මරණ දඬුවම නැවත හඳුන්වා දීමට අදාළ ස්ථාවරය ශ‍්‍රී ලංකාව යළි සනාථ කොට තිබීම ගැන ‘‘නීතිය හා සාමය භාරකාරත්වය’’ ප‍්‍රසාදය පළ කොට සිටී. 2015 ඔක්තෝබර් 6 වැනි දා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට දන්වා සිටි පරිදි, ‘‘මරණ දණ්ඩන භාවිතය ‘සමා සහනයටයටත් කිරීම’’ සඳහා වන එක්සත් ජාතීන්ගේ 2015 මහ මණ්ඩල යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට ලංකා ආණ්ඩුව තීන්දු කොට ඇති තත්වය තුළ, ශ‍්‍රී ලංකාව මරණ දඬුවම ක‍්‍රියාත්මක නොකරනු ඇත.

2012 දී මේ යෝජනාව ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ ශ‍්‍රී ලංකාව ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළැකී සිටියද, 2007, 2008 සහ 2010 යන වසරවලදී, ශ‍්‍රී ලංකාව මරණ දඬුවම ‘පමා සහනයට’ (මරණ දඬුවම අධිකරණයෙන් නියම කෙරුණත් ක‍්‍රියාත්මක නොකිරීම) ඈඳීමේ යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කොට තිබේ. වර්ධනය වන අපරාධ අනුපාතිකයත්, එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, මරණ දඬුවම අපරාධ වළකාලන නිවාරකයක් වන බවට නැගෙන බලවත් මහජන මතයත් මගින් මරණ දඬුවම නැවත ඉල්ලා සිටීම හමුවේ පවා ආණ්ඩුව මේ ස්ථාවරයේ සිටීම අපි අගේ කරමු.

මරණ දඬුවම යනු, පුද්ගලයෙකුගේ අතිශය මූලික අයිතිය අමු අමුවේ උල්ලංඝණය කිරීමකි. එසේම, බොහෝ විට එය ක‍්‍රියාවට නැගෙන්නේද, දෝෂ සහගත අපරාධ විනිශ්චය ක‍්‍රමයක් තුළ, පිළිසකර කළ නොහැකි හානි පැමිණවීමේ ඉඩකට සහිත, අසාධාරණ සහ අත්තනෝමතික ආකාරයකටයි. නිසි පරීක්ෂණ පැවැත්වීමේදී සහ වැරදිකරුවන්ට එරෙහිව අභිචෝදනා ඉදිරිපත් කිරීමේදී අපේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය මොන තරම් අසාර්ථකත්වයක් දක්වන්නේද යන්න, පස් හැවිරිදි දැරිය දූෂණය කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපට දැකගත හැකි විය. ජනතාවගේ සැහැසි විරෝධතාවන් සේම මාධ්‍යයත් ඒ තත්වයට අනුබලයක් වුණි. කෝපයට පත් ජනතාව වැරදිකරුවන් අල්ලා ගන්නා ලෙස උද්ඝෝෂණ කිරීම සහ අපරාධයට ‘පළියක්’ ඉල්ලා සිටීම, එතෙක් කොහොමත් ප‍්‍රශ්නකාරී පරීක්ෂණ විධික‍්‍රම භාවිතයක සිටි නීතිය ක‍්‍රියාත්මක කිරීමේ බලධාරීන්ට එල්ල කෙළේ දැඩි පීඩනයකි. වැරදිකරුවන්ගේ ‘පාපොච්චාරණ’ තුළින් මුල සිටම එය පෙන්නුම් කෙරුණි. අපරාධය සිදු කළ බවට සැක කළ 17 හැවිරිදි පාසල් සිසුවාට සැළකූ අන්දම ඊට තවත් සාක්ෂියකි. මේ තත්වය යටතේ, මොනම ක‍්‍රමයක්වත්- ඉතා දියුණු නීති පද්ධතියක් පවා- සියයට සීයක් නිවැරදි විය නොහැකි නිසා, මරණ දඬුවම නැමැති මේ කෘර භාවිතය මුළුමණින් අහෝසි කර දැමීමට අප යුහුසුළු විය යුතුය. මන්ද යත්, ‘පමා සහන’ ක‍්‍රමයක් යටතේ පවා, අවසාන තීරණය රැඳෙන්නේ ප‍්‍රතිපත්ති සම්පාදකයෙකුගේ හුදු මනාපය මත බැවිනි.

මේ නිසා, 21 වැනි සියවසට නොගැළපෙන මේ භාවිතය, තව පියවරක් ඉදිරියට ගොස් සදහටම ඉවරයක් කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු. එසේම, මරණ දඬුවම අහෝසි කිරීම ඉල්ලා සිටින ‘‘සිවිල් සහ දේශපාලනික අයිතීන් සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ දෙවැනි වෛකල්පික ප්‍රොටොකෝලය’’ අපරානුමත කරන මෙන්ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.

දැනට ලෝකයේ රටවල්වලින් සියයට 82 ක්, මරණ දඬුවම අරභයා නීතියෙන් හෝ භාවිතයෙන් ‘සහන පමාවක්’ ඇති කොට හෝ මුළුමණින් අහෝසි කොට හෝ ඇත. ගත වු මාස 12 දී පමණක්, ෆීජි, මැඩගස්කාර්, සුරිනාම් සහ ඇමරිකාවේ නෙබ්රෙස්කා ප‍්‍රාන්තය, මරණ දඬුවමට පත්කිරීමේ භාවිතය අහෝසි කොට ඇත. බුර්කිනා ෆාසෝ සහ කොරියානු ජනරජය, මරණ දඬුවම අහෝසි කිරීමේ නව නීති එම රටවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත. ටෝගෝ රට, ‘‘සිවිල් සහ දේශපාලනික අයිතීන් සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ දෙවැනි වෛකල්පික ප්‍රොටෝකෝලය’’ අපරානුමත කොට ඇත. අපරාධ වර්ග ගණනාවක් සම්බන්ධයෙන් චීනය මරණ දඬුවම ඉවත් කොට ඇත. ඉන්දියාවේ සහ ඝානාවේ නීති අංශ එය අහෝසි කරන ලෙස නිර්දේශ කොට ඇත. මිනිසුන්ව වැරදිකරුවන් කෙරෙන සහ මරා දැමෙන ක‍්‍රියාවලියේ නිරවද්‍ය භාවය සහ සාධාරණත්වය ගැන නැවත විමර්ශනය කරන බව, ඇෆ්ගනිස්ථානයේ, මලයාසියාවේ, තායිලන්තයේ සහ ඇමරිකාවේ බලධාරීන් ප‍්‍රකාශ කොට ඇත.

ලෝකය පුරාමත්, ආසියාවේත් විවිධ රටවල් ගන්නා මෙවැනි පියවරයන්ගෙන් පෙනෙන්නේ, සත්තකින්ම මරණ දඬුවම අහෝසි කිරීමේ ජගත් ප‍්‍රවණතාවක් පවතින බවයි. යුක්තිය යනු පළිගැනීම පිළිබඳ කාරණයක් නොවේ. ශිෂ්ට සම්පන්න රටවල් වශයෙන් අප ගමන් කළ යුතුව ඇත්තේ, වැරදිකරුවන් තමන්ගේ වැරදි ගැන සද්භාවයෙන් සහ අව්‍යාජව ප‍්‍රත්‍යාභිඥානය කරගන්නා ආකාරයේ යුක්ති ධර්මය පසිඳලීමේ ක‍්‍රමවේදයන් වෙතටයි.

අපරාධ කිරීමෙන් මිනිසුන්ව වළකාලිය හැක්කේ දඬුවමේ දරදඬු කම වැඩි කිරීමෙන් නොව, දඬුවමේ නියතතාව සනාථ කිරීමෙනි. මරණ දඬුවම මගින් අපරාධ අධෛර්යමත් කෙරෙතිය යන ‘නිවාරක න්‍යාය’ උපකල්පනය කරන්නේ, මිනිසුන් යනු යම් අපරාධයක් කිරීමට පෙර එහි වාසි සහ අවාසි කිරා බැලෙන ක‍්‍රියාවලියක නිරත වන තාර්කික කොට්ඨාශයක් බවයි. බොහෝ විට සත්‍යය එය නොවේ. මන්ද යත්, වැඩිමනත් අපරාධ කෙරෙන්නේ මත්පැන්වලින් මත් වී හෝ සිහිය එලවා ගැනීමේ නොහැකියාවෙන් පෙලෙන අවස්ථාවලදී වීමයි. අපරාධවල මුල් සොයා ගැනීම සඳහා අන්තර්-ක‍්‍රියාකාරී සංවාදයක් ගොඩනැගිය යුතු බවත්, අපරාධ වැළැක්වීමේ නීති ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සිය අවධානය යොමු කළ යුතු බවත්, අධිකරණ ඇමතිවරයා තවදුරටත් පෙන්වා දී තිබේ. මෙය මොන විදිහකින්වත් පහසු කටයුත්තක් නොවේ. සමස්ත ක‍්‍රමයේ දැවැන්ත විපර්යාසයක් ඊට අවශ්‍ය කෙරේ. සෑම ස්ථරයකම සහභාගීත්වය සහිතව, ප‍්‍රශ්නයට ආමන්ත‍්‍රණය කළ හැකි වන ව්‍යුහාත්මක පියවර ගත යුතුව තිබේ. එසේම, යෝධ මහජන අධ්‍යාපන වැඩපිළිවෙලක්ද අවශ්‍ය කෙරේ. එය අපරාධ සම්බන්ධයෙන් විය හැකිය. ඊට අදාළ නීති සම්බන්ධයෙන් විය හැකිය. දණ්ඩන අවදානම් සහ ප‍්‍රතිවිපාක සම්බන්ධයෙන් විය හැකිය. දඬුවම් දීමේ ප‍්‍රතිපත්ති සහ ඒවා සංශෝධනය කිරීම් සම්බන්ධයෙන් විය හැකිය.

මේ අතරේ අපරාධවලට ගොදුරු වන වින්දිතයන් සහ ඔවුන්ගේ දරු පවුල්වල අයිතීන් ගැනද අමතක කළ නොහේ. සාර්ථක සහ කාර්යක්ෂම පරීක්ෂණ, අපරාධයට නිසි ප‍්‍රතිවිපාක ලබා දීම, ඇති වූ හානියට පිළියම් යෙදීමාදිය ඊට ඇතුළත් ය. ඒ සඳහා කඩිනම්, සාධාරණ, සාවධාන සහ පහසුවෙන් සේවාවන් ලබා ගත හැකි අධිකරණ සහ පරිපාලනමය යාන්ත‍්‍රණයක් අවශ්‍ය කෙරේ. අනිත් සියල්ලන්ට සේම, වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයටත් ගරුත්වය අත්විය යුතුය. නීතිය ක‍්‍රියාත්මක කිරීමේ බලධාරීන් සහ අධිකරණ බලධාරීන් පූර්ණ දයාවෙන් සහ ගෞරවයෙන් යුතුව ඔවුන්ව පිළිගත යුතුය. ඒ වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට සේම, සාක්ෂිකරුවන්ටත් පළිගැනීමට ලක්වීමෙන් සහ බිය ගැන්වීමෙන් අත්මිදී සිටිය හැකි ආරක්ෂාවක් සැළසිය යුත්තේය.

*2015 ඔක්තෝබර් 10 වැනි දා ‘නීතිය හා සමාජය භාරකාරත්වය’ විසින් Death Penalty: from Moratorium towards Complete Abolition? මැයෙන් නිකුත් කළ ප‍්‍රසිද්ධ නිවේදනයේ සිංහල පරිවර්තනය‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි