Image by: oneisland

නීතිපති සහ වෝහාරපති අතර විශාල වෙනසක් තිබේ. වෝහාරපති වූ කලී ලංකාවේ නීති විද්‍යාලයෙන් එම විද්‍යාලය මෙහෙයවන ප්‍රධානියාගේ ආශාවන් සහ නිර්දේශයන් අනුව ලබාදෙන සම්මානයකි. හුදු දේශපාලන ප්‍රකාශනයකි. නමුත්, එය ලංකාවේ නීතීය සම්බන්ධයෙන් ලබාදෙන “ඉහළම” සම්මානය ලෙස කියවේ.

ලංකාවේ සම්මාන වූ කලී අරුම පුදුම දේශපාලන ක්‍රීඩාවක ප්‍රතිඵල බව සියල්ලෝම දන්නා නමුත් නොදන්නා මෙන් රඟපාන වටපිටාවක් නිර්මාණය කර ඇති කාරණයකි. මන්ද ප්‍රමෝදය සඳහා එවැනි රඟපෑමක් අත්‍යවශය වේ. බොහෝ දෙනෙකු එකී රංගනයෙන් ලැබෙන ආශාවට කැමතිය.

සෑම ක්ෂේත්‍රයකම පාහේ, සම්මාන ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ යුතු අතර තමන් අදාළ සම්මානයට සුදුසු බව ඔහු හෝ ඇය විසින්ම වඩාත් තේරන බාසාවකින් අදාළ විනිසුරුවරුන්ට පැහැදිළි කළයුතු වේ. වර්තමානයේදී, ඔවුන්ට තෙරුම්කරදීමේ බාසාව, විවිධ හැඩයන් සහ ස්වභාවයන් ගෙන ඇති පෞද්ගලික දේශපාලන ප්‍රකාශනයකි.

ඇතැම් අවස්ථාවලදී මෙය හාත්පසිනම් වෙනස් ස්වරූපයක් ගන්නේය. එනම් විනිසුරුවරුන් තමන් සම්මාන ලබා දිය යුතු අයවලුන් අභියස දනින් වැටී, තම සම්මානය පිළිගන්නා ලෙස ආයාචනය කරනු ලබති. මෙය දේශපාලන බලය මූලික කොට ගනිමින් සිදුවන වඩාත් සුලභ කාරණයක් බවට පත්වී තිබේ. එමගින් දෙපාර්ශවටම වාසි ලැබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, වෝහාරපති වූයේ එකී දෙවැනි සමීකරණයට යටත්වය. ඔහු වෝහාරපති වීමට පෙර සම්මානලාභී ආචාර්යය වූයේද එලෙසය. ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු මහතා රාජපක්ෂවරුන්ට ලබා දුන් ගෞරව උපාධි අහෝසිකළ යුතු යැයි යෝජනා කරමින් මෑතකදී පලකළ අදහස අතිශය වැදගත් වන්නේ ඒ අනුවය.

“විශ්ව විද්‍යාල වැරදි තීරණ ගනිමින් ගෞරව ආචාර්ය උපාධි ලබා දෙන්නා සේම ඔවුහු තමන් කළ වැරදි තේරුම්ගත් පසු ඒවා අහෝසි කරනු ලබයි. මේ කාරණය සම්බන්ධයෙන් මා කළ වැරදි වලට සමාව ඉල්ලා සිටිමි. කෙසේ වෙතත්, පෙනිසිල්වේනියා විශ්ව විද්‍යාලය විසින් ජර්මනියේ අධිරාජ්‍යයාට සහ එක්සත් ජනපද සහ මෙක්සිකෝහී කටයුතු කළ ජර්මන් තානාපතිවරයාට ලබා දුන් ගෞරව අචාර්ය උපාධි අහෝසිකිරීම, මේ හා සම්බන්ධ නිදසුන් වේ. ලෝකය පුරා මෙවැනි අහෝසිකිරීම් දහයකට වඩා වැඩි ප්‍රමාණයක් තිබේ,” යැයි ලක්සිරි ප්‍රනාන්දු මහතා ස්වයං විවේචනාත්මකව කොළඹ විශ්විද්‍යාලයේ උප කුලපතිවරයාට ලියු ලිපියේ සඳහන් කළේය.

වැරදි යමක් නිවැරදි කළ හැක්කේ එවැනි ස්වයං විවේචනයක් ප්‍රයෝගිකව ඔප්පු කිරීමෙන් මිස අප්‍රසන්න දෙයක් වැසීමට උත්සහ කිරීමෙන් නොවේ. තුවාලයක් වුව සුව වන්නේ එය පිරිසුදු කිරීමෙන් මිස වසා සඟවා තැබීමෙන් නොවේ. ලංකාවේ පරිපාලනය නිවැරදි මාර්ගයට ගැනීමේ නිශ්චිත වැඩපිළිවෙල සකස්වී ඇත්තේ එවැනි ක්‍රමවේදයන් ඔස්සේය.

වෝහාරපති නමැති භූමිකාවෙන් නීතිපති වෙනස් වන මුලධර්මය සක්සවී ඇත්තේද ඒ අනුවය. නීතිපති වූ කලී රාජ්‍යය පාර්ශවයෙන් නීතියට වගකියන ප්‍රධාන නිලධාරියා වේ. ඔහුගේ ස්වාධීනත්වය මත රාජ්‍යයේ ශක්තිය තීරණය වේ. නීතිපති වූ කලී රටක ස්වාධීන අධිකරණ පද්ධතිය කෙරෙහි බලපාන මූලික සාධකය වේ. ජේම්ස් ඩන්කින්ගෙන් ආරම්භ වූ මෙරට නීතිපති දෙපාර්තමේන්තුවේ හරය ලියවෙන්නේද ඒ අනුවය.

ගෙවී ගිය ඉතිහාසය තුළ මෙරට නීතිය සහ එය ශක්තිමත් කිරීමට තැනූ ව්‍යුහය ශක්තිමත් වී රටේ සාමන්‍යය ජනතාවට එය අත්වැලක් වී තිබේද? නැතහොත්, රටේ ගරා වැටීමේ මුලික මෙහෙයුම්කරුවා බවට අදාළ ආයතන පද්ධතිය පත් වී තිබේද? පිළිතුර බොහෝ දෙනෙකු දන්නා කාරණයකි.

ඕනෑම ආයතනයක් විනාශ කිරීම සඳහා එක් දූෂිතයෙකුගේ අධම කටයුත්තක් ප්‍රමාණවත් වේ. එවැනි අයවලුන්ගේ ගහණය වැඩි වූ විට මුළු රටක් තනි තීරණයකින් අඝාදයට යා හැකිය. එය මෙරට නීතිපති දෙපාර්තමේන්තුව අරඹයා සිදු වූයේද යන්න, බොහෝ දෙනෙකු විමසිය යුතු කාරණයකි. වැදගත් වන්නේ අස්වැන්න නෙලීම නොව දිනපතා ඔබ විසින් වපුරන බීජ ගැන සැලකිලිමත් වීමය, යන්න මෙහිදී, නීතිපති අභිමුඛව දිනපතා ඇති අභියෝගය වේ. බොහෝ දෙනෙකු තම ධූරකාලය තුළ අස්වනු නෙලීමට යුහුසුලු වූ නමුත් බොහෝ දෙනෙකු තම තීරණ හේතුවෙන් වපුරණ බීජ ගැන සැළකිලිමත් වූයේද යන්න ගැටලුවකි.

නීතිපති ලෙස පත් වී රටේ අහිංසක ජනතාවගේ බදු මුදලින් තම යැපීම තීරණය කරගත් අයෙකු තමන් වගකිව යුතු විෂයයට සහ ජනතාවට එරෙහි වීම වූ කලී ස්වයං පාවාදීමකි. එවැනි දෙයක් සිදු වූ කල්හී යුක්තිය පසිඳලීම වූ කලී සුනඛ නැට්ටක් ඍජු කිරීමට යන්ත දැරීම හා සමාන වේ. එවැනි වටපිටාවක, ස්වාධීනත්වය වූ කලී, මායාවකි. සත්‍යය වූ කලී විකෘති කරනු ලැබූ බොරුවක හැඩය වෙනස් කළ ප්‍රකාශනයකි.

වෙනත් වචන වලින් සඳහන් කරන්නේ නම්, දේශපාලන ගුණ්ඩු අටවන වෝහාරපතියෙකුගේ තත්වයට නීතිපති පත් වූ විට එම රාජ්‍යයට අත්විය හැකි ඉරණම අතිශය ඛේදජනක වේ. එම රාජ්‍යය වටා නීතියානූකූල ආයෝජකයින් වෙනුවට, ජාතික ආර්ථිකය බංකොලොත් කරන හොරුන් ඒකරාශී වේ. දියරෙද්දෙන් බෙල්ල කපන කෛරාටකයින් පාලකයා වටා රෝද බැඳ ගනියි. එවැනි වටපිටාවක් හමුවේ, පාලකයා සතුව උතුම් අභිමතාර්ථයන් තිබුණද ඒවා ක්‍රමිකව දියකර හැරීමට ඔහු වටා සකස්වන පරිසරයට හැකියාව ලැබේ. එවැනි ක්‍රමික වැඩපිළිවෙලක් මඟින් පාලකයාගේ බලය ජනතාව හමුවේ ව්‍යාකූල වේ. ජනතාව යළිත් රැවටිලිවලට හසුවූ පිරිසක් බවට පත්වේ.

වත්මන් සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව අභිමුඛව ඇති මුලික අභියෝගය මෙය නොවේද? පාලකයා වැරදි යැයි යටිකිගිරියෙන් කෑ ගසා කියන යමක්, සාක්ෂි නැතැයි කියමින් යටපත් වීම වූ කලී පාලකයා මෝඩයෙකු කිරීම නොවේද? ජනතාව හමුවේ මෝඩයෙකු සහ අසමතෙකු විය යුතු යැයි සිහින දකින පාලකයෙකු මෙහිපිට නොසිටි. නමුත් පාලකයා මෝඩයකු සහ අසමතෙකු කිරීමට සෑම මොහොතකම උත්සහ දරණ සහ සිහින දකින බොහෝ පිරිස් සිටිති. දේශපාලනයේ ඇති සැබෑ ජීවගුණය මෙයයි.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa