ත්‍රාසජනක චිත්‍රපටයක මෙන් බොහෝ කලක් අවිනිශ්චිත ව තබා පාර්ලිමේන්තුව විසිරුවන බව ජනාධිපති නිවේදනය කළේ පසුගිය සිකුරාදා ය. එම පුවත ඇසෙන විට මට එක විට ම මතක් වුයේ අතුල අධිකාරිගේ විසිරුණු මල් පෙති ගීතය ය. විසිරුණු මල් පෙති දෝතට ගෙන යලි මලක් හදන්නට තැත් කරන බොළඳ නැගෙණියකට අතුල සරදමින් තොරව ආදරයෙන් කියන්නේ විසිරුණු පෙති යලි මලක් නොවන බව ය. පාර්ලිමේන්තුව විසිරවීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කළ මහා මැතිවරණය යලි පුරවැසි අභියෝගය අවුළුවන අවස්ථාවක් ලෙස ඉදිරියට පැමිණ ඇත. මෙම ලිපිය ලියවෙන්නේ එය වැඩි දුරට සාකච්චා කිඊමට ය. මා එය කරන්නේ පසුගිය කාලය ගැන කෙටි ආවර්ජනාවක් සමගිනි.

ජනවාරි 8 ප්‍රතිඵලය හා ඒ අරබයා මාස කිහිපයක් තිස්සේ ගොනු වූ ජනතා උනන්දුව, ක්‍රියාකාරිත්වය හා අවසානයේ මැතිවරණ චර්යාව මීට පෙර පැවති මැතිවරණ අත්දැකීම්වලින් වෙනස් ස්වරුපයක් ගත් බව පැහැදිලි ය. රාජපක්ෂ රෙජීමයෙන් දැඩි ලෙස හෙම්බත් වී සිටි ජනතා අභිලාෂයන් නියෝජනය කරන පුරවැසි ව්‍යාපාර කිහිපයක් රෙජීමය පරාජය කිරීම, පොදු අපේක්ෂකයෙකුගේ අවශ්‍යතාව හා උගුලෙන් මිදීම වැනි සටන් පාඨ ඔස්සේ වසරක් පමණ කාලයක් තුල ජනතාව හා දේශපාලන පක්ෂ අතර මතයක් ගොඩ නැගීය. එවැනි ව්‍යාපාර කලාකරුවන්, ව්ද්වතුන්, වෘත්තීය සමිති, තරුණ කොටස් හා වෙනත් සිවිල් සංවිධානවල වේදිකාවක් බවට පත් විය. එවැනි පුරවැසි බලවේග තම අදහස් ජනතාව අතරට ගෙන ගියේ ජනාධ්පතිවරණයක් ප්‍රකාශයට පත්වීමට හා මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයෙකු ලෙස පත් වීමට පෙර ය. එවැනි සංවිධිත හා අසංවිධිත පුරවැසි ව්‍යාපාර හා බලවේග නියෝජනය කලේ ‘වෙනසක’ අවශ්‍යතාව දැඩි ලෙස පැතූ ජනතා අභිලාශය ය. සංවිධිත බලවේග කළේ එම ජනතා අභිලාශය තව දුරටත් තීව්ර කිරීම හා ‘වෙනසක්’ යන ව්‍යංග අදහස සංයුක්ත දේශපාලන ප්‍රතිපත්ති හා අපේක්ෂා මාලාවකට පෙරලීම හා එම අදහස් ජනතාව අතරට ගෙන යාම ය.

මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක සන්ධානයක් නියෝජනය කරමින් යහපාලනය තේමාව ඔස්සේ පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වුයේ මෙවැනි සන්ධර්භයක ය. මෙතෙක් පැවතී පටු දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍ර මත පදනම් වූ මැතිවරණයකට වඩා 2015 ජනාධිපතිවරණය සුවිශේෂී වුයේ ය. ඒ තමන්ට දැඩි ලෙස එපා වී තිබු රාජපක්ෂ රෙජීමය පරාජය කිරීම හා ඊට විකල්පයක් ලෙස වෙනසක් උදෙසා පොදු බලවේගයක් ලෙස ජනතාව පොදු අපේක්ෂයෙකු ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනවරමක් දීම නිසා ය. එම ජනවරම නිශ්චිත දින සියයක වැඩමාලාවක් ක්‍රියාත්මක කිරීම සඳහා විය. ‘වෙනසක්’ කියා ජනතා බලවේගය තමන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය භාවිතා කළේ හුදෙක් පුද්ගලයෙකු හෝ පක්ෂයක් බලයට පත් කිරීමට නොව තමන් අපේක්ෂා කරන නව දේශපාලන සංස්කෘතියක් හා ප්‍රතිපත්ති මාලාවක් මත පදනම් වූ දේශපාලන ක්‍රමයක් ස්ථාපිත කර ගැනීම ය. ඊට ප්‍රතිචාරයක් ලෙස ‘යහපාලනය’ ප්‍රධාන තේමාවක් ලෙස පොදු අපේක්ෂක මැතිවරණ ව්‍යාපාරය තුල මතු වුයේ මෙවැනි වාතාවරනයක ය. ජනවාරි 8 ජයග්‍රහණය වසර දහයක පීඩාව අවසානය වෙනුවෙන් ලත් අස්වැසිල්ලක් වීය. නමුත් ‘වෙනස’ ලෙස ජනතාව පැතුවේ රාජපක්ෂ පරාජය කිරීම පමණක් ම නොවේ; විකල්ප වැඩසටහනක් නිශ්චිත කාලයක් තුල සාක්ෂාත් කරගැනීම ය.

කෙටි කාලයක් තුල මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස පරිණත නායකත්වයක් හා සාධනීය ලක්ෂණ පෙන්වා ජනතා ප්‍රසාදයට ලක් වුයේ ය. ජනතාවට නව ජනාධිපතිගෙන් අවශ්‍ය වුයේ පක්ෂයක පටු භූමිකාවක් ඉටු කරන්නෙකු නොව තම ජනවරම නිසි ලෙස නිශ්චිත කාලයක් තුල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම සකසන්නෙකු ලෙස ය. නව ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරු ව දින සියයේ වැඩටහන මුල් මාසයේ කාර්යක්ෂම ව සිදු විය. එහි ප්‍රසංශාව ජනාධිපතිට, අගමැතිට හා කැබිනට් මණ්ඩලයට හිමි විය යුතු ය. නමුත් මුල පැවති උනන්දුව හා පොදු යහපත ක්‍රමයෙන් හීන වූ අතර පටු පක්ෂ දේශපාලන පක්ෂ ගතිකයන් න්‍යාය පත්‍රයේ ඉහලට ආවේ ය. දින සියයේ වැඩසටහනේ අඩිතාලම බඳු වූ ජනාධිපතික්‍රමය සංශෝධනය කිරීම දේශපාලන පක්ෂ අතර අනවශ්‍ය ලෙස තොරොම්බල් වී අපේක්ෂා කළ තරමට වඩා අතිශයෙන් දියාරු එකක් බවට පත් විය. ඒ සඳහා ගෙවූ මිල වුයේ ජනතාව ප්‍රතික්ෂේප කළ නායකත්වයක් යටතේ සිටි දේශපාලකයින්ට ඇමති තනතුරු පිදේනි ලෙස දීම ය. නැවත මෙගා කැබිනෙට්ටුවක් බිහි වුනු අතර ඇමති ඉල්ලා අස්වීම් හා නව පත්වීම් සතිපතා කටයුත්තක් බවට පත් විය. තොරතුරු දැනගැනීමේ අයිතිය කෙටුම්පතක් ලෙස සංවර්ධනය වුනත් පසුව එය ආගිය අතක් නැති එකක් බවට පත් විය. ව්‍යවස්ථාදායක මණ්ඩලය පටු දේශපාලන ග්‍රහණයෙන් මිදී පොදු යහපත සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කලත් සිදු වූ යේ එය තවත් දේශපාලන අතකොළුවක් බවට පත්වීම ය. එහි නියෝජනය කිරීමට නියමිත සිවිල් සමාජ නියෝජිතයින්ගේ පත්වීම අනවශ්‍ය ලෙස ප්‍රමාද විය. පොදු අපේක්ෂකයෙකු ලෙස ජනවරමක් ලද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස අභිමුක වන අතර සීග්‍රයෙන් පක්ෂ දේශපාලනය තමන්ගේ ප්‍රමුඛතාවක් ලෙස සලකා කටයුතු කරන බව පෙනෙයි. මෙය ජනතාව පැතු ‘වෙනස’ ට සපුරා වෙනස් දිශානතියකි. තම පක්ෂය තුලින් හා තමා වටේ කැරකෙන්නන්ගේ පීඩනය දැඩිව තියෙද්දිත් ඊට එරෙහිව පාර්ලිමේන්තුව විසිරුවන්නට ජනාධිපති ගත් තීරණය අගය කළ යුතු ය. අනාගතයේත් පක්ෂයට වඩා රට පෙරට තබා පක්ෂයක නායකයෙකු ලෙස නොව රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කිරීම එතුමා ඉදිරියේ ඇති අභියෝගය ය.

නව ආණ්ඩුවක් ලෙස රනිල් වික්‍රමසිංහ හා කැබිනට් මණ්ඩලය ජනතා අභිලාශ සාක්ෂාත් කළ ප්‍රයත්නයන් කිහිපයක් — බඩු මිල අඩු කිරීම ඇතුළු — ඉදිරිපත් කළේ ය. ඒ වෙනුවෙන් ඔවුන් ජනතා ප්‍රසාදය දිනා ගති. රාජපක්ෂ රෙජීම කාලය තුල පැවති ප්‍රජාතන්ත්‍ර විරෝධී හා මර්ධනකාරී පරිසරය වෙනුවට සාපේක්ෂ නිදහස් අදහස් සඳහා අවකාශයක් ස්ථාපිත කිරීමට නව ආණ්ඩුවට හැකි විය. ගජමිතුරු ආර්ථිකය තුල සැලකිය යුතු වෙනසක් කලා ද යන්න සැක සහිත ය. මහා බැංකු අධිපතිට එරෙහි ව නැගුණු බරපතල චෝදනාව කමිටුවකින් හා අධිකරණයෙන් නිදහස් වුව ද එම සිද්දිය හා මෑතදී සිදු වූ රේගු අධිපතිගේ ඉල්ලා අස්වීම එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව පිළබඳ ව ජනතාව තුල ප්‍රශ්නාර්ථයක් මතු කළේ ය. පාර්ලිමේන්තුව තුල බහුතරයක් නොමැති එක්සත් ජාතික ප්‍රමුඛ ආණ්ඩුව ස්ථාවර කළමනාකරණයක් කිරීමේ අභියෝගයට භාජනය විය. එම දුර්වලත්වය දඩමීමා කරගනිමින් ජනතාව පැහැදිලිව ම ජනාධිපතිවරණයෙන් ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ රෙජීමයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමුඛත්වයෙන් ආණ්ඩුවක් මැතිවරණයක නොයා පිහිටුවා ගැනීමේ තැතක් ගැන ද අසන්නට ලැබුන ද එවැන්නක් විසුරුවාලීමෙන් වාසනවකට වැළකුණි.

මේ සියලු කරුණු සලකා බැලීමේ දී පැහැදිලි වන්නේ ‘වෙනසක්’ පිළිබද ජනතා අභිලාශය තමන් පැතූ ආකාරයට දින සියයකින් නොව දින එකසිය පනහකින් පසුව ද හරියාකාර ව සිදු නොවුණු බව ය. සිදු වුයේ ජනතාව දෙන ලද වරම දේශපාලන පක්ෂ විසින් තමන්ගේ පටු බල ව්‍යාපෘතියක් ලෙස පික් පොකට් ගැසීම ය; මැතිවරණ හරහා නොයා කෙරෙන ඩීල් දේශපාලනයකට තැත් කිරීම ය. ක්‍රමයෙන් ගිලිහුණු ජනතා බලය නැවතත් පුරවැසියන් යලි අත්පත් කර ගත යුතු ව ඇත. තමන් අපේක්ෂා කළ, සම්පුර්ණ නොවුණු ‘වෙනස’ ජනතාව විසින් නැවත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන න්‍යාය පත්‍රයට ඇතුළු කළ යුතු ය. ජනමතයට අභිමත ස්ථාවරභාවයක් හා ජනතාව සමග නව ගිවිසුමකට එළභිය හැකි නව ආණ්ඩුවක් පත් කරගැනීමේ අයිතිය ජනතාව තහවුරු කර ගත යුතු ය.

‘වෙනස’ හා ‘යහපාලනය’ ඉදිරි මැතිවරණ ව්‍යාපාර තුල කුමන ආකාරයේ වැදගත් කමක් ගනී දැයි කියා සක සහිත ය. ‘යහපාලනය’ දැනටමත් ලාංකීය දේශපාලන වොකැබ්ලරියෙන් ක්‍රමයෙන් අතුරුදහන වී ඇති බව පෙනේ. වෙනස හා යහපාලනය ජනතා අභිලාෂයන් නියෝජයන කළ වැදගත් අදහස් දෙකකි. ඒවා හුදු ‘මාර්කටින් පංච් ලයින්’ ලෙස ඌණනය කළ නොයුතු ය. දේශපාලනය හා මැතිවරණ ව්‍යාපාර වෙළෙඳ ප්‍රචාරක සමාගම්වල අලෙවිකරණ ව්‍යාපෘතියක් ලෙස අධිනිශ්චය වූ කලෙක විවිධාකාරයේ දේශපාලන මාර්කටින් සටන් පාඨ ඉදිරි සති කිහිපය තුල මතු විය හැක. අලුත් සටන් පාඨ ‘වෙනස’ ට වඩා අරුමෝසම් ඒවා විය හැක. එන එන අරුමෝසම් පස්සේ නොයා ජනතාවා පැතූ සැබෑ වෙනස හා එවැනි වෙනසක ලක්ෂණ, ගුණාංග, කොන්දේසි හා මුලධර්ම සංයුක්ත ලෙස ඉදිරිපත් කිරීම පුරවැසියන් වන අප කළ යුතු දෙයකි. දේශපාලන පක්ෂ හා තමන්ගේ අලෙවිකරණ උපදේශකයින් කළ යුත්තේ එවැනි පුරවැසි අදහස්වලට සාවධානව ඇහුම්කම් දීම ය. පුරවැසියන්ගේ වැදගත් හා යහපත් අදහසක් දෙකක් අලෙවිකරණ සමාගම් හයිජැක් කලා ට කම් නැත. නමුත් පුරවැසියන් ලෙස අප වහා කළ යුත්තේ අපගේ අභිලාෂයන් අඩංගු මෙනු-පතක් දේශපාලන පක්ෂවලට සැපයීම ය. එසේ නොවුනහොත් අපට වෙන්නේ ‘තියෙන විදිහකට බත් ටිකක් කාලා යන්න’ ය. අපගේ අභිලාශය ‘පුරවැසි මැනිෆෙස්ටෝවක්’ ලෙස සංගෘහිත කිරීම අප ඉදිරියේ ඇති දැඩි අවශ්‍යතාවකි. එය අප අද ම කළ යුතු ය.

ජනවාරි 8 අරභයා ගොඩනැගුණු සංවිධිත හා අසංවිධිත පුරවැසි බලවේගයන් ජනබලවේගයන් හමුවේ අද ඇති අභියෝගය හා කාර්ය භාරය වන්නේ තමන් පැතූ ‘වෙනස’ සම්පුර්ණ හා අර්ථාන්විත කරගනු වස් නව ජනවරමක් නව ආණ්ඩුවකට ලබා දීමට පෙර එවැනි ආණ්ඩුවක න්‍යාය පත්‍රය, ප්‍රමුඛතා හා කොන්දේසි පෙර කල් බලා ඉදිරිපත් කිරීම ය. දුන් පොරොන්දු ඒ ආකාරයෙන් ඉටු නොවුණු හෙයින් ජනතාව අතර ඇති කළකිරීම හා කෝපය ක්‍රමයෙන් වර්ධනය වීම දක්නට හැක. එම හැගීම සාධනීය හා නිර්මානාත්මක පුරවැසි බලවේගයක් ලෙස බලමුළු ගැන්වීම වහා කළ යුතු ය. ජනවාරි 8 විකසිත වුණු ජනතා පැතුමේ නෙක පාට මල් පෙති විසිරුවාලීමත් සමග දේශාපාලන පක්ෂ විසින් දැනටමත් කඩා ගෙන ගොස් ඇත. එම මල් පෙති ඔවුන් විසින් විකෘති කළ හැක. පුරවැසියන් ලෙස අප කළ යුත්තේ අපගේ අභිලාශය දැල්වුණු ජනවාරි අට පුෂ්පයේ පෙති විසිරෙන්නට නොදී රැක ගැනීම ය. දේශපාලන පක්ෂවලට වඩා කලින් පුරවැසියන් ඇහැරිය යුතු ය. ඔවුන් අවදි වී නිදිගැට කඩන විට අප කළ යුත්තේ පුරවැසි දේශපාලන න්‍යාය පත්‍රය තේ කෝප්පයක් ලෙස පිලිගැන්වීම ය. අප තෝරා ගත යුත්තේ අපේ තේ කෝප්පය බොන්න කැමැත්තන් පමණ ය. ජනවාරි අට අප විකසිත කළ පුෂ්පයේ පෙති විසිරෙන්නට නොදී රැක ගැනීමට එය හැර වෙන මගක් පුරවැසි අපට නොමැත.

UDANආචාර්ය උදන් ප්‍රනාන්දු