ ගියේ ඔහු ය.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවාව

ජාතික ගුවන් සේවාවේ වර්තමාන මූල්‍යමය තත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැත. පසුගිය ආණ්ඩුව යටතේ මේ ගුවන් සේවාවට සිදුවූ විනාශය, වැලිඅමුණ වාර්තාව ඉතා ලස්සණට පෙන්වා දෙයි. ගුවන් සේවා කර්මාන්තය යනු, බෙහෙවින් ප‍්‍රාග්ධන සූක්ෂම, අවදානම් සහගත ව්‍යාපාරයක් බව හොඳින්ම දැන සිටියදීත්, මේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවාව තුළට සේවක අර්ථසාධක මුදල් යෙදවීමට කබ්රාල් පසුබට වුණේ නැත. 2010 දී ශී‍්‍ර ලංකන් ගුවන් සේවය සඳහා සේවක අර්ථසාධක අරමුදල විසින් ආයෝජනය කොට ඇති රුපියල් මිලියන 500 න් එක සතයක හෝ ලාබයක් එම අරමුදලට ලැබී නැති බව, පාර්ලිමේන්තුවේ මහජන ගිණුම් කාරක සභාව නිරීක්ෂණය කොට තිබේ.

මූල්‍ය මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් තමා මේ ගොබ්බ ගනුදෙනු අනුමත කෙළේ මන්දැයි කබ්රාල් රටට පැහැදිළි කළ යුතුව තිබේ. දශක ගණනක අත්දැකීම් සහිත ගණකාධිකාරීවරයෙකු වශයෙන් මීට වඩා සැළකිල්ලෙන් ඔහු කටයුතු කළ යුතුව තිබුණි.

අර්ජුන මහේන්ද්‍රන්ව මහබැංකුවේ අධිපතිවරයා වශයෙන් පත්කිරීමේ යෝග්‍යතාව ගැන දැන් කබ්රාල් නොයෙක් ප‍්‍රශ්න මතුකරයි. උසාවියෙන් වැරදිකරුවෙකු කළ අපරාධකරුවෙකු වන ලක්ෂමන් හුලූගල්ලේව, ලංකාවේ තිබෙන ලොකුම වාණිජ බැංකුවේ සභාපති තනතුරට පත්කෙළේ වෙන කිසිවෙකු විසින් නොව, කබ්රාල් විසින්මයි. අනිත් අයට ඇඟිල්ල දිගු කිරීමට කලින් කබ්රාල් කළ යුත්තේ කණ්නාඩියක් ඉදිරියට ගොස් තමාගේ දිග පළල බලාගැනීමයි.

අශෝක මිහිඳ

*2015 ජුනි 25 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ Cabraal’s Crocodile Tears නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි
| Image Credit:readsrilanka