ඕනෑම රටක් සඳහා පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය ජාතික දේශපාලනික න්‍යාය පත්‍රයක වැදගත්කම කොතෙක්ද යන්න වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මනාව අවබෝධ කර දී ඇති පසුබිමක, පුරවැසියන් වශයෙන්, සිය සවිඥානයට තට්ටු කර බැලීමට අවස්ථාවක්ද සමස්ථ ශ්‍රී ලාංකිකයින් (අඩුම තරමින් කොන්දේසි විරහිතව පුරුද්දට මහින්දවම ඉල්ලන ආධානග්‍රාහීන් හැරුණු කොට) අභිමුව තිබේ. තවදුරටත් අප රටට නොවැදගත් බවට ජනවාරි 08 වැනි දා බහුතර ශ්‍රී ලාංකිකයන් විසින් තීන්දු කරන ලද ‘පරාජිත මහින්ද සාධකය‘ ඕනෑවට වඩා බරපතලෙට ගනිමින් තමා වෙනුවෙන් ලැබුණු පුරවැසි තීන්දුව පවා ඉතා නින්දිත තත්ත්වයකට ඇද දැමීමට ජනාධිපතිවරයා මෙහෙයවන ලද්දේද දේශපාලනික පක්ෂවලට අප සමාජය තුළ හිමි වී ඇති අනවශ්‍ය වැදගත්කමයි. 1948 න් පසුව මේ දක්වාම මෙරට ජනතාව පොදු නැඹුරුවක් දක්වා ඇත්තේද සෑම මොහොතකම කවර හෝ දේශපාලනික පක්ෂයක් සමග ඈඳී සිටීමටයි. වෙනත් වචනවලින් කියන්නේ නම්, දේශපාලන පක්ෂ නමැති සීමාවෙන් එහාට ගිය දේශපාලනයක් ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනෙකුට නැති තරම්ය.

දේශපාලන පක්ෂයක් යනු තමන්ට ආවේණික දේශපාලනික දැක්මක්, නැත්නම් සමාජය කෙසේ විය යුතුද යන්න පිළිබඳ ස්වකීය දෘෂ්ටිවාදයක් දරන භෞතික නියෝජන මාධ්‍යයක් මිස, යම් රටක සියලුම බලාපොරොත්තු හා අවශ්‍යතා අභිබවා යමින් ඉස්මතු විය යුතු වැදගත්ම සාධකය නොවේ. ඇත්තෙන්ම, දේශපාලන පක්ෂ අපට වැදගත් වන්නේ ඇයි? දේශපාලන පක්ෂ එකකට වඩා තිබීම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික කොන්දේසියක් බව ඇත්තය. එකකට වඩා වැඩි දේශපාලන පක්ෂ සංඛ්‍යාවක් පැවතීම යන්නෙන් අදහස් වන්නේ ජනතාවට සේවය කිරීම පිළිබඳ එකිනෙකට වෙනස් ‘කියවීම්‘ කිහිපයක් තිබෙන බවයි. එහි සාධනීය ලක්ෂණ ඇත. එවිට, ජනතාවට තෝරා ගැනීමට ඇති විකල්ප ප්‍රමාණය වැඩිය. එක් දේශපාලන පක්ෂයක් අතට බලය පත් වූ විට, එනම්, එය ආණ්ඩුව බවට පත් වූ විටල එහි හැසිරීමට බලපෑම් එල්ල කිරීමට ඇති මාධ්‍ය පරාසය පුළුල්ය. මෙවැනි හේතු බොහොමයක් ඇසුරින් දේශපාලන පක්ෂ නමැති සාධකය ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යවශ්‍ය වන්නේ ඇයි යන්න පැහැදිලි කළ හැකිය. එහෙත්, කවර පක්ෂයක හෝ අවශ්‍යතා රටක ජාතික න්‍යාය පත්‍රයේ ඉහළින්ම සටහන් කරන්නට යාම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි බවද අප තේරුම් ගත යුතුය. මෛත්‍රී තේරුම් නොගත්, නැතහොත් තේරුම් ගැනීමට ඔහුට අවශ්‍ය නොවූ, එසේත් නැතහොත් තේරුම් ගියද එය ‘තමාට අදාළ නොවන හෙයින්‘ නොතේරුණ ගානට සිටි කරුණ මෙයයි. ‘රට‘ සහ ‘පක්ෂය‘ යන දෙකින් කිසිදු හිරිකිතයකින් තොරව ඔහු ‘පක්ෂය‘ යන්න තෝරා ගත්තේ ශ්‍රී ලංකාවට නොමැති වටිනාකමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතැයි ඔහු සිතූ නිසාද?

2015 ජනවාරි මස 08 දක්වා මේ රටෙහි ස්ථාපිතව පැවති අන්ත දූෂිත, ම්ලේච්ඡ හා අශිෂ්ට දේශපාලන ක්‍රමය පිළිබඳව ඇති ව තිබූ දැඩි පිළිකුළ නොවන්නට බහුතරයේ ඡන්ද කතිර මෛත්‍රීපාල සිරිසේනගේ නම ඉදිරියේ සලකුණු නොවන්නටද හොඳටම ඉඩ තිබුණි. ඇත්තෙන්ම, ජනතාව ඡන්දය දුන්නේ යහපාලනයට මිස මෛත්‍රී නමැති තනි පුද්ගලයාට නොවේ. අනෙක් අතට, මෛත්‍රී යනු බහුතර ඡන්ද ප්‍රමාණයක් දිනා ගැනීමට තරම් මෙරට ඡන්ද දායකයන් අතර ජනප්‍රියව සිටිල එනම් ‘පොලිටිකල් හිට් එකක්‘ බවට පත්ව සිටි පුද්ගලයෙකුද නොවේ. කෙටියෙන් කියනවා නම්, පොළොන්නරුවෙන් එහාට ගිය දේශපාලනික අවශ්‍යතාවක් මෛත්‍රී නමැති දේශපාලඥයාට අදාළව මෙරට වැසියන් අති බහුතරයගේ සිත් තුළ නොවූ බව සඳහන් කළ යුතුම කරුණකි. එසේ නම්, මෙරට පුරවැසියන්ගෙන් වැඩි දෙනෙකු එවන් පුද්ගලයෙකු ජනාධිපති කිරීම සඳහා තමන්ගේ ජනතා පරමාධිපත්‍යය භාවිත කළේ ඇයි? මිනිස්සුන්ට මෛත්‍රීව අවශ්‍ය වුණේ ඇයි? දූෂිත දේශපාලන ක්‍රමය පිළිබඳව හටගත් ජුගුප්සාව නිසාවෙන්ම ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමට තීරණය කරගෙන සිටි අය පවා මෙවර මෛත්‍රී වෙනුවෙන් සිය ඡන්දය කැප කළේ ඇයි? මේ හැම ප්‍රශ්නයකටම පොදු එක් පිළිතුරක් දිය හැක. ජනවාරි 08 වැනිදා පැවැත්වුණු ජනාධිපතිවරණය යනු ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ යළි කිසිදා බලාපොරොත්තු විය නොහැකි තරම් දුර්ලභ ගණයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් බව මෙරට ජනතාව තේරුම් ගත්හ. එහිදී ජනතාවට ගත හැකිව තිබුණේ බරපතල තීරණ දෙකින් එකක් පමණි. එනම්, දූෂිත මහින්ද රාජපක්ෂ රෙජීමය තවදුරටත් පවත්වා ගන්නවාද, නැතහොත් මහින්දට ප්‍රතිපක්ෂව ගොඩනැගී තිබුණු පොදු විපක්ෂයේ පැත්ත ගන්නවාද යන විකල්ප දෙකින් එකක් තෝරා ගැනීමයි. කවර විකල්පයක් තෝරා ගත්තද එය තම දරුවන් වෙනුවෙන් ගොඩනැගෙන