Image Credit: newindianexpress

මේ දක්වා ලංකා ඉතිහාසයේ බිහි වූ වඩාත් සංකීරණ සහ ව්‍යාකූල පරාජිතයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ කෙන්ද්‍රයට අනුව යමින් රටේ බොහොමයක් දෑ මෙන්ම තම බලය සමගද සෙල්ලම දැමූ හෙතමෝ, තවමත් සක්‍රීය පරාජිතයෙකි.

ඔහු ඔහුට අනුව නිවැරදිය. ඔහුගේ සගයින්ට අනුවද ඔහු ඉතා නිවැරදිය. සිදුවූයේ ‘කුමන්ත්‍රණයක්’ බැවින් වීරයා ගෙදරට ගාල් වී සිටිය යුතු නැත. ඔහු සමග නැගිටිය යුතු බව ඔහුගේ සගයින් හූ හඬ දෙති. එම හූ හඬ සෑම බෞද්ධ පන්සලක්ම ඉලක්ක කිරීම අරමුණ වී තිබේ. මෙය පැරණි දේශපාලන උපක්‍රමයේම නව භාවිතයකි.

ඒ වෙනත් කිසිඳු හේතුවක් නිසා නොව ඔහු මත යැපුණු පිරිසක් සිටින අතර එම පිරිසට ඔහු නැති වූ තැන ඇති දේශපාලනය තේරුම් ගැනීමට තරම් හැකියාවක් මේ මොහොතේ ඉතුරු වී නැත. සැබවින්ම ඔවුහුට එවැන්නක් ඉතුරු වී නැත.

මන්ද ඊට සාපේක්ෂව පරිවාර සංවිධාන රාශියක් බිහි වී තිබීමයි. ව්‍යාකූල දේශපාලන කල්ලිවාදයක් ඇති තැන වඩාත් ශක්තිමත් දෑ බවට පත්වන්නේ එකී පරිවාර කණ්ඩායම්ය. බොහොමයක් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් මෙන්ම ප්‍රධාන පක්‍ෂ තම ගරුත්වය කෙළසා ගනු ලැබුවේ ඒවායේ උගුල්වලට හසු වීමෙනි. මෙය ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්මයන් අවභාවිතය මඟින් ඇතිවන සැබෑ කණගාටුදායක කාරණයයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුහුණ දී සිටින සැබෑ අභියෝගය වූ කලී මෙයයි.

ගෙවී ගිය වසර විස්සක කාලය ගෙන බලමු. පෙරදා පැවති; පළමුව හෙළ උරුමය, දෙවනුව ජනතා විමක්ති පෙරමුණ, තෙවනුව ලංකාවේ සම්ප්‍රදායික වාමාංශය, සිව්වනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නමින් ලංකාවේ සිංහල දේශපාලනය තුළ දැකගත හැකි වූ මූලික දේශපාලන සමීකරණය ව්‍යාකූල වී ඒ වෙනුවට අනු-කණ්ඩායම් රාශියක් බිහි වී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මුහුණ දීමට සිදු වී ඇති බරපතළම කොඩි විනය වූ කලී මෙම අනු-කණ්ඩායම්ය. එසේම, මෙහි ඇති වඩාත් ආකර්ශනීය සිදු වීම වූ කලී අදාළ පිරිස තමන්වටා සිටිනු දැකීමට මහින්ද රාජපක්ෂ මහතාද, කැමති වීමයි. එය ඔහුගේ දේශපාලන චින්තනයයි.

එහි ප්‍රතිඵලය ලෙස තම නව දේශපාලනය පසුගිය මැතිවරණය පරාජය වී ගෙදරට පැමිණි මොහොතේ සිටම ආරම්භ කළේය. ඔහු තම දේශපාලනය දිවිය ආරම්භ කරනු ලැබුවේ යම්සේද පරාජයෙන් පසුද එම පැරණි මූලධර්මයන් අනුගමනය කරමින් යළිත් ආරම්භ කරනු ලැබීය.

පන්සලට එනකොට හාමුදුරුවරු පවා නැගිටිනවා…. මිනිස්සු අඬනවා… ඉතින් හිතන්න බලන්න පැරදිලා මාස ගානක් ගියාට පස්සෙත් මෙහෙම මිනිස්සු එකතුවුණ නායකයා කවුද? මෑතකදී මා සමඟ කතා බහ කළ එක තානාපතිවරයෙක් ප්‍රකාශ කළේය. ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූ තවත් එක තනාපතිවරයෙකි.

එසේම, මහින්ද රාජපක්ෂ මහතා පන්සලට යන විට හාමුදුරුවරු පවා නැගිට නමස්කාර කරණ බව මහත් උජාරුවෙන් ප්‍රකාශ කළේය. අපේ ජාතියේ වැටීම සහ ජාතියේ කොඳු නාරටිය ආවතේවකරුවන්ගෙන් ගහණ පද්ධතියක් බවට පත්වීමේ සැබෑ කාරණය අවබෝධ කර ගැනීමට මෙයම ප්‍රමාණවත් වේ.

මේ වූ කලී, කළ ගුණ සැලකීම ලෙස පිටත ලෝකයට පෙන්වන නමුත් සැබෑ සංස්කෘතික යටගියාව තුළ මෙහි ඇත්ත වූ කලී කෛරාටක කමයි. මෙය සංස්කෘතික ගත වී ඇති රෝගයක් වන අතර එහි වන්දිය වූ කලී සැබෑ බුද්ධිමත් මිනිසුන් රටේ අත්‍යවශ්‍ය කාරණා වලට අතගැසීමෙන් ඉවත්වීමය. එම සම්පත් රටට අහිමිවීමය.

රටේ මෙන්ම බොහොමයක් තැන් වල සිදු වී ඇති මෙම විකෘතිය, තම රැකියාව රැක ගැනීමේ සිට තම පෞද්ගලික ජීවිතය නිරුවත් කිරීම දක්වා විහිදීගොස් ඇත. මෙය සිදු වන ඕනෑම තැනක, තම පෞද්ගලික ආශාවන් වෙනුවෙන් අනෙකාව පාවාදීම සහ මූලික මානවීය අගනාකම් බාල්දු වීම සාමන්‍ය කාරණයක් බවට පත් වේ. රටක මෙන්ම සමාජයක පමණක් නොව මිනිස් සංහතිය තුළ පැවතිය යුතු මානවීය ගුණයන් හීන වී යන්නේ මේ නිසාය. බලයට කෑදර තැනැත්තා මෙම විකෘතිය පවත්වා ගැනීමට කැමතිය. ඔහුට එය තමන්ගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන භාවිතය මූලික වශයෙන් මෙම රාමුව තුළ නාභිගත වූ එකකි. එය සමාජයක සිදුවූ ක්‍රමීය විපරියාසයේ ප්‍රතිඵලයකි.

තම පරාජයට හේතුව තේරුම් ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාට එක දවසකින් හැකි වූයේ නම් ඔහු මෙහිදී සිදු කරන්නේ අනෙකාව පමණක් නොව තමන්ද මුලාවේ ඇද දමා ගැනීමකි. කෛරාටක රඟපෑමකි. මෙහි ඔහු නොකළ යුතු කටයුත්තකි.

ඔහුට මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමෙන් කළ හැකි උපරිම කටයුත්ත වූ කලී පාර්ලිමේන්තුවේ තෙවන පාර්ශවය බවට පත් වීමය. ආසන 20-30 ත් අතර සංඛ්‍යාවක් ලබා ගැනීමට උපරිම උත්සහය ගතහැකිය.

එවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවංක වුවහොත් ඔහුට මහින්ද විරෝධී ශ්‍රී ලංකා නිදහස් පක්ෂට ලැබෙන ආසන ඉතා සුළු ගණන වුවද භාවිතා කරමින් ජාතික ආණ්ඩුවකට ගිය හැකිය. එහිදී දෙමළ එක්සත් සන්ධානය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ හෙවත් දූෂණයෙන් සහ වංචාවෙන් තොර කණ්ඩායම සමග එක වී මෙම පවතින දේශපාලන සංස්කෘතිය බාධක මධ්‍යයේ ඉදිරියට ඇදෙනු ඇත. එහිදී බරපතල මෙන්ම දීර්ඝ කාලීන අවාසිය සිදුවනු ඇත්තේ රාජපක්ෂ දේශපාලනයටය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තම පරාජය අව්‍යාජව තේරුම් ගැනීමට අවශ්‍යය නම්, අඩුවශයෙන් මෛත්‍රීගේ ජනාධපති ධූරයේ පළමු වාරය අවසන් වන තෙක් හෝ ඉවසිලිවන්තව බලා සිටිය යුතුය.

තමන් කළ පව් එක මොහොතකින් තේරුම් ගෙන නිර්වාණය අවබෝධ කර ගැනීමට බුදුන්වහන්සේ තබා රහතන් වහන්සේ කෙනෙකු වූ ඔහු හමුවූයේ නැත. ඒ වෙනුවට තමන් වටා සිටින දෙව්දත්තරලා විශ්වාශ කිරීමට ගොස් අජාසත්තගේ දෙවන කොටස රඟ පෑමට යෑමෙන් ඔහුට පමණක් නොව මුලු රටටම සිදුවන්නේ බරපතල හානියකි.

මෙහිදී ඇසිය යුතු මූලික ගැටලුවක් තිබේ.

ඒ වූ කලී, රාජපක්ෂ උතුමාණෙනි, මේ…කෝ…යි….යා…න්…නේ?

හෙට දින නිකුත් කිරීමට නියමිත් “ විශේෂ” නිවේදනයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කවුරුන්ද යන්න ලෝකයට කියනු ඇත. ලංකාව ලෝකය යැයි සිතාගෙන සිටින ඔහු සහ ඔහු වටා සිටින බොහෝ දෙනෙකුට එමඟින් තවකාලීක තෘප්තිය ලැබෙනු ඇත. නමුත් එමඟින් සිදුවන් පෘථුල හානිය මැනීම සඳහා තවත් විශාල කාලයක් ගත වනු ඇත. මේ නිසා සිදු විය හැකි බරපතළම විනාශය වූ කලී, රටේ මැතිවරණ සංස්කෘතිය යළිත් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගැනීමයි. පසුගිය ජනවාරි මැතිවරණයේ පැවති වාතාවරණය සහමුලින්ම වෙනස් වීමයි.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa