”එකිනෙකා සැක කිරීම හා එකිනෙකා දරුණු ලෙස විවේචනය කිරීම පසෙක ලා, ස්වර්ණමය යුගය කරා ළඟා වීමට අපට හැකියාව ලබා දෙති යි මා විශ්වාස කරන ඵලදායක සහයෝගිතාව ඇති කර ගනිමින් එකිනෙකා සමග අත්වැල් බැඳ ගන්නා ලෙස මා මගේ රටවැසියන්ගෙන් හා මෙම මන්ත‍්‍රණ සභාවේ ගරු සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.”
Expedient Utopian: Bandaranaike and Ceylon (ප‍්‍රායෝගික මනෝරාජිකයා: බණ්ඩාරනායක හා ලංකාව) (1989) ලිපියේ දී ජේම්ස් මානර් (James Manor) විසින් උපුටා දක්වනු ලැබ ඇත.

1936 අගෝස්තුවේ දී රාජ්‍ය මන්ත‍්‍රණ සභා විවාදයක් අතරතුර එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක පැවසූ වදන් දැන් එක්සත් ජාතික පක්ෂය (එජාප) සමග ජාතික ආණ්ඩුවක් ගොඩ නැගීමට වෑයම් කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පවසන අදහස් තුළ දෝංකාර දෙයි. ශ‍්‍රී ලංකාවේ තියුණු ලෙස දෙකට බෙදී භින්නව ගිය දේශපාලන සංස්කෘතිය කෙරෙහි තමන් තුළ පවතින නොකැමැත්ත ගැනත් සම්මුතිවාදී දේශපාලනයේ යෙදීමට තමන් තුළ පවතින අධිෂ්ඨානය ගැනත් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ සිරිසේන ජනවාරි ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු අතරතුර දී බොහෝ විට කතා කළේ ය. ජනාධිපති සිරිසේන මෙම පැතුම මුදුන් පමුණුවා ගැනීම තුළින් ඉලක්ක කර ගනු ඇත්තේ එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක ප‍්‍රාර්ථනා කළ ඒ ‘ස්වර්ණමය යුගය’ යි.

එම නිසා මෙම ලිපිය එකිනෙකට බැඳුණු ප‍්‍රශ්න දෙකක් මතු කරන හා පිළිබිඹු කරන බව කිව හැකි ය: එකක් නම් පාර්ලිමේන්තුව තුළ භේදව සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ‍්‍රීලනිපය) ‘ජාතික’ ආණ්ඩුවේ දේශපාලන හැකියාව ගැන සිතන්නේ කුමක් ද යන්න යි. අනෙක නම් විශේෂයෙන් ම දෙමළ ප‍්‍රජාවට බලය පැවරීමේ මහාපේක්ෂා සහිත ව්‍යාපෘතිය තුළ දී සිය පැවැත්ම ආරක්ෂා කර ගැනීමට ජාතික ආණ්ඩුවට තිබෙන දේශපාලන හැකියාව කෙබඳු ද යන්න යි.

දේශපාලනඥයන් සමාජය තුළ පවත්නා බෙදීම් ගසා කන ගමන් පවා සම්මුතිය හා එක්සත්කම ගැන කතා කිරීම අසාමාන්‍ය දෙයක් නො වේ. සැබවින් ම, නිදහස ලත් තැන් සිට රටේ දේශපාලන භූ දර්ශනය බවට පත්ව ඇති පක්ෂ දෙකේ ක‍්‍රමයට බලගතු පදනමක් දැම්මේ එස්.ඩබ්ලිව්.ආර්.ඞී. ය. දකුණෙහි වෙසෙන බුද්ධාගම හා සිංහල ජාතිකවාදය සමග මුසු වී ගත් ග‍්‍රාමීය ඡන්ද දායක සමූහයේ සිත් තුළ කා වැදී තිබෙන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඞී.ගේ මතවාදය හා දේශපාලනය යි.

එහෙත් ‘බටහිරකරණය’ වූ එජාපය වැඩි අනුග‍්‍රහය දක්වා ඇත්තේ එම පක්ෂය තුළ තිබෙන සාර්ව භෞමික දේශපාලන සංස්කෘතියට ය. මෑත පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔවුන් ලද ජයග‍්‍රහණයෙන් පසුව එම සංස්කෘතිය රටේ උතුරු නැගෙනහිර සමග ප‍්‍රතිසන්ධානයක් ඇති කර ගැනීමේ බලාපොරොත්තු දිරි ගන්වා ඇත.

එස්.ඩබ්ලිව්.ආර්.ඞී.ගේ ප‍්‍රබල වාචික ප‍්‍රකාශ යථාර්ථයක් බවට පත් කිරීමට දරන පරිශ‍්‍රමයේ දී ජනාධිපති සිරිසේනට තම පක්ෂ ඉතිහාසයේ ම අමිහිරි උරුමයට ඍජුව ම අභියෝග කිරීමට සිදු වනු ඇත. අනෙක් සුළුතර ප‍්‍රජාවන් පිළිබඳ වැඩුණු සැකයකින් පෝෂණය වූ ඡන්ද දායක පදනම බලය පැවරීම සඳහා සහාය දෙන සම්මුතියක් කරා රැගෙන යාමට ඔහුට සිදු වනු ඇත. ජනාධිපති සිරිසේන යන මගට බාධකව පිහිටා තිබෙන අතිමහත් දුෂ්කරතාවන් හා දේශපාලන අවදානම් අවතක්සේරු නොකළ යුතු ය. පක්ෂයට හා රටට නව හා සාර්ථක අනාගතයක් ළඟා කර දෙනු පිණිස ඔහුට තම පක්ෂයේ ම දේශපාලනික ඞී.එන්.ඒ. අණු විශ්ලේෂණය කර බැලීමට සිදු වනු ඇත.

මැතිවරණ වාසි තකා සිංහල ජාතිවාදය හා බුද්ධාගම යොදා ගන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොවන නමුත් මැතිවරණ ව්‍යාපාරයේ දී ප‍්‍රමුඛස්ථානයට පත් වීම පිණිස පටු ජාතිකවාදී ප‍්‍රචාරණය යොදා ගැනීමේ වරද සත්තකින් ම එය විසින් එක දිගට ම කරනු ලැබ ඇත. 1956 දී ‘සිංහල පමණයි’ පණත ඉදිරිපත් කළේ ශ‍්‍රීලනිපය යි. 1958 දී එය සිංහල ජාතිවාදයෙන් හා බෞද්ධ ක‍්‍රියාකාරීන්ගෙන් එල්ල වූ පීඩනය යටතේ බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම අවලංගු කළේ ය. ශ‍්‍රීලනිපය 1966 දී උතුරු නැගෙනහිරට බලය පැවරීම පිණිස ශ‍්‍රී ලාංකික වමේ සහයෝගය ඇතිව අත්සන් කෙරුණු ඩඞ්ලි-චෙල්වනායගම් ගිවිසුමට ද විරුද්ධ විය. ශ‍්‍රීලනිපය ලංකා සමසමාජ පක්ෂයේ (ලසසප) හා කොමියුනිස්ට් පක්ෂයේ (කොප) සහයෝගය ඇතිව සම්මත කර ගත් 1972 නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දී බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ද පිරිනැමුවේ ය. එම නීති වූ කලි විවිධ ජනවාර්ගික හා ආගමික ප‍්‍රජාවන් වෙසෙන ශ‍්‍රී ලංකාව වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් පාලනය කිරීමට නුසුදුසු වූත් වෙනස්කම් කරනසුලූ වූත් ඒවා ය. දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය පරාජය කිරීමෙන් පසුව ප‍්‍රතිසන්ධානය හා බලය පැවරීම එක දිගට ම ප‍්‍රතික්ෂේප කළේ ද රාජපක්ෂ පරිපාලනය යටතේ පැවති ශ‍්‍රීලනිපය යි. මෙම භයංකර ඉතිහාසය තුඩු දී ඇත්තේ මහා ඛේදවාචකයකට හා ගිණිය නොහැකි තරමේ මළ කඳන් ගොඩකට ය. නන්දිකඩල්වල දී අහිංසක දෙමළ සිවිල් වැසියන් දහස් ගණනක් මිය යාමට මුල් වූ හේතු සොයා බලන්නේ නම් ඊට වරදකරු මෙම අසාධාරණ නීති බව සොයා ගැනීම අපහසු නො වේ. අවි එසවූයේ නැතත් ඔවුන් ශ‍්‍රී ලාංකික සිංහල ජාතිවාදී දේශපාලනය තුළ තුවාල ලබන නමුත් පරාජය නොකෙරෙන ව්‍යාධියක් නිර්මාණය කරනු ඇත.

භේදකාරී නායකත්ව අරගල හා බෙදීම් ශ‍්‍රීලනිපයට අලූත් දෙයක් නො වේ. පෙර හට ගත් අර්බුද කැරකුණේ රාජවංශික දේශපාලනයේ ඉහළ ම තලය වටා බැවින් පූජා මූල සාමාජිකයන් කෙරෙහි බලපෑමක් නොකළේ ය. 1970 ගණන් හා 80 ගණන්වල දී අඩු ගණනේ දෙවතාවක් වත් පක්ෂය තුළ ම වාමාංශික කණ්ඩායම් ගොඩ නැගීමට පරිශ‍්‍රම දරා ඇති නමුත් එවැනි කණ්ඩායම්වාදී පියවරයෝ ශ‍්‍රීලනිපයට හානි කිරීමට අසමත් වූහ.

එහෙත් පක්ෂය වර්තමානයේ දී මුහුණ දෙන අර්බුදය පෙර නොවූ විරූ එකකි. ශ‍්‍රීලනිපයේ කොටසක් දැන් එය ගොඩ නැගි තැන් පටන් එහි උග‍්‍ර සතුරෙකුව සිටි එජාපය සමග ජාතික ආණ්ඩුවට එක් වී ඇත. පක්ෂයේ ඉතිරි කොටස ජාතික ආණ්ඩුවට එක් වීම ප‍්‍රතික්ෂේප කර ඇති අතර පාර්ලිමේන්තුව තුළ දී ජාතික ආණ්ඩුවට පහර එල්ල කළ හැකි නිසි මොහොත එළඹෙන තෙක් කල් යල් බලමින් සිටින බව පැහැදිලි ය. සිංහල ජාතිකවාදයේ හා මූලධර්මවාදී බුද්ධාගමේ ධජය යටතේ පෙරට යමින් සිටින ඔවුහු ජාතික ආණ්ඩුව ශ‍්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව හා අනාගත සුරක්ෂිතතාව අනතුරේ හෙළමින් සිටින බවට තර්ක කරති. ඔවුන් දෙමළ ප‍්‍රජාවට මොන යම් සහනයක් හෝ දීමට විරුද්ධ ය. මෙය වනාහි ජනවාරි ජනාධිපතිවරණය හා අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය යන දෙකේ දී ම ඔවුන්ට හා ඔවුන්ගේ නායක මහින්ද රාජපක්ෂට පිරිහෙන ලාභ අත් කර දී තිබෙන මූලෝපායකි. එහෙත් දේශපාලන ආධුනිකයන් නොවන ඔවුහු පාර්ලිමේන්තුව තුළ මෙන් ම ඉන් පිටත ද සිංහල ජාතිකවාදය අඛණ්ඩව සවිමත් බව මැනවින් දැන සිටිති. සියල්ලට මත් වඩා, සිය 64 වසරක ජීවිත කාලය පුරා ශ‍්‍රීලනිපයෙහි මෙන් ම ඊට කලින් එස්.ඩබ්ලිව්.ආර්.ඞී. ගොඩ නැගූ සිංහල මහා සභාවෙහි ද කොඳු නාරටිය වී තිබෙන්නේ එය යි. ඔවුන් සාර්ථක වුව හොත්, ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් සැපයීමෙහි ලා මොන යම් හෝ බලාපොරොත්තුවක් වේ නම් ඒ සියල්ල මැලවී යනු ඇත.

පවත්නා තත්ත්වය එලෙස ම පවත්වා ගෙන යාමට සමහර ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් තුළ පෞද්ගලික පෙලඹීමක් ද පවතී. දූෂිත ගනුදෙනුවලින් හා අල්ලස්වලින් දැවැන්ත පෞද්ගලික ධනස්කන්ධයක් රැස් කර ගෙන ඇති ඔවුන්ගෙන් සමහරෙකු දැන් දූෂණ විමර්ශන කටයුතුවලට ලක් වෙමින් සිටින අතර ජාතික ආණ්ඩුවට එක්ව සිටින මන්ත‍්‍රීවරු ගණනාවක් ද මේ වන විට එවැනි විමර්ශන කටයුතුවලට ලක් වෙමින් සිටිති.

ශ‍්‍රීලනිපය තුළ පවත්නා වර්තමාන අර්බුදය ශ‍්‍රීලනිපයේ මතවාදීමය හා දේශපාලනික පදනමේ හරයට ම කිඳා බසින එකක් බැවින් සහ සම්මුතියකට එළඹිය හැකි ආකාරය බෙහෙවින් ම නොපැහැදිලි බැවින් එය තීරණාත්මක ය. නිසි මොහොත එන තෙක් කල් බලමින් ද මොන යම් හෝ අවස්ථාවක් ගසා කෑමට සූදානමින් ද සිටින්නේ දේශපාලනයෙන් ඉවත් වන බව මවා පාන නමුත් යළි කණ්ඩායම්ගත වීමට කාලය ගෙන අවසානයේ ජාතික ආණ්ඩුව පරාජය කිරීමට සහ/හෝ රට තුළ පාලනය කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය කිරීමට බෙහෙවින් ඉඩ ඇති මහින්ද රාජපක්ෂ ය. මේ අතරවාරයේ ජාතික ආණ්ඩුව ද කලින් සතුරු පාර්ශ්වයන්ව සිටි කණ්ඩායම් දෙකක් එක් සන්ධානයක් යටතට ගෙන ඒමට යාමේ දී ඇති වන සංකීර්ණතාවන්ට මුහුණ දෙමින් සිටියි. මින් මතු වන අභියෝගයන් හා ප‍්‍රතිලාභ කවරේ ද යන්න ඉදිරියේ දී ක‍්‍රමයෙන් එළිදරව් වනු ඇත.

සූක්ෂ්ම ලෙස සැලසුම් නොකළ හොත් ප‍්‍රතිසන්ධානය කරා යන මගට එය හරහා වැටී ඇති අනේකවිධ මාර්ග බාධක හා අනතුරු ජය ගැනීම සඳහා දුෂ්කර පරිශ‍්‍රමයක් දැරීමට සිදු වනු ඇත. බලය පැවරීම සඳහා ශ‍්‍රීලනිපයට අව්‍යාජ වුවමනාවක් ඇත් නම් ඊට ඍජු ලෙස හා විවෘත ලෙස සිය සිංහල ජාතිවාදී ඉතිහාසයට මුහුණ දීමට සිදු වනු ඇත. පක්ෂය තුළ සිටින දැනුවත් කොටස් සිය ඉතිහාසය විමසා බැලීමට ලද මෙම අවස්ථාව ඩැහැ ගත යුතු ය, වගකීමට උර දිය යුතු ය, රට තුළ ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලිය ආරම්භ කළ යුතු ය. තම රටේ ම පුරවැසියන්ගේ මරණයෙන් කෙළවර වන මාරක තීරණ ගැනීමට කැමති දේශපාලනඥයන්ගේ හා නායකයන්ගේ හිඟයක් ශ‍්‍රී ලංකාව තුළ පැවතී නැත. දැන් අපට අවශ්‍ය වන්නේ ජීවත් වීමට, වර්ධනය වීමට හා සමෘද්ධිමත් වීමට රටට ඉඩ සලසන තීරණ ගැනීමට කැමති දේශපාලනඥයන් ය. මින් කියැවෙන්නේ තමන්ගේ ම ද දේශපාලනයෙහි ද වෙනසක් කළ යුතු බව යි. රාජපක්ෂ කඳවුර සිංහල ජාතිකවාදයේ ගමන් මගට හානි කර තිබෙන බැවින් ඔවුන්ට දැන් අසමසම අවස්ථාවක් ලැබී ඇත. රාජපක්ෂ කඳවුරේ ප‍්‍රධාන දුර්වලකම වූයේ දූෂණය, රාජ්‍ය සම්පත් සොරකම, වංචාව හා මහජනයා බිය ගැන්වීම යි. රාජපක්ෂ කඳවුරේ ‘දේශමාමකත්වය’ අතිශයින් ම දූෂිත ක‍්‍රමවලින් උපයා ගෙන තම පවුල් උදෙසා ධනය ගොඩ ගසා ගැනීමට සීමා වූ දෙයක් බවට පත් විය. මෙහි ප‍්‍රතිඵලය වී ඇත්තේ ඔවුන්ට රැස් කර ගත හැකි ජනතා සහායේ ගැඹුර හා විශාලත්වය පිරිහී යාම යි. මෙලෙස ශ‍්‍රීලනිපයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය පිළිබඳ දැනුවත් පක්ෂයක් බවට පත් වීමට අවස්ථාවක් ලැබී ඇත. මංසන්ධියක සිටින ඔවුන් දිගු කලක් තිස්සේ මේ රටේ සාමාන්‍ය ජනයාගෙන් ඉල්ලා ඇති ධෛර්යය ප‍්‍රදර්ශනය කළ හැකි මග තෝරා ගත යුතු ය.

දෙමළ කොටින් හා ආණ්ඩුවේ හමුදාවන් අතරට මැදි වී අහිංසකයන් මිය යන විට සියල්ලෝ ම ඔවුන් අත හැර දැමූහ. ඔවුන් ආරක්ෂාව අවශ්‍ය කරන සිවිල් වැසියන් ලෙස දැකීමට අසමත් වූ සිංහල දේශපාලනඥයෝ එල්ටීටීඊයේ ප‍්‍රචාරක ව්‍යාපාරයට ම උඩගෙඩි දෙමින් ඔවුන් එල්ටීටීඊයේ ම කොටසක් ලෙස පින්තාරු කළහ. දහස් ගණනින් එහි මිය ගිය ළමයින්ට, කාන්තාවන්ට හා පිරිමින්ට, තරුණයන්ට මෙන් ම වයස්ගතයන්ට ද තමන් ගැන ම විනා අන් කිසිවෙකු ගැන විශ්වාසය තැබිය නොහැකි විය. ඔවුන් ආරක්ෂා කිරීම සඳහා එල්ටීටීඊය, දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ), ජාත්‍යන්තර ප‍්‍රජාව යන මේ කිසිවෙක් එහි නොසිටියහ. එබැවින් අප ඔවුන්ට යුක්තිය ඉටු කර දිය යුතු ය.

දෙමළ ප‍්‍රජාව තුළ බෙදුම්වාදීන් හා දෙමළ ජාතික සන්ධානය අතර ද දේශපාලන නායකත්වයෙහි ඉරි තැළීම් සිදු වෙමින් තිබෙන බවට පැහැදිලි හා පුළුල් වන ලකුණු පවතී. අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී දැඩි මතධාරී දේශපාලන ප‍්‍රතිචාරයක් දැක්විය යුතු යැයි තර්ක කරමින් සිටි අය ප‍්‍රතික්ෂේප කළ ඡන්ද දායකයෝ ඒ වෙනුවට දෙමළ ජාතික සන්ධානයෙන් නියෝජනය වූ මධ්‍යස්ථ නායකත්වයට අනුමැතිය පළ කළහ. මෙය සැබෑ ප‍්‍රගතියක් ඇති කිරීම සඳහා ආණ්ඩුවට අවස්ථාවක් ලබා දෙන අතර දේශපාලන අසන්තෘප්තීන් හෝ ‘සිදුවීම් හරහා පළ වන විරුද්ධත්වය’ නිසා තමන් අස්ථාවර වීමට පෙර ආණ්ඩුව එම ප‍්‍රගතිය ඇති කළ යුතු ය.

1958 දී බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම අවලංගු කෙරුණු අවස්ථාව වන විට ආණ්ඩුව සිංහල ජාතිවාදී බලවේග මුල පිරූ විරුද්ධත්වයෙහි පමණක් නො ව වෙනත් ගැටලූවල ද පැටලී සිටියේ ය. උදාහරණයක් ලෙස එවක ආණ්ඩුව කුඹුරු ඉඩම් පණත නිසා නිර්මාණය වූ ගැටලූ විසඳීමට පරිශ‍්‍රම දරමින් සිටියේ ය. එවකට දෙමළ ප‍්‍රජාවගේ අවශ්‍යතාවන් හා ප‍්‍රාර්ථනාවන් ලෙස සැලකුණු ඒවාට විසඳුම් සැපයීම සඳහා යුක්ති සහගත ප‍්‍රවිෂ්ටය යැයි තමන් විශ්වාස කළ දෙයට දැඩිව කැප වී සීටීම එස්.ඩබ්ලිව්.ආර්.ඞී.ට තරමක් දුෂ්කර විය. ජනාධිපති සිරිසේනට තිබෙන පෙර නොවූ විරූ වාසිය වන්නේ අද එජාපය ඔහුගේ පැත්තේ සිටීම යි. එජාපය බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමට දැඩි ලෙස විරුද්ධ විය.

රාජපක්ෂ කණ්ඩායම සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) තුළ සිටින ඔහුගේ මිත‍්‍ර පාක්ෂිකයන් ප‍්‍රතිසන්ධානය හා බලය පැවරීම සඳහා ජාතික ආණ්ඩුව දරන පරිශ‍්‍රමයන්ට සහාය දීමට තිබෙන ඉඩකඩ බෙහෙවින් ම අඩු ය. ඔවුන් තව මත් නියෝජනය කරන්නේ දකුණේ ඡන්ද දායකයා අතර වඩාත් ම කර්කශ දෙමළ විරෝධී හා පටු ජාතිකවාදී ප‍්‍රමුඛ මැතිවරණ සහාය පදනම සහිත පැරණි ශ‍්‍රීලනිපය යි. මෙම පටු ජාතිකවාදය ශ‍්‍රීලනිපය තුළ පවතින එස්.ඩබ්ලිව්.ආර්.ඞී. ඉදිරිපත් කළ ‘පොදු මිනිසා’ පිළිබඳ මතය තුළ ගැබ් වන අධිරාජ්‍ය විරෝධී වූත් ධනපති විරෝධී වූත් අදහස් සමග සම්බන්ධ ය. ‘පොදු මිනිසා’ පිළිබඳ මෙම මතය ජනවාර්ගික සීමාවන් සහිත වූ ද දකුණට පමණක් සීමා වූ ද එකක් විය. රාජපක්ෂගේ බොහෝ ආධාරකරුවෝ එජාපය සමග කවර හෝ දේශපාලනික ගිවිසුමක් ඇති කර ගැනීමට එරෙහි වෙමින් ඒකාධිපතිවාදී හා දූෂිත රාජපක්ෂ තන්ත‍්‍රය ආරක්ෂා කිරීම සඳහා මෑත ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය අතරතුර දී මෙම අදහස් එක දිගට ම යොදා ගත්හ. එළඹෙන සති හා මාසවල දී ජාතික ආණ්ඩුවට එරෙහිව අභියෝගයක් මතු කිරීම සඳහා ඔවුන් එම මතය ම යොදා ගනු ඇත. මෙය ශ‍්‍රී ලංකාවට එරෙහි විදේශීය කුමන්ත‍්‍රණ ගැන කියැවෙන මනෝ විකාර දේශපාලනයක ස්වරූපය ගත හැකි ය. වර්ගවාදී පරමාදර්ශ කථකයන් වග වීම හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ තීරණාත්මක ගැටලූ යට ගැසීම සඳහා එවැනි බලපෑම් සහගත කතන්දර යොදා ගනු ඇත.

එම සමය ජනාධිපති සිරිසේනගේ අධිෂ්ඨානය හා දැඩි බව පරීක්ෂාවට ලක් වන කාල පරිච්ෙඡ්දයක් වනු ඇත. සිය බොහෝ ආධාරකරුවන් බෙහෙවින් අපේක්ෂා භංගත්වයට පත් කරමින් මහින්ද රාජපක්ෂට මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා ලබා දීමට තීරණය කළ තත්ත්වය තුළ එම අධිෂ්ඨානය හා දැඩි බව දැනට මත් පරීක්ෂාවට ලක් වී හා ප‍්‍රමාණවත් නොවන බව තහවුරු වී ඇත.

මේ මොහොතේ දී නම් එස්.ඩබ්ලිව්.ආර්.ඞී ඉල්ලා සිටි සම්මුතිවාදී දේශපාලනය ඇති කිරීම සඳහා ජාතික ආණ්ඩුව සතුව පාර්ලිමේන්තුව තුළ මන්ත‍්‍රීවරුන් ගණනාවක් සිටින අතර රටේ ජනතාවගෙන් ලද දේශපාලනික හා සදාචාරාත්මක වරමක් පවතී. දෙමළ ප‍්‍රජාවට බලය පැවරීම හා ප‍්‍රතිසන්ධානය කරා සැබෑ ප‍්‍රගතියක් අත් කර ගැනීම සඳහා ජනාධිපති සිරිසේනට මෙම දැවැන්ත ජයග‍්‍රහණය පදනම් කර ගත හැකි වුව හොත් සියලූ පක්ෂවල සිංහල ජාතිවාදී බලවේග විසින් දෙමළ ප‍්‍රජාවට කර තිබෙන බරපතළ වරදක් ඔහුට නිවැරදි කළ හැකි ය. එසේ කිරීමෙන් ජනාධිපති සිරිසේන අනෙක් නායකයන් ඉටු කිරීමට අසමත් වන දෙය කරන අතර බහුජනවාර්ගික, බහුආගමික රටක් පාලනය කිරීමට සැබවින් ම සුදුසු දේශපාලන පක්ෂයක් ගොඩ නගනු ඇත. මාටින් ලූතර් කිං වෙනත් වචනවලින් කී පරිදි ”නිවැරදි දෙය කරන්නේ නම් කාලය හැම විට ම සුදුසු” නමුත් කල් පවත්නා වෙනසක් ඇති කිරීම සඳහා දැවැන්ත අවස්ථාවක් සහිත මොහොතවල් හැම විට ම පහළ නො වේ. තම පක්ෂය හමුවේ එහි ම අතීතයට හා පැවැත්මට තර්ජනයක් වන අභියෝගයක් මතු කිරීමෙන් ජනාධිපති සිරිසේන අඩු ගණනේ එහි අනාගතය වත් ආරක්ෂා කරනවා විය හැකි ය. එහෙත් එහි ප‍්‍රතිලාභ ලබනු ඇත්තේ ශ‍්‍රී ලංකාව යි.

දයාපාල තිරාණගම | Dayapala Thiranagama

*The Sri Lanka Freedom Party: The Moment of Truth නමින් Groundviews වෙබ් අඩවියට දයාපාල තිරාණගම ලියු ලිපියේ පරිවර්තනයකි