අද පෝය දවසක්. උදේ කෑම කන්න ගිය කඩේ දෙරණ රෑපවාහිනීය දාලා තිබුණා. ඒ වෙලාවේ ප්‍රචාරය උනේ ධර්ම සාකච්ඡාවක් යැයි කිව හැකි වැඩසටහනක්. එයිනුත් ඇහුණේ අන්තිම හරිය.

එයට සහභාගී වෙලා හිටිය සාධු කෙනෙක් මෙහෙම කියනවා.(සාධු කියන්නේ ‘යහපත‘ නියෝජනය කියලා, තමයි කියන්නේ)

‘දැන් බලන්න අපිට බණක් කියන්නවත් විදිහක් නෑ. මේ වගේ ඒවට හරි ඇවිල්ලා අපි කියන්න ඕන. මේ සමාජයේ ඔක්කොම වෙනස් වෙලා අඩුම තරම් අපි කිහිප දෙනා හරි මේකෙන් ගොඩ එන්න ඕන‘ උන්නාන්සේ කිව්වේ ඔන්න ඔහොම කතාවක්.

මට එකපාරට මතක් උනේ මහින්ද රාජපක්ෂව.

ඇයි! නෑ…. ඒ සාධු හරියට ම කිව්වා. ‘අපිට බණක් කියන්නවත් විදිහක් නෑ‘ කියලා. උන්නාන්සේ හරි. රාජපක්ෂ පහුගිය ජනවාරි 8 වෙනිදායින් පසුව පංසල් ගානේ ගිහින් දේශපාලන බණ කියන්න ගත්තා. රාජපක්ෂ බණ කියනවා. සාධුලා අහන් ඉන්නවා. දායකයොයි, පාක්ෂිකයොයි ඇතැම් විට සාධු ලයි ඔක්කොම ‘ජය වේවා..ජය වේවා කියනවා‘. පංසලේ. ඉතින් හාමුදුරුවොන්ගේ වැඩේ රාජපක්ෂ කරා නේ. ඒ නිසා හාමුදුරුවො හරි.

අනෙක උන්නාන්සේ කියනවා ‘අඩුම තරම් අපි කිහිප දෙනා හරි මේකෙන් ගොඩ එන්න ඕන‘. නමුත් අපි අහලා තියෙන්නේ ‘සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා‘ උන්නාන්සේ ගෞතම බුදුන් වෙනස් කර ගෙන ‘අපි කිහිප දෙනා හරි‘ කියලා. මේවා බලලා කොච්චරක් නම් උපාසක ඇත්තො සාධු කාර දෙනවද.?

2009 වෙනකොට මිනිසුන් මරන්න, අපි….ඒ කියන්නේ සිංහලයා, දිනන්න බෝධි පුජා තියලා 2009 මැයි අවසන් වෙනකොට අපේ සමාජය පරිවර්තනය උන එකේ පාපතර පිටපත් තමයි තවමත් මේ කහසිවුරු ඇගලාගෙන සිටින ශරීරවලින් තවමත් කියැවෙන්නේ. ඒකයි තවමත් ‘සියලු සත්වයෝ‘ කියන දේ සංස්කරණය කරමින් ‘අපි කිහිප දෙනා හරි‘, නැතිනම් හිතෙන් හරි ‘දෙමලුන්, මුසල්මානුවන් හැර, නිදුක් වෙත්වා‘ යැයි කියැවෙන්නේ.(හිතෙන් නෙවි නේ ඥානසාරලා වැනි භික්ෂූන් පසුගිය කාලේ ඒක ක්‍රියාවෙනුත් පෙන්නුව බව නොදන්නේ කවුද?) අනෙකාව පෙළන්න, මරන්න, දිනන්න බුදුන්ව භාවිතා කරපු රටක් තවත් ලෝකේ තියනවද කියලා හොයන්න, මේ සටහන කියවන ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ තරම්ම යුද්ධය, යුද්ධය තුළත්, යුද්ධයෙන් පස්සේ ත් රාජපක්ෂලා මේක පාපතර කළා. නරුම තැනකට ඇදලා දැම්මා. අදත්, මේ සටහන ලියන මොහොතෙත් රාජපක්ෂලා උත්සහා කරන්නේ ඒක කරන්න. අවම තරමින් තේරෙන විදිහට ‘බුදුන්‘ කියවමු. එතකොටවත් රාජපක්ෂලාගේ නරුම කමත්, ඔවුන් විසින් ඇද දැමූ පාපතර සමාජයත් කියවන්න හැකි වේවි.

එබැවින් පෝයදා ටත් අද ලංකාවේ ‘පාපතරකම‘ දෝර ගලන කොට අපි තවත් මේ බිමට ‘පිං බිම‘ කියා කියමුද?