ජනවාරි 08 වැනි දින ජනතා ජයග්‍රහණයෙන් පසු ඇතිවූ කම්පනය, තැතිගැන්ම නිසාම ඇතිවූ බිය ඉදිරියේ මද කලකට පසුබා සිටි මහින්ද කල්ලිය නැවත හිස එසවීම ඇරඹුවේ හෙමිහිට තමන් සැගව සිටි හුඹස්වලින් එලියට එන සර්පයන් මෙනි. ඒ අලුතින් පත්වූ ආණ්ඩුවත් තමන් මෙන්ම පිස්සන් කඩු ගත් ආකාරයෙන් ක්‍රියාත්මක වනු ඇත යන ඔවුන් තුල වූ බිය කෙමෙන් පහව යන්නට පටන් ගත් බැවිනි. වෙනස යනු පෙර තිබූ මැර දේශපාලනය ඒ ආකාරයෙන්ම ගෙන නොයාම බව මෛත්‍රී පැහැදිලිව ක්‍රියාවෙන්ම පෙන්වනු ලැබීය. තම ප්‍රතිවාදීන්ට තලා පෙලා අඩම්තේට්ටම් කරන අත්තනෝමතික ක්‍රියාදාමය වෙනුවට නීතිය මත ක්‍රියාත්මක වන රටක් දෙසට රට මෙහෙයවීමට නව රජය කරන උත්සාහය එතෙක් රටේ බලය තම පුද්ගලික දේපළක් බවට පත්කරගෙන සිටි මහින්ද සහචරයන්ට පෙනුනේ බෙලහීන කමක් ලෙසිනි. ඒ ඔවුන් මෙතෙක් තමන් ප්‍රගුණ කළ රාජ්‍ය ක්‍රමයක් වූ ප්‍රචන්ඩත්වය සහ බිය සමාජය තුල රජකරවීම අනුගමනය නොකළ බැවිනි. මහින්ද මැර කල්ලිය නව රජයේ මෙම ගුණාත්මක හරය දුර්වල කමක් ලෙස දකිනු ලැබීය.

මේ තත්වය තුල තමන් සැගවී සිටි ගුහා තුලින් එලියට ඇදෙන මොවුන් නුගේගොඩින්, රත්නපුරෙන්, අනුරාධපුරය ආදී තැන්වලින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් තමනට නැති බලයක් පෙන්වීම අරඹයි. ‘මහින්ද දිනවමු’, මහින්ද අගමැතිකරවමු’ ආදී සටන් පාඨ පෙරදැරි කරගෙන ඔවුන් රට පුරා සංවිධානාත්මකව තමනට නැති බලයක් මවා පාමින් ක්‍රියාත්මක වීම ඇරඹේ. තමන් ලංකා රාජ්‍ය තම අතට ගෙන සිටි අවධියේ රාජ්‍ය සම්පත් සහ දේපළ කඩාවඩා තම මලුවල පුරවා ගෙන සිටි මොවුන් දැන් එම මුදල් යහමින් වියදම් කරමින් මාධ්‍ය සංදර්ශන වෙනුවෙන් වැය කරමින් අලුත් නාඩගමක් අරඹා ඇත. ඔවුන්ගේ මවාපෑම් ඇස්බැන්දුම් වලට බස් සිය ගණනකින් සෙනග අදිමින් එකම කණ්ඩායමක් වරක නුගේගොඩදීත් වරක රත්නපුරේදී හෝ වරෙක කුරුණෑගලදීත් ආදී ලෙස මතු කරමින් පෙන්වන අතර දස දහසක් පමන සහභාගි වන රැස්වීමක් ඔවුන් හුවා දක්වන්නේ ලක්ෂ ගණනක් සහභාගි වූවා ලෙසිනි. ඒ සඳහා අවශ්‍ය ප්‍රචාරණය සඳහා ඔවුන්ගේ වන්දි භට්ට මාධ්‍යක් ඔවුන් බලයේ සිටි අවධියේ ගොඩ නගා ඇති අතර එය තවදුරටත් ක්‍රියාත්මක වන්නේ ඔවුන් සමගමය. මෙම මාධ්‍යකරුවන් මහින්ද කල්ලියේ අයථා තාන්‍න මාන්‍න සහ වාසි ලබාගත් ඔවුන්ගේම ගෝලයන්ය. ඔවුන් ජාතිවාදය සහ බොරුව තම මාධ්‍ය තුලින් ප්‍රචාරය කරමින් ජනතා විරෝධී මාධ්‍යකරණයක් තම හාම්පුතුන්ට සේවය කරන අයුරින් තව දුරටත් ක්‍රියාත්මක කරමින් පවතී. එදා ජනවාරි 08 වන දින වන විට මොවුන් සිටියේ මහින්ද කල්ලියට ආවඩමින් මෛත්‍රීට අපහාස කරමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බහුතරයද සිටියේ එතැනය. අදද මහින්ද ගේ ජයග්‍රහණය, මහින්ද අගමැති කරවමුයි කියමින් හඩ තලන්නේ මොවුන්මය. මේ සංදර්ශනවල මවා පෑම් සහ ඇස්බැන්දුම් සඳහා ගෙන යන දහ දහසක් පමණ පිරිස එකම කණ්ඩායමකි. අද එක නගරයකත් හෙට තවත් නගරයකත් මොවුන් එකම සටන් පාඨ හඬ තලමින් හඬ නගන්නේ තමනට නැතිව ගිය වරප්‍රසාද ලබා ගැනීම සඳහා සහ නීතිය ඉදිරියේ තමාගේ වැරදිවලට දඩුවම් ලැබීම වලකා ගැනීම සඳහාත්ය. මාධ්‍යකරුවන් සෑම රැස්වීමකම පිංතූර පුවත්පත්වලින් සහ රූපවාහිනී නාලිකාවලින් පෙන්වන්නේ මෙම රැස්වීම් ජන ගංගාවක් ලෙස හුවා දක්වමින්ය.

දැනට මාස 6 කට ඉහත ‘මහින්ද එපා’, මහින්දගේ හොර නඩයත් අපට එපා’, හොරු නීතිය ඉදිරියට ගෙන ආ යුතුය’, ‘නීතිය ආධිපත්‍ය මත ක්‍රියාත්මක වන රටක් අපට අවශ්‍යය’ යන්න වෙනුවෙන් මේ රටේ ලක්ෂ 62 ක් තම ඡන්දය පාවිච්චි කළ බව අප අමතක නොකළ යුතුයි. එදා මෙම ඡන්දය පාවිච්චි කරනු ලැබුවේ මහින්ද කල්ලිය කොතරම් ආධිපත්‍යක්, කොතරම් මවා පෑමක්, කොතරම් බිය වැද්දවීමක්, කොතරම් රාජ්‍ය බලය අපයෝජනය කිරීමත්, තම ජයග්‍රහණය සඳහා යොදාගෙන ක්‍රියාත්මක වූ අවස්ථාවකද යන බව අප අමතක නොකොළ යුතු වෙමු. එදා එතරම් බලයක් තුලත් එතරම් සංදර්ශන තුලත් මේ රටේ ජනයාගෙන් වැඩි පිරිස ඒ හොර කල්ලිය පලවා හැරීමට නොබියව තම ඡන්දය පාවිච් කරනු ලැබීය. එසේනම් අද මෙම මහින්ද කල්ලියේ ඇස් බැන්දුම් සහ මවාපෑම් ඉදිරියේ ඔවුන් දුර්වල් වේවිද? එදා බලය තම ඔටුන්න කරගෙන සිටි බලයෙන් ඉදිමී සිටි මහින්ද පැරදවූ ඒ ලක්ෂ 62ක් බුද්ධිමත් ඡන්ද දායකයා අද ඔහු වෙත නොහැරෙන බව සහතිකය.

නමුත් බොරුව වංචාව ප්‍රචන්ඩත්වය සහ මවාපෑම ලෝකය පුරා ෆැසිස්ට්වාදීන් සෑම විටම ජනතාව නොමග යැවීමටත් එතුලින් තමන්ගේ බලය තහවුරු කර ගැනීමටත් මාර්ගය කර ගත් බවත් අප අමතක නොකළ යුතුය. බොරු ප්‍රචාරයන් තුලින් ජනතාව තුල දෙගිඩියාවක් ඇති කිරීමත් මිතුරන් අතර මතභේද ඇති කිරීමටත් ෆැසිස්ට් වාදීන් වග බලා ගත් බව අප සිහියේ තබා ගත යුතු වෙමු. ඇස් බැන්දුම් සහ බොරුව තමනට නැති බලයක් පෙන්වා බලය ඩැහැ ගැනීමට ෆැසිස්ට්වාදීන් යොදා ගත් ආකාරයට හොඳ උදාහරණයකි නාට්සි ජර්මනිය. 1932 නොවැම්බර් ඡන්දයෙන් නාට්සි පක්ෂයට (ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය) ඡන්ද 33%ක් ලැබුනි. නමුත් ඔවුන්ගේ හඬනැගීම් සහ මවා පෑම් ඉදිරියේ එවකට ජනාධිපතිවරයා වූ හින්ඩන්බර්ග් 1933 ජනවාරි 30 වැනි දින හිට්ලර් ජර්මන් පාර්ලිමේන්තුවේ කාන්ස්ලර්වරයා ලෙස නම්කරනු ලබයි. මෙය තමනට බලය ඇල්ලීමට අවස්ථාව කරගත් හිට්ලර්ලා ජනවාරි 30 වෙනි දින රාත්‍රියේ තම බලයට වැඩි විශාල බලයක් පෙන්වමින් පන්දම් අතින් ගත් පෙලපාලි කරුවන් ජර්මන් පාර්ලිමේන්තුව ඉදිරිපිටින් ගමන් කිරීමට සලස්වයි. මෙම පෙලපාලියේ ගමන් කරන්නේ 15000ක් පමන වන SS සහ SA සාමාජිකයන් වන අතර මෙම පෙලපාලිය පැය 3 ක් තිස්සේ ගමන් කරවනු ලබයි. එමෙන්ම මෙම පෙලපාලිය ගමන් කරන අතරම ගොබෙල් විසින් බ්‍රේකින් නිවුස් විදිහට රූපවාහිනියෙන් ජාතිය අමතමින් මුළු ලෝකයටම ඇසෙන ලෙස කතා කරමින් මෙම පෙලපාලියේ මිලියන භාගයක සෙනගක් ගමන් කරන බව ප්‍රකාශ කරයි. නමුත් ඇත්ත නම් මෙම පෙලපාලියේ ගමන් කරන්නේ 15000ක ප්‍රමාණයකි. මෙම අතිශෝක්තිය හිට්ලර්ලාගේ වැඩීමට ඊළග අවධියේදී බලය තහවුරු කර ගැනීමට ඔවුන් ප්‍රයෝජන ගනු ලබයි. 1932 නොවැමබර් මස වන විට 1.4 ක් වූ පක්ෂ සාමාජිකත්වය ජනවාරි 30 වෙනිදායින් පසු මාස 2 ක් ඇතුළත මිලියන 3.9 ක් බවට පත්වනු ලබයි. මේ එදා ෆැසිස්ට්වාදීන් ජර්මනියේ බලය ලබා ගැනීමට බොරුව සහ ඇස්බැන්දුම් ප්‍රයෝජනයට ගත් ආකාරයයි.

