Image by: asianmirror

සම්මුති, ගිවිසුම්,එකගතා ලියවිලි ආදී දේවල් ලංකාවේ දේශපාලනයේ සුළභ දෙයකි. එක් වරෙක විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගිවිසුම් අත්සන් කරමින් අවසානයේ එය විහිලුවක් වූ ඉතිහාසයක්ද අපට ඇත. තවත් වරෙක ආණ්ඩු පිහිටුවීම සදහා අත්සන් කළ එකගතාවයන් ගෙන් සමන්විත ඉතිහාසයක්ද අපට ඇත.

මේ සියලු දේවල් වල පොදු සාධකයක් පෙනෙන්ට තිබේ. එනම්, ‘බලය‘ පිළිබද ගැටලුවයි. කිසියම් දේශපාලන පක්ෂයක් බලයට ඒමට නැතිනම් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට තවත් පක්ෂයක්, හෝ පක්ෂ කිහිපයක් සමග ගිවිසුම්වලට එළබේ. සම්මුතීන්වලට එළබේ.

නමුත් වැඩේ අහවරු වුනු වහාම එම ගිවිසුම්වල හෝ සම්මුතිවල අන්තර්ගයන් පිළිබද ඒවාට අත්සන් කළ හෝ ඒ සම්බන්ධයෙන් පෙනී සිටි කිසිවෙකුටත් වගේ වගක් නැත. ඒ යථාර්තය තුළ සිටම අපට නැවත වරක් අලුත් සම්මුතියක් මුණ ගැසී තිබේ.

එය එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කර ගත් සම්මුතියයි. එසේත් නැතිනම් ලිඛිත ගිවිසුමයි. පැවසෙන ලෙස ඔවුන් විසින් ඉදිරි වසර දෙකක් සදහා ඔවුන් විසින් නම් තබා ඇති ‘සම්මුති ආණ්ඩුවක්‘ සදහා යොමු වෙනවා ඇත.

මෙම නවතම සම්මුතිය දෙස බැලීමේ දී ද මතුවන්නේ පෙර කී තත්ත්වයයි.

එනම් පාර්ලිමේන්තුවේ බහුතරයකින් සමන්විත ආණ්ඩුවක් ගොඩනැගීම සදහා අවශ්‍ය මංත්‍රීධූර ලබා ගැනීම සදහා නිර්මානය කර ගන්නා ලද ගිවිසුමක් ලෙසය. නැතිනම් බලය සදහා වන ගිවිසුමක් ලෙසය.

නමුත්, ලංකාවේ ඉතිහාසයේ පටන් ම කිසිදු දේශපාලන පක්ෂයක් ලංකාවේ ඛෙන්ද්‍රීය ගැටලුවක් සදහා එම ගැටලුව විසදා ගැනීම සදහා සම්මුතියකට, ගිවිසුමකට එළබ තිබේද? තිබේනම් එයත් බලය සදහා වන දිශාවක් වෙත යොමුවෙමින් හෝ සගවා ගත් තක්කඩි වුවමනාවක් වෙනුවෙන් නිර්මානය කර ගත්තක් විනා සත්‍ය ලෙසම ගැටලුව විසදා ගැනීමට වූ ඓන්ද්‍රීය වුවමනාවෙන් ගොඩනගා ගත් තත්ත්වයක් නොවේ.(උදා, ලංකාවේ සාමය සදහා ගිවිසුම්)
අදද එය එසේමය.

එජාපය සහ ශ්‍රිලනිප ය අතර අත්සන් කළ සම්මුතියේද ඇත්තේ ඒ ටිකමය. එම සම්මුතියට අනුව ‘(1) ආර්ථිකය දියුණු කිරීම, (2) නිදහස තහවරු කිරීම, (3) දූෂණය තුරන් කිරීම, (4) අධ්‍යාපනය සහ සෞඛ්‍ය ඉහළ නැංවීම, (5) විදේශ සබදතා, (6) කාන්තා හා ළමා අයිතීන්, (7) කලාව හා සංස්කෘතිය පෝෂණය කිරීම, (8) ප්‍රධාන සංවර්ධන ප්‍රතිපත්ති සහ ක්‍රියාදාමයන් අමාත්‍ය මණ්ඩලය මගින් තීරණය කිරීම, (9) ඩී.එස් සේනානයක් සහ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක, නායකත්වයෙන් සිදු වූ පරිවර්තනයේ 60වන සංවත්සරය සැමරීම, (10) එකගත්වයකට එළැබීමෙන් පසු තවදුරටත් සාකච්ඡා කොට සම්මුතියකට එළැබීම. යන කරුණු 10 අඩංගු වේ.

නමුත් මෙහි කිසිදු ස්ථානයක ‘ජාතික ගැටලුව‘ පිළිබද කිසිදු සටහනක් නැත.

නව පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්ෂයක විරෝධතාවයක් නැතිව(විමල්, ගම්මන්පිල වැනි නරුමයින් හැරැණු කළ) දෙමළ ජාතික සංධානයේ නායක සම්බන්ධන්ව විපක්ෂ නායක ධූරයට පත්කර ගත්තා වුවත් ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර සම්මුතියේ අන්තර්ගතය තුළ අදාළ ගැටලුව පිළිබද කිසිදු සටහනක් නැත.

යමෙකුට මෙය දේශපාලන බලය සදහා ලියා ගත් දෙපිලේම කපටි කමක් සේ දැකිය හැකිය. තවත් කෙනෙකුට රනිල්, මෛත්‍රී හවුල දිගටම පවත්වා ගැනීමට ගත් උපක්‍රමයක් සේ දැකිය හැකිය. මේ කුමන ලෙසකින් මෙය විග්‍රහ කළත් පොදු සාධකය නම් ‘බලය සදහා සම්මුතිය‘ යන කුලකයට මෙම තත්ත්වය ලඝු වේ.

නමුත් සත්‍ය ලෙසම ලංකාවේ ප්‍රධානතම ගැටලුව, විසදීමේ ඓන්ද්‍රීය උවමනාවක් වෙනුවෙන් පෙනී සිටම මේ ප්‍රධාන පක්ෂ දෙකටම නැති බවක් මේ සම්මුතියෙන්ද පෙන්නුම් කරයි. ‘(9) ඩී.එස් සේනානයක් සහ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක, නායකත්වයෙන් සිදු වූ පරිවර්තනයේ 60වන සංවත්සරය සැමරීම,‘ යනුවෙන් සම්මුතියක අඩංගු කිරීමට තරම් වැදගත් කමක් නැති දෙයක් ඇතුලත්කිරීමට ඔවුන් උත්සුක වුවත් ලංකාවේ ප්‍රධාන දේශපාලන ගැටලුව ලෙස වසර 30කට අධික කාලයක් මොරා එමින් ඇති ‘ජාතික ගැටලුව‘ සදහා කිසිදු හෝ සාධණීය පියවරක් පිළිබද සම්මුතියක් සටහන් කර ගැනීමට වත් ඔවුන්ට නොහැකි වී තිබේ.(සිහිකිරීමක්- පසුගිය බොහෝ ප්‍රධාන මැතිවරණ වලදී නමට පමණක් හෝ ජාතිකග ගැටලුව පිළිබද එම මැතිවරණ ප්‍රකාශණවල යමක් සදහන් වූවද, 2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයේදී ඒ පිළිබද කිසිදු දෙයක් සටහන් නොවීමද දේශපාලනිකව කියවා ගැනීම වටින්නේය)

මෙයින් පෙනී යන්නේ නව පාර්ලිමේන්තුව, ආර්. සම්බන්ධන් විපක්ෂනායක කරමින් සාධනීය දේශපාලන පියවරක් පිළිබද සේයාවක් ලකුණු කළද, සත්‍ය ලෙසම ‘ගැටලුව‘ විසදීමේ දේශාපාලන මැදිහත්වීමකට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එජාපය සහ ශ්‍රීලනිප සූදානම්ද යන්න වගයි. ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි තත්ත්වය එසේ තිබියදී උතුරට ඇගිල්ල දික්කරමින් ‘ෆෙඩරල්, 13ට එහා බලයබෙදීම්, ජාත්‍යන්තර පරීක්ෂණයක්‘ වැනි දේ සම්බන්ධයෙන් කොතරම් ගෙරෙව්වත් පළක් වන්නේ නැත.

තපූ