ආර් සම්බන්ධන් සහ උතුරේ ඡන්ද ප්‍රතිඵල

දෙමළ ජාතික සංධානයේ නායක, ආර්. සම්බන්ධන් පාර්ලිමේන්තු මංත්‍රීවරයා ලංකාවේ 8වන පාර්ලිමේන්තුවේ විපක්ෂනායකයා ලෙස අද(03) තේරී පත්විය. 1933 පෙබරවාරි 5 වැනිදා උපත ලද නීතිඥ රාජ වරෝදියන් සම්බන්ධන්, 1956 වසරේ සිට ෆෙඩරල් පක්ෂයේ සාමාජිකයෙකි. සම්බන්ධන් මහතා යාපනයේ ශා/ පැට්‍රික් විදුහල, කුරුණෑගල ශා/ ඈන්ට්ස් විදුහල, ත්‍රිකුණාමලයේ ශා/ ජෝසප් විදුහල හා මොරටුව ශා/ සෙබස්තියන් විදුහලේ ආදි සිසුවෙකි. ආර්. සම්බන්ධන් වර්තමානය වන විට දෙමළ ජාතික සංධානයේ නායකයා ය. අද වන විට ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක වරයා ය.

එම තේරීපත්වීමට පෙර සුපුරුදු ලෙස ජාතිවාදී නඩය විසින් ඒ සම්බන්දයෙන් විවිධ තර්ක ගෙන හැර පෑවේය. එයින් පෙනී ගියේ අන් කිසිවක් නොව පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරී නායකත්වයන් සියල්ලම සිංහල නියෝජනය තුළ තබා ගැනීමත්, කිසිදු විටක එය සිංහල නොවන වෙනත් ජාතියක් අතට පත්වීමත් හිතාමතාම වැලැක්වීමය.

නමුත් එම තත්ත්වය වෙනස් කරමින් ආර්. සම්බන්ධන් හට විපක්ෂනායක ධූරය හිමි විය. එය විශේෂයෙන් ජනවාරි 8වෙනිදායින් පසු ලංකාව අභ්‍යාස කිරීමට උත්සහ දරමින් සිටින ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ලැබූ සතුටුදායක තත්ත්වයකි. එසේම පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් මෙතෙක් කල් තිබූ ‘සිංහල පමණයි‘ යන ගෝත්‍රවාදී ලක්ෂණයට, ලැබුණු බහුත්වවාදී දේශපාලන පිළිතුරකි. තිබුණු තත්ත්වයත්, රාජපක්ෂලා ඇතුලු ජාතිවාදීන් විසින් ගොඩනගා තිබූ තත්ත්වය තුළ, මේ ‘වෙනස් මොහොත‘ පිළිබද පුරවැසියන්ට සතුටු විය හැකිය. එය නැවත නැවතත් සිංහල ජාතිවාදී පීඩකයෙක්ට ලංකාවේ විපක්ෂනායක කම ලැබෙනවාට වඩා බලාපොරොත්තු දල්වා ගතහැකි තත්ත්වයකි.(නමුත් සැප්තැම්බර්වලින් පසු හෝ සම්මුති ආණ්ඩුවේ වසර දෙකෙන් පසුව මෙම තත්ත්වය ද වෙනස් විය හැකි බවට ඉගි මුණගැසෙමින් තිබේ. විශේෂයෙන් අගෝස්තු 17 මහ මැතිවරණයේ ප්‍රධාන පණිවිඩය ලැබුනේ රටේ ජනයා රාජපක්ෂගේ ඒකාධිපති වියරුවට යළි යළිත් ඉඩක් නැති බවට දුන් තීන්දුවයි. නමුත් එය කිසිදු ගණනකට නොගෙන ඊයේ(02) ‘රාජපක්ෂ සමග අත්වැල් අල්ලාගෙන‘ ජනාධිපති මෛත්‍රීපාල ශ්‍රිලනිප ආණ්ඩුවක් ගැන කතා කිරීමය. රාජපක්ෂ සමග එකට වාඩි වී ශ්‍රිලනිප ප්‍රතිසංවිධානයක් ගැන කියැවීමය. එය කොතෙක් ශිෂ්ඨ දේශපාලනයෙන් දුරස් ද යන්න මේ රටේ පුරවැසියන් දනිති. එය වෙනම ලිපියකින් කියවමු)

අනෙක් පසින් යුද්ධයෙන් පසු උතුරු නැගෙණහිර දෙමළ ජනයා විසින් බහුතර බලයක් දෙජාස ලබා දීම වෙනුවෙන් ලංකාවේ පාර්ලිමේන්තුව(නරුමයින් හැර) ඔවුන්ගේ ඡන්දයට දක්වන ලද සහෝදරාත්මක ප්‍රතික්‍රියාවකි.

වසර 32කකට පසු

එසේම මෙය ලංකා පාර්ලිමෙන්තුවේ සුවිශේසී සංදිස්ථානයකි. ලංකාවේ දෙමළ නායකයෙක් විපක්ෂනායක පදවිය ලද දෙවන අවස්ථාව මෙය වීමයි.
1977 මහ මැතිවරණයෙන් පසු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලේ අමිර්තලිංගම් විපක්ෂනායක ධූරයට පත් වූ අතර 1977 සිට 1983 දක්වා අමිර්තලිංගම් එම ධූරයේ කටයුතු කළේය.

ඒ අනුව ගත් කළ දෙමළ ජාතිකයකු විපක්ෂනායකයෙක් ලෙස එම ධූරයට පත් වුනේ වසර 32ට කට පසුවයි.

ජාතිවාදීන්ගේ සරම ඉස්සීම

කෙසේ නමුත් සුපුරුදු පරිදි ජාතිවාදීන් අන්තර්ජාලයේ මෙන්ම ඉන් පිටතත් ආර්. සම්බන්ධන්ගේ පත්වීම සම්බන්ධයෙන් බිල්ලන් මැවීමට පටන් ගෙන තිබේ. මහා සංහාරයකිනුත් පසුව දිගින් දිගටම ජාතිවාදය අවුස්සමින් මනුෂ්‍යත්වය කෙළෙසන අකාරයේ විවිද ප්‍රකාශ සිදු කරමින් තිබේ. ඔවුන්ට අනුව තවමත් දේශපාලන ප්‍රශ්ණයක් විසදා ගත හැක්කේ, ඇතිහැකි එකා, ඒකාගේ යුදබලයද, ධන බලයද, තක්කඩිකම් ද,මැරකම් ද, යොදා ගෙන බවය. එසේ නැතිව ශිෂ්ඨ ලෙස ‘දේශපාලන ප්‍රශ්ණයක්‘ විසදා ගැනීමට තරම් මෝරා නොගිය සත්ත්ව කොට්ඨාශයක් ලෙස ඔවුන් හැසිරෙයි. ඒ හැසීරීමෙන් සරම උස්සා ඔවුන් පෙන්වන්නේ ඔවුන්ගේ නිරුවත් ගෝත්‍රික භාවයයි.

නමුත් එම ගෝත්‍රික හැසිරීම් කළමනාකරණය කර ගැනීමත් වත්මන් පාර්ලිමේන්තුවට පැවරෙන ප්‍රධාන කරුණකි. හිටපු රාජපක්ෂලා බොදුබල්ලන් පෝෂණය කරමින් හුරතල් කිරීමට ගියා සේ, වත්මන් ආණ්ඩුවත් ජාතිවාදීන් හුරතල් කිරීමට ගියොත්, සිංහල නොවන අයෙක් විපක්ෂනායක ධූරයට පත්කිරීම තුළ පාර්ලිමේන්තුව පෙන්වූ ‘ශිෂ්ට දේශපාලන තත්ත්වය‘ විනාශ වන්නේ ය. එය වලක්වා ගැනීම වත්මන් පාලකයන්ගේ ප්‍රධාන වගකීමකි.

සම්බන්ධන්, ජීනීවා වාර්තාව, ලංකාව සහ දෙමළ මිනිසාගේ යුක්තිය

IMG_0066

ලංකාවේ සිදුකල සංහාරික යුද්ධයේ, අවසන් සමයේ දී සිදුකල මානුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ඒ සම්බන්ධයෙන් ජිනීවා වල සාකච්ඡා කරමින් තිබෙන වාර්තාව පිළිබද නැවත වරක් මෙම මස දී ඒ සාකච්ඡාව නව තලයකට ගෙන යනු ඇත. එහිදී එයින් සෘජුවම හානියට පත්, එහි සෘජුවම ගොදුරු බවට පත්වූ මිනිසුන් ගේ පැත්තට වඩා, ලංකා රජය කටයුතු කරනු ඇත්තේ ‘ලංකාව‘, ‘ස්වෛරීත්වය‘, ‘ජාතිය‘, ආදී පරණ වයින් ම තොල ගෑමට ය.

පසුගිය වසර කිහිපයේම එම වාර්තාව සහ අදාල සිදුවීම සම්බන්ධයෙන් විදෙශ් රටවල් බොහොමයක් ක්‍රියාකරන ලද්දේ ලංකාව යන පොදු කුලකයට වඩා ‘ගොදුරු‘ බවට පත්වූ සාමාන්‍ය වැසියන්ගේ පැත්තෙන් සලකා ඔවුන්ට ‘යුක්තිය‘ ලබා දීමට කටයුතු කිරීම කල යුතු යැයි යන හැගීමෙන්ය. එය ලංකාවේදී කියැවුනේ ‘ලංකාවට එරෙහි‘ යන්නක් ලෙසිනි.

නමුත් ජාත්‍යන්තරයෙන් එල්ල විය හැකි පීඩනය මෙවර තවතවත් අවම කර ගැනීම සදහා සිංහල නොවන දේශපාලකයෙක් ව ලංකාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක වරයා ලෙස පත් කර ගැනීම ඉතාමත් කාලෝචිත යැයි පාර්ලිමේන්තුවේ බහුතරයක් දේශපාලකයන් සිතනු ඇති.(රනිල්, මෛත්‍රී ඇතුලු) ජාත්‍යන්තරයත් එය සුභවාදී පියවරක් ලෙස දකිනු ඇති. ඒ බව විපක්ෂනායකවරයා සම්බන්ධයෙන් ඉන්දියාව සිදුකළ ප්‍රකාශය හොදම උදාහරණයකි. ඔවුන් කීවේ විපක්ෂනායක කම ආර්. සම්බන්ධන්ට දීම වඩාත් සුදුසු බවය. ඒ නිසාම ශ්‍රීලනිප නම් කළ විපක්ෂනායකට යෝජිත නම් කිහිපය තඹ සතේකටවත් ජනාධිපතිවරයා ගණන් නොගත්තේ ද එම නිසා යැයි හැගී යයි.

නමුත්, නව විපක්ෂනායක ආර්. සම්බන්ධන් ඒ සම්බන්දයෙන් වඩා සවිඥාණික විය යුතුය. වඩා දේශපාලනික විය යුතුය. ප්‍රමුඛ කාරණය වන්නේ , සිදුවූ සිදුවීම්වල ‘සත්‍ය‘ එම මිනිසුන්ට දැනගැනීමට ඉඩසැලැස්වීමත්, ඔවුන්ට ‘යුක්තිය‘ ඉෂ්ඨ කිරීම සදහා පිළිගත හැකි යාන්ත්‍රණයක් වෙනුවෙන් ක්‍රියාකිරීමය. කැපවීමය.

එසේම, ජාතික ගැටලුව සදහා ක්‍රියාකාරී මැදිහත්වීමක් පාර්ලිමේන්තුව තුළ සිදු කිරීමත්, එය ලංකාවේ කේන්ද්‍රීය ගැටලුව ලෙස හැකි සෑම විටම මතු කර ‘දේශපාලන විසදුමක්‘ වෙනුවෙන් සිය අරගලය පාර්ලිමේන්තුව තුළ සිදුකිරීමත්ය.

විපක්ෂ නායක ධූරයේ සිටිමින් මේ සියලු ප්‍රශ්ණවලට පිළිතුරු සොයා ගැනීම ලංකාව වැනි වැඩවසම් සමාජයක කෙතරම් අමාරු වුවත් විපක්ෂනායකවරයෙක් ලෙස ‘ඓතිහාසික සලකුණු කිරීමක්‘ සම්බන්ධන්ට කළ හැකිනම් දෙමළ සංධානය ට ඡන්දය දුන් උතුරු නැගෙණහිර සියලු ජනයා එදාට ආර්. සම්බන්ධන්ට ස්තූතිය පුද කරනු ඇත.

එසේම, ප්‍රජාතන්ත්‍රවාදය සහ බහුත්වවාදී ක්‍රමයන් තුළින් බලය බෙදා හදා ගැනීමෙන් ‘දේශපාලන ගැටලුවට‘ පිළිතුරු සෙවිය යුතු යැයි විශ්වාස කරන සිංහල ජනයා අද වැනි සුවිශේෂී මොහොතක කිසියම් සතුටක් ලැබුවේද එය අනාගතයේදී ‘ශිෂ්ඨ රටක්‘ වෙනුවෙන් තව තවත් ක්‍රියාකාරී වීමට කිසියම් උත්තේජකයක් ද මෙය විසින් සපයන්නේය.

තවද, රනිල්ට, මෛත්‍රීපාලලාට සේම, සම්බන්ධන් වැනි සිංහල නොවන දේශපාලකයන්ටත් මේ රටේ ජනාධිපති, අගමැති වීමට ද තිබෙන අයිතිය ද, අවස්ථාව ද, තව දුරටත් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් දේශාපාලනිකව තහවරු කිරීම සිදු කළ යුතුය.

නමුත් ඒ සියලු දේ්ත් සමග, අප අමතක නොකල යුතු වන්නේ, සංහාරයේදී ගොදුරු බවට පත් වූ සියල්ලන්ටම ‘සත්‍ය‘ සහ ‘යුක්තිය‘ ලගා කර දීම ඔබේත්, අපේත් වගකීමක් බවය.