Photo by AFP, via AsiaOne

සිදුවෙමින් පවතින අනපේක්ෂිත සහ රඟදක්වමින් සිටින අතිශය අප්‍රසන්න නාටකය ගැන කල්පිත ඉදිරිපත් කිරීම බොර දියේ මාලූ බෑමක් හා සාමානය.

තවත් පැය කිහිපයක් ඇතුලත, මෙම දේශපාලනඥයින් රඟපාන නාටකය ගැන කිසිවෙකුට සිතා ගැනීමටවත් නොහැකි වන තත්වයක් උදා වී ඇත්තේද? මෛත්‍රී සැබවින්ම විප්ලවය පවා දුන්නේද? එසේ නොවේනම් ඔහු කිසිවෙකුගේ හෝ බහකට රැවටී රටටම අපයෝජනයක් සිදු කළේද? ඔහු ඔහුට උරුමවන අපකීර්තිමත් දෙයක් වෙනුවෙන් පෙනී සිටීමට තරම් අවඥා සහගත මෝහයෙන් පිරිණු මිනිසෙක් වූයේද?

තමන් ගමන්ගත් අතිශය දුෂ්කර සහ කටුක මාර්ගය එක් කුඩා අවශ්‍යතාවයක් වෙනුවෙන් පාවා දුන්නේද? මෛත්‍රී වූ කලී රාටේ පාලකයාද? එසේත් නොවේනම් රාජපක්ෂලාගේ සහ මේ දිනවල වඩාත් ප්‍රසිද්ධ “අනාථ කල්ලියේ” පාලිතයාද? අනාථයින්ගේ නාථ දෙවියන් වීමට පෙර මෙරට ජනතාවගේ සැබෑ පාලකයා ලෙස අපිරිසිදුව හැසිරිය යුතු ඉතා වැදගත් මොහොතක් ඔහු මඟ හැර ඇත්තේද?

ඔහු නිහඬය. ඔහු මේ රට ‘හැරගොස්’ ඇති ආකාරයෙන් හැසිරෙන සැටියෙකි. ඔහු ජනාධිපති ධූරයට පත් වී ගත වූ කාලය තුළ පළමු වරට යම් ගැඹුරු සංකීරණයකට ගොදුරු වී ඇති බව සැබෑය. මෙතරම් කෙටි කාලයක් තුළ ඔහු නිහඬ කිරීමට සමත් වූ මුලාශ්‍රයක් තිබීම සැබවින්ම ඛේදනීයය. මෙය අවාසනාවක් ලෙස පෙනුන ද දේශපාලනයේ සැබෑ ස්වරූපය මෙයයි.

නායකත්වය වූ කලී මෙම ගොබ්බ ගොදුරු වල පැටලී සිටීමෙන් වැළකීම සහ රටේ බහුතර ජනතාව වෙනුවෙන් පෙනී සිටීමය. නමුත් ඔබ එම මූලධර්මයට පිටුපාමින් ගමන් කරණ සැටියෙකි. ඔබ ඔබට සාදාරනීකරණය කිරීම සඳහා දහසකුත් හේතු පසුව නිර්මාණය කර ගනු ඇත. නමුත් මෙම සංකීරණ සහ සංවේදී මොහොතේදී ඔබගේ හැසිරීම අතිශය ශෝකජනක වන්නා සේම මෙමඟින් ඔබට අහිමි විය හැකි දෑ බොහෝය.

රටක පාලකයෙකු විශේෂයෙන්ම ජනවාරි 08 වැනිදා වනතෙක් තිබු තත්වය හමුවේ බලය අතට ගත් පාලකයෙකු ලෙස මේ ආකාරයෙන් හැසිරීම ජුගුප්සාජනකය. ඔබ පිළිතුරු දිය යුත්තේ නැවත පවුල් පාලනයක් ඇති නොකරන්නේය, වැනි විහිලු වලට නොව, ඔබ ඔබේ ප්‍රතිවාදියාට නාමයෝජනා දුන්නේද; එසේ දුන්නේ නම් ඊට හේතුව කුමක්ද; යන මුලික කාරණයට පමණි. නැවත පවුල් පාලනයක් ඇති වීමට ඉඩ නොදෙන්නේද යන්න ඔබට වඩා ජනතාව හමුවේ ඇති ගැටලුවකි. ඔබ හමුවේ ඇති ගැටලුව වූ කලී, හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔබ ගනු ලැබූ පාරිශුද්ධ තීරණය කුමක්ද යන්නය.

පසුගිය පැය කිහිපය තුළ ලංකාවේ සිදු වූ දෙය ඓතිහාසික කාරණයකි. ඒ හමුවේ ගොලුබෙල්ලෙකුමෙන් කට්ට ඇතුලට රිංගාගෙන සිට කිසිඳු අර්ථයක් නැති පරිධියේ ඇති ප්‍රලාපයක් හෙලීම පිළිතුරු සැපයීමක් නොවේ. නායකත්වය වූ කලී මෙය නොවේ.

ඇතැමෙකුට පුදුමය. තවකෙකුට අදහාගැනීමට නොහැකිය. තවකෙකුට “සොරි සිරා” දේශපාලන ලෝකයේ උපත ලබා ඇත. තවකෙකුට දශකයේ හොඳම නළුවා බවට “පොළොන්නරුවේ සිරිසේන” පත් වී ඇත. මේ අතර, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සමාජ වෙබ් අඩවි කුණුහරප වලින් පිරෙමින් තිබේ. මෛත්‍රී වූ කලී කපටි නළුවෙක් මෙන්ම අනගි පාවාදෙන්නෙක් බවට වූ අර්ථ නිරූපණයන් සකස් වෙමින් තිබේ. සාමාන්‍යය ජනතාව සංවේදී සහ ආවේගසීලී බව අමුතුවෙන් කිව යුතු නැත. සැබෑ නායකත්වයක් මෙන්ම එම නායකත්වය උචිත වේලාවේදී පෙනී සිටීම අත්‍යවශ්‍ය වන්නේ මේ නිසාය.

අපි හමුවේ ඇති අහියෝගය කුමක්ද?

පසුගිය නොවැම්බර් මාසයේදී එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ මහලේකම් වරයා ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා ලෙස තරග වදින බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසු එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා කම්පනයට පත් වූයේය. ඔහු කළ හැකි හදි හූනියම් සියල්ලම කළේය. නමුත් ඔහුට නොසිතු අන්දමින් ගෙදර යෑමට සිදු විය.

එකල මහින්ද මෛත්‍රී කිය වූ ආකාරයෙන් මෙකල ජනතාවට මෛත්‍රී කියවීමට අවස්ථාවක් ලබා දී තිබේද? මෙහි ඇති වටිනාකම කෙතරම් අගනේද යන්න ඉන් පැහැදිලි වේ. ශන්මුගනාදන් කියවූ බොහෝ දෙනෙක් විජේවීර කියවීමට ගත්තේද, විජේවීර කියවූ බොහෝ දෙනෙක් ප්‍රභාකරන් කියවීමට ගත්තේද, ප්‍රභාකරන් කියවූ බොහෝ දෙනෙක් රාජපක්ෂ කියවීමට ගත්තේද, රාජපක්ෂ කියවූ බොහෝ දෙනෙක් මෛත්‍රී-චන්ද්‍රිකා සුසංයෝගය කියවීමට ගත්තේද ඒ අනුවය. එහිදී මඟ හැරුණු මුලික දේ වූ කලී, අනුන්ගැන කියවීම නිසා තමන් ගැන කියවීමට කාලය නොමැති වීමය.

එදා මහින්දට, මෛත්‍රී යනු එට් ටූ බ්රුටස් විය. අද රටේ ජනතාවට මෛත්‍රී යනු එට් ටූ බ්රුටස් වූයේද යන ගැටලුවට පිළිතුරු දීමේ අවස්ථාව උදා වී තිබේ.

එක් කරුණක් නම් පැහැදිලිය. ඒ වූ කලී දේශපාලනික වශයෙන් යුගපෙරළි සිදුවන අවස්ථාවන්හිදී සමාජීය වශයෙන් ඇතිවන වෙනස්කම් සිදුවන්නේ මෙලෙසය.

මූලික මෝහනීය සහ අමන ගැටලුව වූ කලී මෛත්‍රීගේ අයිතිකරුවන් වීමට බොහෝ දෙනෙකු උත්සහ කිරීමය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාණෙනි. ඔබට තෙරුවන් සරණයි.

nilantha-profileනිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa