හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුලූ මැර පිරිසක් විසින් ගිනි අවි රැගෙන පැමිණ ගායක ජයතිලක බණ්ඩාර ඇතුළු වීදියේ විරෝධය කණ්ඩායමට සිදු කළ කෘෘර පහරදීමට එරෙහි නඩුව ඊයේ(22) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවිය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණයට කරුණු වාර්තා කරමින් ප්‍රකාශ කර සිටියේ

‘පොලීසිය විසින් මෙම නඩුව දණ්ඩ නීති සංග්‍රහයේ 140 යටතේ නීති විරෝධි රැස්වීමක සමාජිකයෙක් වීම සහ 314 යටතේ සුලු තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ පමණක් චෝදනා ගොනුකර තිබීම අගතියට පත් පාර්ශවයට අසාධාරණයක් වී ඇති බවයි. එම නිසා මේ සම්බන්ධව පොලීසිය විසින් නිසියාකාරව විමර්ශනයක් නැවත සිදු කර ජයතිලක බණ්ඩාර ඇතුලූ වීදියේ විරෝධය කණ්ඩායමට හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුලූ පිරිස ගිණි අවි රැගෙන තර්ජනය කරමින් පහරදීම සම්බන්ධව අගතියටපත් පාර්ශවය විසින් හම්බන්තොට පොලීසිය වෙත කළ පැමිණිල්ලත් ඉන් පසුව පොලිස්පති වෙත සිදු කළ ලිඛිත පැමිණිල්ලත් අනුව පොලිසිය විසින් අපක්ෂාපතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටින ලදී.’

නීතිඥ සේනක පෙරේරා මහතා තව දුරටත් කරුණු දක්වමින් කියා සිටියේ මෙම චෝදනා පත්‍රය අනුව නඩුව විභාග කළහොත් අගතියට පත් පාර්ශවයට අප්‍රතිකාරී හානියක් වගේම අගතියක් සිදුවන බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 108 වගන්තිය අනුව චෝදනා පත්‍රය නැවත සංශෝධනය කරන ලෙසට සහ මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශණයක් කිරීමට පොලිසියට නියෝග කරන ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින බවයි.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් මෙම නඩුව විභාග ලැයිස්තුවෙන් ඉවත් කර තංගල්ල පොලිස් අධිකාරිවරයා යටතේ නැවත විමර්ශණයක් සිදුකීරීමට කිරීමට නියෝග කරන ලදී. එමෙන්ම එම විමර්ශණවල ප්‍රගතිය ලබන සැප්තැම්බර් මස 9 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසද නියෝග කර සිටියේ ය.

පසුගිය කාලය පුරාම නගරාධිපති එරාජ් විසින් ගිනි අවි භාවිතා කරමින් මැර ප්‍රහාර එල්ල කළද ඒ සෑම අවස්ථාවකදීම නගරාධිපති එරාජ්ට නිදැල්ලේ සීටීමට පහසුකම් සැලසුනේ රාජපක්ෂ පාලන කාලයේ යුක්තිය සහ නීතියේ ආධිපත්‍ය සෝදාපාලූවට ලක්වීම නිසාය.

නමුත් අද දින හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දුන් නියෝගය යුක්තිය සහ නීතියේ ආධිපත්‍ය පිළිබඳ නැවතත් ලංකාවේ පුරවැසියන්ට බලාපොරොත්තු තබාගත හැකි නියෝගයක් බව යුක්තිය අගයන නීතිවේදීහූ සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙති.