කොල්ලූපිටියේ සහ හම්බන්තොට ඉදි කිරීමට නියමිත ‘හයාට්’ හෝටල් ව්‍යාපෘතිය ගැන කරන ලද විගණන පරීක්ෂණයක දී විශාල පරිමාණයේ වංචා දූෂණ සිදුවී ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබේ. ඇස්තමේන්තු කරන ලද මුල් වියදම වූ රුපියල් බිලියන 13 ක මුදල, පසුව රුපියල් බිලියන 27 ක් දක්වා වැඩි කර තිබීම හේතුවෙන්, එම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා රුපියල් බිලියන 9 කට ආසන්න හිඟයකට දැන් එය මුහුණදී ඇති බව එහි නව අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය දා ප‍්‍රකාශ කොට සිටියේය.

සීමාසහිත කැන්විල් හෝල්ඩින් සමාගම, රජයට මුළුමණින් අයත් පොදු ව්‍යවසායකි. එය ආරම්භ කරන ලද්දේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ ය. මෙම ව්‍යවසායේ කොටස්කරුවන් වුණේ, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත්, රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගම සහ සේවක අර්ථසාධක අරමුදලත් ය. ඒ අනුව, සීමාසහිත කැන්විල් හෝල්ඩින් සමාගමේ ආරම්භක ප‍්‍රාග්ධනය වශයෙන්, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් රුපියල් බිලියන 8.5 ක් ද, ලිට්‍රෝ ගෑස් සමාගමෙන් රුපියල් බිලියන 5 ක් ද, සේවක අර්ථ සාධක අරමුදලෙන් රුපියල් බිලියන 5 ක් ද වශයෙන්, රුපියල් බිලියන 18.5 ක ආයෝජනයක් යොදවා තිබුණි. එහි අයිතියෙන් සියයට 46 ක් ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවටත්, සියයට 27 බැගින් ලිට්‍රෝ ගෑස් සහ සේවක අර්ථසාධක අරමුදලටත් අයත් වෙයි.

අනතුරුව, කැන්විල් හෝල්ඩින් සමාගම මේ කොටස් වටිනාකම, තවත් උපාංගික ව්‍යාපෘති දෙකක් සඳහා යොදවන ලදි. එකක් වුණේ, කොල්ලූපිටියේ ඉදිවන හයාට් හෝටලය ගොඩනැංවීම භාරව සිටින ‘සිනෝලංකා හොටල් ඇන්ඞ් ස්පා’ සමාගමත්, හම්බන්තොට ඉදිවීමට නියමිත තිබූ හයාට් හෝටලය ගොඩනැංවීම භාරව තිබූ ‘හෙලැන්කෝ හොටෙල් ඇන්ඞ් ස්පා’ සමාගමත් ය.

‘‘කොළඹ කොල්ලූපිටියේ හයාට් හෝටලය අවුරුදු තුනක් තිස්සේ ඉදිවෙමින් තිබේ. එය ගොඩනැංවීම සඳහා ඉඩම ලබාගත් දවසේ සිටම මේ ව්‍යාපෘතියේ යෝධ නාස්තිය සහ අවපාලනය පිළිබඳ අවස්ථා ගණනාවක් විගණන පරීක්ෂණය තුළින් සොයාගෙන තිබේ. අමතර දේපළ තුනක් මේ අතර මිළදී ගෙන ඇත. ඒවාට කරන ලද ගෙවීම, ආණ්ඩුවේ තක්සේරුකරුගේ ඇස්තමේන්තුවට වඩා රුපියල් මිලියන 40 කින් ඉක්මවා යන’’ බව, සමාගමේ නව සභාපති හේමක අමරසූරිය වාර්තාකරුවන්ට පැවසීය. කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය දැනට කරගෙන යාම සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන තිබෙන බව ඔහු කීය.

මේ සඳහා වන ප‍්‍රධාන භූමිය සපයා ඇත්තේ, 99 අවුරුදු බද්දක් යටතේ, නාගරික සංවර්ධන අධිකාරිය මගිනි. ඒ, එදා මහත් ආන්දෝලනයට ලක්වූ සෙලින්කෝ දේපල මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මගින් පවරා ගැනීමෙන් අනතුරුවයි. මේ කියන කැන්විල් හෝල්ඩින් සමාගම කලින් කළමනාකරණය කෙළේ, එහි එවකට සභාපති ගාමිණී සෙනරත් සහ එහි හිටපු කළමණාකරන අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ විසිනි. එහෙත් නිසියාකාර අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පවත්වා නැති අතර, ප‍්‍රධාන තීරණ ගෙන ඇත්තේ ඊමේල් හරහා බව, නව සභාපතිවරයා පෙන්වා දෙයි.

විගණන වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි, සිදුවී ඇති අක‍්‍රමිකතා සහ අවපාලනය තුළ, කිසි ගිවිසුමකින් තොරව එක්තරා නීතිඥයෙකුට රුපියල් මිලියන 10 ක් ගෙවීම, ලෝහ මිළදී ගැනීමේදී රුපියල් මිලියන 16 ක පාඩුවක් දැරීම, අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව මෙවලම් සම්පාදකයෙකුට රුපියල් මිලියන 80 ක් ගෙවීම, ජනාධිපතිවරණයට දවසක කලින් ජාත්‍යන්තර කොන්ත‍්‍රාත්කරුවෙකු සමග ඩොලර් මිලියන 37 ක වටිනාකමින් යුත් ජාත්‍යන්තර ටෙන්ඩරයක් අත්සන් කිරීම සහ එය අත්සන් කිරීමේ උළෙල සඳහා පමණක් රුපියල් මිලියන 12.8 ක් වැය කිරීම ආදී අවස්ථා තිබේ. හම්බන්තොට හයාට් හෝටලය සඳහා යෝජිතව තිබූ රුපියල් බිලියන 5 න් රුපියල් මිලියන 300 ක්, ඒ සඳහා වන අත්තිවාරම් ගලක්වත් නොතබා වියදම් කොට තිබීම මෙහිදී කැපී පෙනේ. මේ තත්වය තුළ, ඉතිරිව තිබෙන අරමුදල් කොල්ලූපිටියේ හයාට් හෝටලය සම්පූර්ණ කිරීම සඳහා යොදවා, රාජපක්ෂ පවුලේ නාමය වෙනුවෙන් හම්බන්තොට ඉදි කිරීමට නියමිතව තිබූ හයාට් හෝටල් ව්‍යාපෘතිය අතහැර දැමීමට නව අධ්‍යක්ෂ මණ්ඩලය සැලසුම් කරමින් සිටී. මේ ව්‍යාපෘති සඳහා වන බොහෝ කොන්ත‍්‍රාත් පිරිනමා ඇත්තේ ටෙන්ඩර් පරිපාටියකින් තොරව බව, විගණන වාර්තාව තවදුරටත් පෙන්වා දෙයි.

මේ සියල්ලට අමතරව, අභ්‍යන්තර නිර්මාණ සැලසුම් සඳහාද, ආපන ශාලා, කෑම සැපයීම්, ලොන්ඩරි, ආලෝකකරණය, විදුලි සෝපාන, භූදර්ශන සඳහාද විදේශ උපදේශකවරුන් පත්කොට තිබේ. නව අධ්‍යක්ෂ මණ්ඩලය මේවා පරීක්ෂා කොට බොහොමයක් අවලංගු කොට ඇත. මීට අමතරව, මසකට රුපියල් මිලියන 16 ක වැටුපට විදේශ ඉංජිනේරු විශේෂඥයෙකුද පත්කොට ඇති අතර එම සේවාව නව පාලනය විසින් අවලංගු කොට ඇත. හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයාට රුපියල් මිලියන 1.5 සීමාවකට යටත්ව සමාගම් ක්‍රෙඩිට් කාඞ්පතක් නිකුත් කොට ඇති අතර, ඔහුගේ දරුවන් දෙන්නාවම, සියලූ වරප‍්‍රසාද සහ දීමනා සහිතව කැන්විල් හෝල්ඩින් සමාගමේ සේවයට බඳවාගෙන ඇත. මේ විගණන වාර්තාවෙන් සොයාගත් තොරතුරු පොලිස් අපරාධ විමර්ශණ අංශයට භාරදීමට නියමිතයි.

‘‘කලින් ඇති කරගෙන තිබූ කොන්ත‍්‍රාත්, අළුත් කොන්දේසි යටතේ නැවත සකස් කර ගැනීමෙන් සහ තවත් කොන්ත‍්‍රාත් නතර කර දැමීමෙන්, මේ වන විට රුපියල් මිලියන 150 ක් අප ඉතිරි කරගෙන තිබේ. කිරීමට ඇති වැඩ කටයුතු සඳහා අළුතෙන් ටෙන්ඩර් කැඳවා තිබේ. පාරදෘෂ්‍ය භාවය දැක්වෙන පරිදි කටයුතු කිරීමට අපි අනාගතේ වගබලා ගනිමු. මේ නාස්තිය සඳහා වැය වී ඇත්තේ මහජන මුදල් වන බැවින් ඒ ගැන දැන ගැනීමේ අයිතියක් මහජනතාවට ඇත.’’ යනුවෙන් වර්තමාන සභාපතිවරයා කීය.

මිලියන 1.4 ක මාසික වැටුපකට සේවයට ගෙන සිටි විදේශික පාලන කළමනාකරුවෙකු, ඔහුගේ සේවාවන් මේ අවස්ථාවේ අවශ්‍ය නොකරන හෙයින්, වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නැවත හයාට් ඉන්ටර්නැෂනල් වෙත හරවා හැර තිබේ. කෙසේ වෙතත්, කැන්විල් හෝල්ඩින් සමාගම සහ හයාට් ඉන්ටර්නැෂනල් සමාගම අතර ඇති කරගෙන තිබෙන ගිවිසුමේ, කළමණාකරණය සහ ලාභ බෙදා ගැනීම සම්බන්ධයෙන් වන අක‍්‍රමිකතා දක්නට නොලැබෙන බව, අමරසූරිය පෙන්වා දුන්නේය. මුල් ගිවිසුම පරිදි 2014 දී මේ හෝටලය නිමවා අවසන් වීමට නියමිතව තිබුණත්, වර්තමාන තත්වය තුළ එය අවසන් කෙරෙනු ඇත්තේ, 2017 දී ය.

උදිත ජයසිංහ

*2015 ජුලි 1 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ Hyatt Heist! නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි