Image Credit:Press;Maithreepala Sirisena/FB

ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ බොහෝ අවස්ථාවල සිදු වූවාක් මෙන් මෙවර ද එය නැවතත් සිදු විය. එනම්, පෙරමුණු, සංධාන හෝ එවැනි නම්වලින් පැමිණි ආණ්ඩු සේම, අද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්සන් කරන ලද දේශපාලන හවුල්කාරීත්වයයි. මෙවර එම දීගයට විශේෂ නමක් යොදා තිබේ. ‘සම්මුතිවාදී ආණ්ඩුව‘ එහි නවතම උප්පැන්නයේ ඇති නමයි. ඊට අමතරව දෙපාර්ශවය විසින් අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කොට තිබේ.

මෙය මෙසේ සිදුවන බවක් එජාපය සහ සංධානය පෙර සිටම දැන සිටියේ ය.

එයින් හැගවෙන යථාර්ථය වන්නේ වර්තමානය වන විට මෙම ප්‍රධාන පක්ෂ දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබිමය.

කෙසේ නමුත් දැන් එජාපය සහ සංධානය එකගතා ගිවිසුමකට පැමිණ තිබේ. ඒ හරහා සම්මුතිවාදී ආණ්ඩුවක්(ඔවුන් පවසන පරිදි) නිර්මාණය වීමට අවශ්‍ය මූලික පරිවර්තනයන් සිදු කර ගෙන තිබේ.

එය රාජපක්ෂ රෙජීමය ලංකාවේ මිනිසුන් මත පටවා තිබූ ‘මර්දනයට‘ වඩා වටින්නේය. යහපත් තත්ත්වයන් උදාවිය හැකියැයි විශ්වාසයක් යම් පමණකට හෝ ඇති කර ගත හැකිය. ඒ නිසා ම මෙම මැතිවරණය අනෙක් මැතිවරණවලට වඩා සාපේකෂව නිදහස් හා සාධාරණ මැතිවරණයක ගුණ සුවද විදින්නට මේ රටේ පුරවැසියන්ට හැකි විය. මහින්ද රාජපක්ෂත් ජනාධිපතිවරයාගේ සිට පාර්ලිමේන්තු මංත්‍රීවරයා දක්වා පල්ලම් බැස තිබේ.

විපක්ෂ නායකත්වය

11880441_10153480637561327_1126417099750155796_n
ලංකාවේ පාර්ලිමේන්තුව තුළ මෙතෙක් සිදුව ඇත්තේ විපක්ෂ නායකධූරය කුමන දේශපාලන පදනමකින් හෝ අනියම් ක්‍රමයකින් හෝ දකුණේ සිංහල දේශපාලකයන් අත හුවමාරු වීමයි. එහිදී සිංහල නොවන දේශපාලකයන් ටත් පාර්ලිමේන්තුවේ සක්‍රීය දේශපාලන සංවාදයේ ‘නායකත්වයට‘ සහභාගී කරගැනීමට ‘මහජාතිය‘ ලෙස නාමකරණය කරන සිංහල බහුතරයට සිතන්නටවත් තවමත් නොහැකි වී තිබේ. එය වසර 30කට වඩා කාලයක් තිස්සේ සිදුකරන ලද ලේ වැගිරීමකින්වත් ඉගෙන නොගත් දේශපාලන පාඩමයි. එයින් මතුවන්නේ දෙමළ සහ මුස්ලිම් ඇතුලු සුලුතර ජනකොටස්වලට දේශපාලනයේදී ලැබිය යුතුවන සැබෑ නියෝජනය සදහා අවස්ථාවන් විවර කිරීමට තවමත් ලංකාවේ දේශපාලනය දක්වන අකමැත්තයි.

අනෙක් පසින් තවමත් ‘බහුත්වවාදී‘(Pluralism) ලෙස ලංකාවේ දේශපාලනය දෙස අලුතින් බැලීමට බහුතරයක් දේශපාලන සමාජය දක්වන නොකැමැත්තයි.

නමුත්, ඒ නොකැමැත්ත තුළ වුව, රාජපක්ෂගේ යුද උන්මාදය විසින් පොහොසත් කළ, ඉන්පසු ඔහුගේ ඊනියා වීරත්වය විසින් අයිසින් කරන ලද ‘මුග්ධ පාලනය‘ අවසන් ව සාපේක්ෂ ලෙස වෙනස් තත්ත්වයක් දැන් උදා වී තිබේ.

ඉන් ආරම්භ වූ නව තත්ත්වය තුළ පැවැත්වූ මහ මැතිවරණය අවසන් වූයේ පවතින තත්ත්වය තුළ ඡන්ද ප්‍රථිපල මත(ඡන්ද සංඛ්‍යාව අනුව) 4වන බලවේගය ලෙස දෙමළ ජාතික සංධානය හෙවත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය පත්වීමෙනි.

ඔවුන් ට හිමි වූ ආසන ගණන 16කි.

දැන් එජාපයයි, ශ්‍රිලනිප යයි සම්මුති ආණ්ඩුවකට එක් වී තිබෙන අතර, ආසන 6ක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණ තමන් එයට එක් නොවන බවත් විපක්ෂයේ අසුන්ගන්නා බවත් පවසා තිබේ.

නමුත් වැඩි ආසන සංඛ්‍යාවක්(ආසන 16ක්) හිමිව ඇත්තේ දෙමළ සංධානයටයි. එබැවින් ඡන්ද ප්‍රථිඵලවල සංඛ්‍යාත්මක තත්ත්වයන් සමග සැලකූ විට විපක්ෂ නායකත්වය දෙමළ ජාතික සංධානයට හිමි විය යුතුය. එය එක් පැත්තකින් දේශපාලන සදාචාරය පිළිබද වන උනන්දුව පෙන්නුම් කරන්නකි.(එවැන්නක් ඇත්නම්)

එමනිසා දැන්වත් ‘බහුත්වවාදී‘ දේශපාලනය අභ්‍යාස කිරිමට ලංකාවේ දේශපාලකයන් උනන්දුවක් දක්වන්නේ නම්, දෙමළ ජාතික සංධානයට විපක්ෂ නායකධූරය පිරිනැමීම ඉතාමත් කාලෝචිත ඉදිරිගාමී පියවරකි.

නමුත් ඉහත සදහන් කළ ‘සංඛ්‍යාත්මක සාධකයට‘ වඩා වැදගත් වන්නේ ‘සිංහල නොවන‘ ජනයාගේ දේශපාලනයටත් පාර්ලිමේන්තුවේ සක්‍රීය දේශපාලන සංවාදයේ ‘නායකත්වයට‘ සහභාගී කරගැනීමට ‘රාජ්‍ය‘ සූදානම් යන්න ක්‍රියාවෙන් පෙන්වීමය.

එය එක් පසකින් වසර ගණනාවක් සාකච්ඡාවෙන් විසදා ගත නොහැකිවූ, ජාතික ගැටලුවට, පසුව පිළිතුරු ලෙස ලංකාව ‘ඝාතක භුමියක්‘ කරමින් අවසන් වුනු යුද්ධයකින් පසුව වුව සැබෑ සංහිදියාවක් සදහා ගනු ලැබිය හැකි එක් පියවරකි. එසේම ‘අනෙකාගේ‘ විශ්වාසය දිනා ගැනීමට ලැබෙන එක් විරළ අවස්ථාවකි. අනෙක් පසින් ජාතික ගැටලුව සම්බන්ධයෙන් දේශපාලන විසදුමකට ‘රාජ්‍ය‘ සූදානම් බව ට දෙනු ලබන ප්‍රභල සංඥාවක් ලෙසද දැකීමට හැකියාවක් පවතින්නේ ය.

එසේම විශේෂයෙන් ලංකාව වැනි ජාතීන්ගේ විවිධත්වයක් ඇති රටක සුළුතර ජාතීන්ගේ දේශපාලන අභිලාශන්වලටද ව්‍යවස්ථාදායකය තුළ ‘ඉහළම තනතුරුවල‘ ට ද හිමිකම් කිව හැකි බව ට නව පාලනය විසින් සිදු කරනු ලබන පූර්ව අභ්‍යාස කිරීමක් ද විය හැකිය.(අවශ්‍ය නම් එවැනි නිර්භීත දේශපාලන තීන්දු ගන්නා අසල්වැසි ඉන්දියාවේ අගමැතිවරැන් සහ ජනාධිපතිවරුන්ගේ නියෝජනයන් පාඨක ඔබට අධ්‍යනය කළ හැකිය)

නමුත්,

රාජපක්ෂ රෙජීමය විසින් අස්වද්දන ලද මුග්ධ දේශපාලන මෙන්ම පරිපාලන තත්ත්වයන් තවමත් අහුමුලුවල හොල්මන් කරන බැවින් සහ ජාතිවාදීන්ගේ ගෙරවිලි තවමත් දකුණේ රැව් දෙන නිසාත් සේම එජාපයේ ද, ජාතිවාදීන් පිරිසක් රස්තියාදු වෙමින් සිටින නිසා ත් මෙම සටහනට වුව සරම උස්සා ගොරවන බව ශිෂ්ඨත්වය අගයන පුරවැසියන් දන්නේය.

නමුත් නිර්භීත ලෙස මෙම මෙම වෙනස්කමින් ආරම්භ කළ හැකි නම් නව පාලනය එක් පසකින් ඉතිහාසයේ වැදගත් ‘දේශපාලන සලකුණක්‘ තබන්නේය.

එසේ වුවහොත් ජාතිවාදීන් සහ වර්ගවාදීන් කෙසේ උඩුබිරුවත්, ‘ශිෂ්ඨ’ දේශපාලන පරිසරයක් අපේක්ෂා කරමින්, ‘අශිෂ්ඨ රාජපක්ෂ රෙජීමය‘ පළවා හැරි, ලාංකීය පුරවැසියාට තවත් සතුටු විය හැකිය.

පසුසටහන

ලංකාවේ පුරවැසියන්ට පසුගිය දශක කිහිපය තුළම පරමාදර්ශී දේශපාලනයක ගුණ සුවද විද ගැනීමට නොහැකි වූ නිසා ලංකාවේ දේශපාලන පක්ෂ සහ පුද්ගලයින් සැබෑ ලෙසම ජනතා අභිලාශයන් නියෝජනය කරනවාද යන්න තවමත් ගැටලුවක් ව පවතී. නමුත් එම තත්ත්වය වෙනස් විය යුතු බැවින් සහ වෙනස් කළ යුතු බැවින් ලෝකයේ දේශපාලන සමාජය විසින් සාර්ථකව අභ්‍යාස කරමින් සිටින දේශපාලන ක්‍රමවේදයන් වෙත දැන්වත් අප යොමු විය යුතුය. එසේ නොමැතිව ලංකාවේ ‘යහපාලනය‘ ඇති කළ හැකි වන්නේ නැත. එය එසේ වන්නේ පසුගිය මැතිවරණ දෙකේදීම බහුතුරයක් විසින් අමතක කර දැමූ ‘ජාතික ගැටලුව‘ ලංකාවේ තවමත් කේන්ද්‍රීය දේශපාලන ගැටලුව වන නිසාය.

අනෙක, මෙවර මැතිවරණයේදී ජවිපෙ 4.86% ඡන්ද ලබා අසන 6 ගනිද්දී, දෙමළ ජාතික සන්ධානය 4.62% ආසන 16 ලබා ගෙන තිබේ. නමුත් එය නරුමවාදී ලෙස ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ඇතැම් විචාරකයන් ද විග්‍රහ කරමින් ඇත. මෙම නරුම අදහසට කියන්නට ඇත්තේ එක් දෙයක් පමණි.

සිංහලයාගේ ‘නිදහස‘ ආරක්ෂා වන්නේ දෙමළාගේ සහ මුසල්මානුවාගේ ‘නිදහස‘ ආරක්ෂා වුව හොත් පමණි.