නමුත් අද යතාර්ථය නම් මේ ෆැසිස්ට් ක්‍රමවේදයන් දැන් යල්පැන ගොස් බව ඒවා භාවිතා කරන වීරවංශලා, රාජපක්ෂලා, වාසුදේවලා දැන ගත යුතුයි. මේ 21 වන සියවසයේ මිනිසුන් වෙත තොරතුරු ගලාඑන ක්‍රම එදාට වඩා අද විවිධ වන අතර විශාල වශයෙන් විවිධ මූළාශ්‍රයන් තුලින්ද ඒවා ලබාගනු ලබයි. ඒවාගේම මෙම කල්ලිය දැන ගත යුතු වන්නේ තම අතබලය තබාගෙන කළ බලපෑම්වලදීද මෙම මහින්ද කල්ලියට එරෙහිව ඡන්දය පාවිච්චි කළ කිසිවෙකු නැවත එම හොරුන් වෙත කිසිම අයුරකින් තම ඡන්දය පාවිච්චි නොකරන බවයි.

රට සම්පූර්ණයෙන්ම කාබාසිනියා කළ මහින්ද කල්ලිය සම්පූර්ණයෙන් දේශපාල භූමිකාවෙන් අතුගා දැමීමට මේ ඡන්දය ඉවහල් කර ගත යුතුය. සන්ධාන හොරුන්ට මහින්ද සමග එක්ව තරගයට ඒමට ඉඩහැර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ජනතා අභිලාශයන් ජය ගැන්වීමට මෛත්‍රී සමග පෙල ගැසිය යුතුය. මහින්ද කල්ලිය සමග එක්වී හොරකම් සහ දූෂණයන්හි යෙදුන කිසිවෙකුට නාම යෝජනා දීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතික්ෂේප කළ යුතුය. අලුත් මිනිසුන්ට නාම යෝජනා දීම තුලින් අලුත් බලවේගයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මතුවීමට කාලය පැමිණ ඇත. පක්ෂයේ දූෂිතයින්ට මහින්ද සමග වෙන්ව යෑමට ඉඩ හැරිය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් දෙසට ගමන් කරවීමට උදව් විය හැකි වනුයේ එසේ කිරීමට තරම් පක්ෂ නායකත්වයට ආත්ම ශක්තියක් ඇත්නම් පමනි. රට නීතිය මත පාලනයකට, දූෂණය නැති කර දූෂිතයන් නීතිය ඉදිරියට ගෙන ඒමට, පොදුවේ දූෂණයෙන් තොර දේශපාලනයකට මග සලසා ගැනීමට මේ මැතිවරණය යොදා ගත යුතුව ඇත.

හොරුන්ට දූෂිතයන්ට නාම යෝජනා නොදෙන ලෙස සියලුම පක්ෂවලට බල කළ යුතුය. මහින්ද ඇතුළු මැර දේශපාලනය ලංකා දේශපාලනයෙන් අතුගෑ දැමීමට මෙය අවස්ථාව කර ගත යුතුය.

ranjith_hennayakeරංජිත් හේනායකආරච්චි | Ranjith Hennayaka Arachchi