අනාගත ශ්‍රී ලංකාවේ ස්වභාවය තීරණය කරන බරපතල කාරණයක් බවද ඔවුහු දැන සිටියහ. මහින්ද වටා එක්රොක් වී සිටි රස්තියාදුකාර, මැර දේශපාලන බලවේගය සමග සැසඳීමේදී පොදු අපේක්ෂකයෙකු (අපි, ‘මෛත්‍රීව ජනාධිපති කිරීම‘ යන්න භාවිත කිරීමෙන් වැළකී සිටිමු) ජනාධිපති ලෙස පත්කර ගැනීම සඳහා එක් වී සිටි සියලු බලවේග ආශ්‍රිතව දැකිය හැකි වූයේ සාපේක්ෂ මට්ටමින් මහින්දට වඩා දියුණු ශිෂ්ටාචාරවත්භාවයකි. සංස්කෘතිකවත්භාවයකි. අනෙක් අතට, රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින් මහින්ද ස්වකීය දූෂිතභාවය වසන් කරනු පිණිස ව්‍යාජ සංදර්ශන මවා පාමින් ජනතාවට කොකා පෙන්වමින් සිටි මොහොතක, රට පාලනය කරන මේ මානසික ලෙඩකාරයා නොනවත්වාම තමන්ව ගොනාට අන්දන්නට හදමින් සිටින බව ජනතාවට වැටහී තිබුණු මොහොතක, තමන් පිළිබඳ දේශපාලනික තීරණයක් ගැනීමේ යළි උදා නොවන අවස්ථාව මෙරට ඡන්ද දායකයන් ඉදිරියේ පැවතුණි. ඔවුහු 08 වැනිදා ඒ තීරණය ගත්හ. කරුණු විමසීමේදී පෙනී යා යුත්තේ ඔවුන් එදා ඒ තීරණය ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුඛවිහරණය වෙනුවෙන් නොව, ශ්‍රී ලංකාව නමැති රට මනුස්ස වාසයට සුදුසු රටක් බවට පත් කිරීම වෙනුවෙන් බවයි. පොදු අපේක්ෂකයා වටා සිටි අනෙකුත් බලවේග (විද්වත් ව්‍යාපාර, සිවිල් සංවිධාන, දේශපාලඥයන්, සමාජ ක්‍රියාධරයන් ආදී) කෙරෙන් දිස් වූ ප්‍රජාතන්ත්‍රකාමීත්වය හා යහපාලනවාදීත්වය කෙරෙහි විශ්වාසය තබමින් මෙරට ජනයා එදා සිය ඡන්දය පාවිච්චි කළේ පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන ජනාධිපති කිරීම වෙනුවෙන් නොව, මුළු රටටම සාපයක්ව පැවති පවුල් රෙජීමයේ නිර්මාතෘ මැදමුලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ පරාජය කිරීම වෙනුවෙනි. වත්මන් ජනාධිපතිවරයා මෙය තරමක් හෝ සබුද්ධිකව තේරුම් ගැනීම ඔහුට කෙසේ වෙතත් රටට හොඳය!

මෙරට ජනතාව ජනවාරි 08 වැනිදා දුන් මැතිවරණ තීන්දුවෙහි සරල අර්ථය ‘මහින්ද තවදුරටත් එපා‘ යන්න වුවද ඒ තීන්දුවටම පිටුපාමින්, එනම් ජනාධිපති ලෙස තමා පත් කිරීමට ජනතාව දුන් තීන්දුවම පවා හෑල්ලු කරමින් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා මහින්ද රාජපක්ෂට නාමයෝජනා දීමට මෛත්‍රී ගත් නිවට තීරණය ශිෂ්ටසම්පන්න සමාජය ඉදිරියේ බරපතල ප්‍රශ්නකිරීම්වලට හා පිළිකුළට පාත්‍ර විය. එසේම, ලංකාවේ අපට අවශ්‍ය ‘දේශපාලන සංස්කෘතියක්‘ මිස ‘දේශපාලන ක්‍රමයක්‘ නොවන බව නැවත නැවතත් සනාථ වීමට අවස්ථාවක්ද ඔහු එමගින් උදා කළේය. මේ අප රටේ දේශපාලන ක්‍රමයේ හැටිය. තමන් වෙනුවෙන් ඡන්දදායකයින් ලබා දුන් ඡන්ද ටිකත් රැගෙන වෙනත් පක්ෂයක මුදල් ගෙන තමාවම විකුණා ගැනීමට කිසිදු පැකිළීමක් හෝ ආත්ම ලැජ්ජාවක් නොමැති දේශපාලඥයින්ගෙන් පිරී ගිය තත්ත්වයක් තුළ මෙවැනි දෑ පුදුමසහගත ලෙස ගත යුතු නොවේ. මෛත්‍රීගේ තීරණය අතිශය පිළිකුල්සහගත සේම නිවට එකක් බවට විවාදයක් නැත. එහෙත්, පුරවැසියන් වශයෙන් අනාගතය වෙනුවෙන් මෙයින් ඉගෙන ගන්නට වැදගත් පාඩමක් අපට තිබේ. එනම්, දේශපාලනික වශයෙන් අප පුනරුත්තාපනය වීමේ අවශ්‍යතාවයයි. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම මෛත්‍රීට බැනවදිමින් කල් හැරීම ප්‍රශ්නයට විසඳුම නොවේ. මන්ද, මේ එක මෛත්‍රී කෙනෙකු පමණි. තවත් මෛත්‍රීලා ඉදිරියේදී බිහි වීමට අවශ්‍ය පසුබිම දැනටමත් සකස් වී තිබේ. එසේ නම් අප සිදු කළ යුත්තේ කුමක්ද? මේ පසුබිම වෙනස් කිරීම වෙනුවෙන් කැප වීමයි.

මට පෙනෙන හැටියට ජනවාරි 08 සිට මේ දක්වා මෛත්‍රී විසින් දේශපාලනික මෙන්ම ආචාර ධාර්මික අතින්ද සාපරාධී ගණයේ වැරදි තුනක් සිදු කර තිබේ. එක, පසුගිය රජය යටතේ බලය අවභාවිත කරමින්, මුදල් හූරා කමින්, අසික්කිත දේශපාලනයක නිරත වූ සැලකිය යුතු පිරිසකට (මැරයා මැරයෙකු වන්නේ අන් අයව තළා පෙළා දැමීමෙන් පමණක් නොවේ. ඇතැම් විට ආකල්පීය වශයෙන් පුරවැසියන් මුළා කිරීමද මැරකමක් ලෙස සැලකීමට සිදු වේ) ‘යහපාලන‘ රජය යටතේද විවිධ තනතුරු දීම. ජනතාව ප්‍රතික්ෂේප කළේ මහින්ද රාජපක්ෂ නමැති තනි පුද්ගලයාව පමණක් නොවේ. ඔහු වටා කඳවුරු බැඳගෙන, ඔහුගේ පහනින් එළිය බලමින් හා ඔහුව අනුගමනය කරමින් මේ රට කාබාසිනියා කරන මුග්ධ දේශපාලනයක නිරතව සිටි අයද ජනතා පිළිකුළට ලක් වූහ. ඒ අයද ගෙදර යැවීම කෙසේ වෙතත් ‘රාජ්‍ය පාලනයෙන් පැත්තකට කර තැබීම‘ට පුරවැසියන්ට අවශ්‍ය වී තිබුණි. එහෙත් සිදු වූයේ, මහින්ද රජයේදී පරිදිම මෛත්‍රී රජය යටතේද ඇමතිකම් හා සුපුරුදු වරප්‍රසාද භුක්ති විඳීමට ඔවුන්ට හැකි වීමයි.

දෙක, මහින්ද රාජපක්ෂ පාලනය යටතේ සමාජ දෘෂ්ටිවාදය දූෂණය කිරීමෙහි නියැළී සිටියවුන් දැරූ අදහස් ප්‍රජාතන්ත්‍රවාදී හා ශිෂ්ට සමාජයකට අනවශ්‍ය අදහස් ලෙස සලකා ඒවා යටපත් කිරීම සඳහා, බණ කීමෙන් ඔබ්බට කිය ප්‍රති-දෘශ්ටිවාදයක් සමාජගත කිරීමට කටයුතු නොකිරීම හෝ අපොහොසත් වීම. නැතහොත්, මෛත්‍රීටද තමන්ගේ කියා බරසාර මට්ටමේ දෘෂ්ටියක් නොමැති වීම.

ඇත්තෙන්ම අප පරාජය කළ යුත්තේ දූෂිත දේශපාලඥයන් නොව ඔවුන් දරන දූෂිත දෘෂ්ටිවාද යි. නිදසුනක් ලෙස ගම්මන්පිල නමැති දූෂිතයා ගමු. ඔහුගේ දෘෂ්ටිවාදය යනුම ජාතිවාදය, ආගමික අන්තවාදය, සුළුතර විරෝධය, ප්‍රෝඩාවල බොරුව ඇත්ත සේ මවා පෑම, ප්‍රතිපත්තියක් නැතිකම දේශපාලනික පෞරුෂයේ අංගලක්ෂණයක් බව පෙන්වීමට කැමති වීම ආදී අශිෂ්ට හා ම්ලේච්ඡ ගතිලක්ෂණ රැසක සම්මිශ්‍රණයකි. මෙරට ජාතික ගීය දමිළ භාෂාවටද පරිවර්තනය කළ යුතු බවට තීරණය කෙරුණු අවස්ථාවේදී ඔහු හැසිරුණු ආකාරය අපි දනිමු. ඔහුට අනුව එය ජාතික ගීය ‘විකෘති‘ කිරීමකි. මෙය හොඳින්ම දන්නා අප ඉදිරියේම ඔහු ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය විකෘති කොට මාධ්‍යවලට කළ ප්‍රකාශද අපට අමතක නැත. විමල් වීරවංස යනුද තවත් එවැනිම දූෂිතයෙකි. වාචාලයෙකි. දේශපාලනික විකටයෙකි. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ විට විමල් වීරවංස නොහොත් විමලසේන ‘සිරිසේනයා‘ යනුවෙන් ඔහුව ආමන්ත්‍රණය කොට තුච්ඡ මට්ටමේ මඩ ප්‍රහාර එල්ල කළ හැටි මාධ්‍ය මගින් අපි දුටුවෙමු. එහෙත්, මහින්ද රජපක්ෂට නාමයෝජනා දුන් සැණින් හැව මාරු කොට සිරිසේනත් මහින්දත් සමග ගමනක් ඇතැයි කීමට තරම් ඔහුගේ දිව නැමුණු සැටි අප දුටුවේද ඒ මාධ්‍යවලින්මය. වාසුදේව නමැති ඊනියා සමාජවාදියා රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේදී අසභ්‍ය වචන කියමින් අග්‍රාමාත්‍යවරයාට බැණ වැදීම සම්බන්ධයෙන් එක්තරා රූපවාහිනී සාකච්ඡාවකදී බන්ධුල ගුණවර්ධන අපූරු සිංහල පාඩමක් කියා දුන් සැටිද අපි දුටුවෙමු. මහින්දට නාමයෝජනා දෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී පෙරහැරකින් ඔහු අභිමුවට ගිය ඔහුගේ සහචරයින් පිරිස නැවත අගමැති වන්නැයි ඔහුගෙන් නිල වශයෙන් ඉල්ලා සිටීමේ අවශ්‍යතාවයද පූර්ව සූදානමක් ඇතිව, පිටපතකට අනුව සිදු කළ බොරු මවා පෑමක් බව තේරුම් ගැනීමටද කෙනෙකුට අවශ්‍ය වන්නේ පියවි සිහියෙන් පසු වීම පමණි. මේ සිදුවීම් කිහිපයක් පමණි. මේ හැම සිදුවීමකටම අදාළ පොදු සත්‍යය කුමක්ද? තමන් සිදු කරන්නේ අන්තිම පාදඩ ක්‍රියාවක් බව මේ දේශපාලඥයින් හොඳින්ම දැන සිටියද, එය උපේක්ෂාවෙන් භාර ගන්නා තැනට ජනතාව පත් කළ හැකි ‘තවත් ආකාර‘ ඇති බවද ඔවුහු හොඳාකාරව දැන සිටිති. එනම්, ඔවුන්ගේ ජඩ දේශපාලනයේ ස්වභාවය සක්සුදක් සේ දැන සිටින ජනතාව පවා එය ‘සාමාන්‍ය ස්වභාවය‘ ලෙස භාරගන්නා තත්ත්වයක් ඇති කිරීමට අවශ්‍ය පොදු ‘සමාජ දෘෂ්ටිවාදය‘ ඔවුන් විසින්ම නිර්මාණය කරනු ලැබ තිබේ. මෙය ඉතාම බරපතල වන්නේ ඕනෑම අවධියක පවතින ‘සමාජ දෘෂ්ටිවාදය‘, එනම් සමාජයක් ලෙස පොදුවේ හිතන්නට හුරු කර ඇති ආකාරය, එම සමාජයේ ප්‍රගමනය වෙත ඇති කරන්නේ තීරණාත්මක බලපෑමක් හෙයිනි. අදටත්, මූණට වචනයක්වත් කතාකර නොමැති මහින්ද රාජපක්ෂ නමැති තවත් එක්තරා පුද්ගලයෙකු වෙනුවෙන් බඩ කපාගෙන මැරෙන්නට වුවද සූදානමක් ඇති බව පෙන්වන මහින්ද භක්තිකයන්ගේ ෆේස්බුක් ගිණුම් වෙත පිවිසෙන කෙනෙකුට ඉතා පහසුවෙන් ඔවුන් සිතන්නට හුරු වී සිටින ආකාරය තේරුම් ගැනීමට අසීරු නොවේ. වෛරය, ද්වේශය, ජාතිවාදය, රැවටීම, තමන්ගේ මතවාදය වෙනුවෙන් පට්ටපල් බොරු ප්‍රචාරය කිරීම, මිථ්‍යා විශ්වාස හිස් මුදුනින් පිළිගැනීම ආදී ගතිලක්ෂණ ඔවුන්ට ලැබුණේ කෙසේද? (මහින්ද රාවණාගේ පුනරුත්පත්තියක් ලෙස හඳුන්වා දීමට ඇතැම් අය උත්සාහ කර තිබීම අතිශය විහිළුසහගතය. මේවා දකින රාවණා ජීවතුන් අතර සිටියේ නම් හැකි ඉක්මනින් සිය නම වෙනස් කර ගනු ඇති බවට සැකයක්ද නැත!) උපතින්ද? නැත. මේ ඔවුන් හිතන්නට පුරුදු වී සිටින චින්තන පරාසයයි. මෙවැනි චින්තන පරාසයක් වෙනස් කිරීමට නම්ල ඊට වඩා ප්‍රබල ප්‍රති-දෘෂ්ටිවාදයක් සමාජගත කිරීමට කැප විය යුතු වුවද, තමන්ගේ ධර්මිෂ්ඨකම පෙන්වන්නට යාමෙන් ඔබ්බට ගිය අදහස්මය විප්ලවයකට තමන් සූදානම් බව මෛත්‍රී ප්‍රකට කළේද නැත. දේශපාලඥයෙකුට වැදගත් වන්නේ තමන් හා තරගයට සිටින තවත් ප්‍රතිවාදී දේශපාලඥයෙකු පරාජය කිරීම පමණක් වුවද පුරවැසියාට වැදගත් වන්නේ දූෂිතයෙකු සමග ඈඳී ඇති දූෂිත දෘෂ්ටිවාදය අඩපණ කිරීමයි!

තුන, ජනතාව ප්‍රතික්ෂේප කරන ලද මහින්ද රාජපක්ෂට පෙරළා දේශපාලනයට පිවිසීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමග 2015 ජනවාරි 08 දින මෙරට ඡන්දදායකයින් අති බහුතරය මෛත්‍රීපාල සිරිසේනට සිය ඡන්දය ලබා දුන්නේ මහින්ද ශාපය තවදුරටත් දරා සිටීම අසීරු වූ නිසා බව සිරිසේන දැන සිටිය යුතුය. ඉහතද කී පරිදි, මෛත්‍රීට ජනාධිපති වීමට වඩාත් බලපෑවේ ඔහු කෙරෙහි ජනතාව අතර පැවති ප්‍රසාදයටත් වඩා නිදහසින් පසුව බිහි වූ දුෂ්ටතම පාලකයා වූ මහින්ද කෙරෙහි පැවති අප්‍රසාදය හා පිළිකුළ බව මෙහිදී අමතක කළ නොහැක. මහින්ද ඒ තරමටම ප්‍රජාතන්ත්‍රවාදයට හා සදාචාරවත් රාජ්‍ය පාලනයට එරෙහි පිළිලයක් ලෙසින් මෙරට සමාජය වසාගෙන පැතිරී සිටියේය. එවැනි පසුබිමක් තුළ ජනාධිපති තනතුරට පත් වන මෛත්‍රීපාල සිරිසේන නැවතත් මහින්දට දේශපාලන කරළියට පැමිණීමට පාර කපන තීන්දු ගැනීම ඔහුට ඡන්දය දුන්, ජ්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව වටහා ගත යුත්තේ කෙසේද?

මෛත්‍රීපාල සිරිසේන පමණ ඉක්මවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහේ. මහින්දට නාමයෝජනා දෙන ලෙස ඔහුට පක්ෂය තුළින්ම අති විශාල බලපෑමක් එල්ල වූ බව ප්‍රකටය. මහින්දගේ තුප්පහි දේශපාලනික හැසිරීමේ ප්‍රතිඵලයක් ලෙස පක්ෂය දෙකඩ වීමේ අවදානමක්ද තිබූ බව සැබෑය. එහෙත්, යම් හෙයකින් පක්ෂය දෙකඩ වී ගියද එහි වගකීම භාර ගැනීමට සිදු වන්නේ මහින්දටම මිස මෛත්‍රීට නොවේ.

මෙම ප්‍රශ්නයේදී වත්මන් ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව තිබුණේ රට පෙරමුණේ තබාගෙනය. මන්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳ වැටීම සාම්ප්‍රදායික ශ්‍රීලනිප කාරයන්ගේ මිස පොදුවේ සමස්ථ ශ්‍රී ලාංකිකයින්ගේ දුකට හේතු විය යුත්තක් නොවේ. මේ රටේ සියල්ලන්ම ශ්‍රීලනිප කාරයන් යැයි මෛත්‍රී සිතා සිටිනවා නම් එය ඔහු සිදු කරන බරපතල වරදකි. දේශපාලඥයෙකු ලෙස තමන්ව පෝෂණය වීමට පසුබිම තනා දුන් සිය ආදරණීය පක්ෂය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කිරීමේ අයිතිවාසිකමද සාදාචාරාත්මක වගකීමද මෛත්‍රීපාල සිරිසේන සතු වේ. එහෙත්, ඒ වෙනුවෙන් රටේ අනාගතය පාවා දීමට ඔහුට අයිතියක් නැත. බොරුවට, ප්‍රෝඩාවට නම් දරා සිටි ගේම්කාරයෙකු වූ මහින්දටවත් හිතාගත නොහැකි විජයග්‍රාහී ගේම් එකකින් බලයට පැමිණ විධායක බලතල කපා හැරීම නමැති දීර්ඝ කාලීන හීනය සැබෑ කරගැනීමට උරදුන් ශ්‍රේෂ්ට මිනිසෙකු වශයෙන් ඉතිහාසයට එකතු වීමේ අභිලාෂයක් මෛත්‍රී සතුව තිබුණේ නම් ඔහු කළ යුතුව තිබුණේ සෙවල තීරණ ගැනීමෙන් වැළකී සිටීමයි. රටද පක්ෂයද යන විකල්ප දෙකෙන් ඔහු තෝරාගත යුතුව තිබුණේ රට මිස පක්ෂය නොවේ. අනෙක, මහින්ද නමැති උග්‍ර බලකාමියා උත්තරීතර පාර්ලිමේන්තුවට නැවතත් කැන්දාගෙන යාමෙන් ඉදිරියේදී අත්විය හැකි අහිතකර ප්‍රතිඵල පුරෝකථනය කිරීමේ හැකියාවක් නොමැතිකම මෛත්‍රීගේ වසර හතළිස් ගණනක දේශපාලන දිවියේ සමස්ථ අස්වැන්නද? නැතහොත්, පක්ෂ පාටවලට ලඝු නොවී මුලු රට වෙනුවෙන්ම නැගී සිටීමට 2015 ජනවාරි 08 වැනි දා ඔහුට තිබූ ‘පෞරුෂය‘ තවදුරටත් ඔහු තුළ නොවීමේ ප්‍රතිඵලයක්ද?

මෙවැනි තත්ත්වයක් තුළ මෙවර මහමැතිවරණයේදී පුරවැසියන් වශයෙන් ඉටු කරන්නට බරපතල රාජකාරියක් අපට තිබේ. දේශපාලඥයින් පරාජය කළ හැක. එහෙත්, ස්වකීය අරමුණු සාධනය උදෙසා ඔවුන් විසින් සමාජගත කරන දූෂිත දෘෂ්ටිවාද ඔවුන් පරාජය කිරීමෙන් පසුව පවා සමාජය තුළ බලපැවැත්වේ. මීට ඇති හොඳම නිදසුන අදටත් මහින්දගේ නරි නාටක බලමින් ඒවා අන්ධ භක්තියෙන් අනුමත කරන අයගේ ආකල්ප හා හැසිරීම් රටාවයි. මහින්ද ඔවුන්ව කොතරම් හොඳට පුහුණු කර තිබේද යත්, මහින්ද බොරු රඟපෑම් නවතා සැබෑ මහින්ද ලෙස ඔවුන් ඉදිරියට පැමිණියහොත් ඔවුන් මහින්දවද ප්‍රතික්ෂේප කරන තරමට මහින්දවාදය ඔවුන් තුළට කා වැදී තිබේ. මැතිවරණයකදී දූෂිතයා ගෙදර යවා සාපේක්ෂව අවම මට්ටමේ දූෂිතයා බලයට පත්කර ගැනීම යනු මහින්ද වෙනුවට මෛත්‍රී ගෙන්වා ගැනීම වැනි තාවකාලික පැලැස්තර ඇලවීමක් පමණි. දූෂිතයාව ආරක්ෂා කරන දූෂිත දෘෂ්ටිවාද සමාජයෙන් අතුගා දැමීම ඉන් එහාට ගිය දීර්ඝ කාලීන පිළියමකි. එවිට, අනාගත මහින්දලා, විමල්ලා, ගම්මන්පිලලා, වාසුලා ඉබේම ගබ්සා වනු ඇත!

Ashanඅශාන් වීරසිංහ | Ashan Weerasinghe